|
වේදිකාවේ සික්සර්ස් ගහන අක්කලා
ප්‍රේමා ගනේගොඩ ප්‍රේමක්කා වුණාට එයාගේ හස්බන්ඩ් ප්‍රියවිජය, ෆොනී. මාලිනී වීරමුනි මාලිනී අක්කා වුණාට නාමෙල් වීරමුනි නාමෙල්. ඩ්‍රාමා ෆීල්ඩ් එකේ සික්සර්ස් ගහන මේ අක්කලා දෙන්නගෙ සමානකම් වගේම අසමානකම් ද තියෙනවා. දෙන්නම පේරාදෙණිය කැම්පස් එකේ. ඩොක්ටර් සරච්චන්ද්‍රගේ ගෝලයෝ. එක්කෙනක් රියලිස්ටික් ඩ්‍රාමා ෆීල්ඩ් එකේ. අනිත් එක්කෙනා ස්ටයිලයිස්ඩ්වලින් පටන් අරගෙන පස්සෙ කාලේ රියලිස්ටික් නැත්නම් ස්වභාවික නාට්‍යවලටත් ඇවිත්. පළමුවෙනි අක්කා තමයි මාලිනී අක්කා. මාලිනී වීරමුනි. දෙවෙනි අක්කා තමයි මාලිනී රණසිංහ. වීරමුණු සුගත්ලගෙ, සුගතපාල ද සිල්වාගේ අපේ කට්ටියේ. රණසිංහ සරච්චන්ද්‍රගේ ටීම් එකේ. සිංහබාහු, වෙස්සන්තර. පස්සේ කාලේ ස්වභාවික නාට්‍යවලට එනකොට කේ. බී. හේරත්ගේ මායාදේවිවල. දෙන්නම ඩ්‍රාමා ෆෙස්ටිවල් එවෝඩ් විනර්ස්ලා. මාලිනී අක්කා (1) නාමෙල්ගේ වංසක්කාරයෝ රඟපාලා රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය වෙනවා. මාලිනී අක්කා (2) කේ. බී. ගේ මායාදේවි රඟපාලා පළමු වතාවටම හොඳම සහාය නිළිය වෙනවා. දෙන්නම සික්සර්ස්කාරයෝ. මේක්අප් රූම් එකේ මොන වැඩ තිබුණත් මේ දෙන්නගේ සික්සර්ස් බලන්න නම් ස්ටේජ් එක ඉස්සරහට එන එක මගේ පුරුද්දක්.
මාලිනී මාලිනී අක්කාගේ අනෙක් සික්සර් එක මම දකින්නේ කේ. බී. හේරත්ගේ මායාදේවිවල. සුප්පාදේවී විදියට සිංදු කියමින් නටපු මාලිනී රණසිංහ මුළුමනින්ම සංවාද විතරක් තිබුණු නාට්‍යයක රඟපානවා විතරක් නෙවි, ඒ රඟපෑමට සම්මානත් ගන්නවා. මායාදේවිවල දොරගම හාමිනේ මාලිනී අක්කා. මනෝ මිනී පෙට්ටි සාප්පුවේ මුදලාලි. එයාගේ නංගි තමයි මාලිනී. චන්ද්‍ර කළුආරච්චි (මුදලාලිගේ බිරිඳ) මනෝයි ප්ලෑන් කරන්නේ ඒ දෙන්නගේ මානසික ලෙඩක් තියෙන දුව ලක්ෂ්මී (රත්නා ලාලනී) තමන්ගේ නංගිගේ පැවිදි පුතාට දොරගම ජිනරතන හිමි (අජිත් ජිනදාස) සිවුර අරවලා කසාද බන්දල දෙන්න. දොරගම හාමිනේ මනෝගේ සාප්පුවට ආපු වෙලාවක තමයි මාලිනී අක්කගේ සික්සර් එකට ෆුල්ටොස් බෝලෙ වැටෙන්නේ. මුදලාලි (මනෝ) නංගිගෙන් (මාලිනී) අහනවා හාමුදුරු පුතා ගැන විස්තර. ‘කොහොමද නංගියේ දැන් පොඩි හාමුදුරුවෝ එහෙම? මනෝ තමන්ගේ යටි හිත නොපෙන්වා නංගිගෙන් අහනවා. නංගී මාලිනී රණසිංහ හිතන්නේ අයියා ඇත්තටම පුතාගේ සැප සනීප අහනවා කියලා. නංගිගේ උත්තරේ මෙහෙමයි. ‘බලන්න එපායැ අයියේ දැන් කොලු පැටියගේ ලස්සන. ඉගෙන ගන්නත් ගජ හපනා. බණ කියනවා අයියේ මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නෑ’ මාලිනීගේ සික්සර් එක රඟහලින් එපිටට වැටෙන කොට ඕඩියන්ස් එකට හිනාව නවත්ත ගන්න බැරි වෙනවා. බණ කියනවා අයියේ මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නෑ. සුගත් හරි කේ. බී. හරි නාට්‍ය පිටපතේ ලියපු වාක්‍ය කියෙව්වාම අපිට නොදැනෙන හාස්‍යය උපහාසය මතු කරලා අපිට දන්වන්නේ මේ නිළියෝ දෙන්නා. ඒවා ක්‍රිකට් පිටියේ සික්සර්ස් වගේ ප්‍රේක්ෂකයන්ගේ හිත් සතුටින් සිනහවෙන් පුරවන්නේ ඒ නිසා. ග්‍රවුන්ඩ් එකේ සනත් - අරවින්දලා වගේම තමයි ස්්ටෙජ් එකේ මේ මාලිනීල දෙන්නා.
|