වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩි පුතෙකු නොව පියෙකු ගැන තැනුණ චිත්‍රපටය
55 සිනමාව ගැන 15 දී හැරී බලමු

පොඩි පුතෙකු නොව පියෙකු ගැන තැනුණ චිත්‍රපටය

1955 වසර පිළිබඳව මවිසින් මෙම පිටුවට ලියන ලද ලිපි මාලාවේ තෙවැනි හෙවත් අවසාන කොටස ලිවීමට මත්තෙන් අපේ පාඨකයන් කිහිප දෙනකුට ස්තූති කළ යුතුය. ප්‍රේ්ම් ජයන්ත් හා ෆ්ලොරිඩා ජයලත් පිළිබඳ ලියද්දී මා අතින් සඳහන් වූයේ ඔවුන් දෙපොල අවසන් වරට එකට රඟපෑවේ සැඩසුළං චිත්‍රපටයේ බවය. එහෙත් එම කරුණ සාවද්‍ය බව ආර්. ඩී. බී. ලියනගේ මහතා විසින් අපට දන්වන ලදී හෙට ප්‍රමාද වැඩියි සහ අවිශ්වාසය චිත්‍රපටවල ද ඔවුන් එකට රඟපෑ බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම මාතලන් හා හියුගෝ ප්‍රනාන්දු පිළිබඳ කරුණුවලදී රන්ජිත් නානායක්කාර මහතා සරසවිය අන්තර් ජාලය ඔස්සේ කියවා අපූරු හෙළිදරව්වක් කර ඇත. මීගමු පෙරියමුල්ලේ විසූ ඩබ්ලිව්. ඇම්. පෙරේරා හෙවත් මලකියස් මාස්ටර් විසින් රචනා කරන ලද මාතලන් නාට්‍යය මෙරට වේදිකා ගත වී ඇත. ඒ සිනමා කෘතිය නිපදවන්නට කලිනි.

මලකියස් මාස්ටර් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ සමකාලීනයෙකි. හියුගෝ මාස්ටර් ඉන්දියාවට ගියේ මලකියස් මාස්ටර්ගේ මාතලන් පොත ද රැගෙනය. එම නාට්‍ය පොතේ මෙන්ම චිත්‍රපටයෙත් බොහෝ සමානකම් ඇත. මාතලන් යනු ඉන්දීය ජන කතාවක් බැවින් එම පොතෙන් කොපමණ ප්‍රයෝජනයක් ගන්න ඇතිදැයි රන්ජිත්ට පැවසිය නොහැක. එහෙත් මාතලන් මෙන්ම මලකියස් මාස්ටර්ගේ තවත් නාට්‍ය පොත් අටක, අත් පිටපත් ඔහු සතුව ඇතිවග සඳහන් කරයි. එමෙන්ම හියුගෝ මාස්ටර් යනු මලකියස් මාස්ටර්ගේ ගෝලයකු බව ද රන්ජිත් සඳහන් කරයි. මේ කරුණු ගෙන හැර පෑම ගැන රන්ජිත් නානායක්කාර මහතාට ස්තුතිවන්ත වෙමි. එමෙන්ම මාතලන් නාට්‍ය පිටපත කියවා ගන්නට හෝ ඉඩ ලැබුණොත් හියුගෝ මාස්ටර් මාතලන් මෙන්ම සිංහල සිනමාවේ යට ගියාවේ බොහෝ කරුණු ගෙනහැර පෑ හැකි වෙතැයි මම විශ්වාස කරමි. එබැවින් රන්ජිත් නානායක්කාර මහතාට මෙමඟින් ආරාධනාවක් ද කරමි.

1955 වසරේ තිරගත කරන ලද චිත්‍රපට අතරින් බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූයේ සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයයි. විමලවීරයන් යනු තනිවම චිත්‍රපටයක් නිෂ්පාදනය කළ මෙන්ම තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම ලාංකිකයා ද විය. විමලවීර මාස්ටර් සිනමාවට පිවිසෙන්නේ ද නාට්‍යකරුවකු ලෙසය. ඔහු සිනමාවට පිවිසෙනුයේ අම්මා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලීමෙනි. සීදේවි, පිටිසර කෙල්ල, සරදියෙල්, අසෝකා, පොඩි පුතා, සිරකරුවා, එකමත් එක රටක, මා ආලේ කළ තරුණිය ඔහු නිර්මාණය කරන ලද සෙසු චිත්‍රපට විය. අශෝකා හැර ඔහුගේ සෙසු සියළු චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ නව ජීවන චිත්‍රපට වෙනුවෙනි. එමෙන්ම පිටිසර කෙල්ල චිත්‍රපටයේ සිට සියලු චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ ඔහු විසින්ම කිරිබත්ගොඩ ඉදි කරන ලද නව ජීවන චිත්‍රාගාරයේය. දේශීය සිනමාවක අවශ්‍යතාව වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නියැළුණු විමලවීරයන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැළකෙනුයේ පොඩි පුතාය. ගාමිණී වේරගම විසින් ලියන ලද දේශිය සිනමා වංශය ග්‍රන්ථයේ සඳහන් වන පරිද්දෙන් පොඩි පුතා යනු 1970 දශකයේදී සුහුඹුළුව වැඩෙන සමාජ යථාර්ථ රීතියේ මුලබීජ අවිධිමත්ව හෝ ගැබ් වූ ප්‍රථම චිත්‍රපටය වන්නේය. එපමණක් නොව ඔහු පවසන පරිද්දනේ එහි හොඳම රංගනය ද විමලවීරයන්ගේය.

නම පොඩි පුතා වුව ද මේ චිත්‍රපටයේ කතාව ගෙතුණේ පියා වටාය. සුද්දප්පු හෙවත් සුදු මාමා ගේ චරිතය රඟපෑවේද විමලවීරයන්ය. මේ ඔහුගේ ප්‍රථම සිනමා රංගනයයි. ධනවත් ව්‍යාපාරිකයකු යටතේ සේවය කරන ඔහුට පුතුන් දෙදෙනෙකි. නීතිඥවරයකු වෙන්නට වෙර දරන වැඩිමල් පුතා වෙනුවෙන් වැය කරන්නට සිදුවීමෙන් පොඩි පුතාගේ ඉගෙනීම නතර වෙයි. ඉඩම් උගස් කර පුතුට ඉගැන්වීමෙන් අවසන් විභාගයට මුදල් යැවීමට නොහැකි වෙයි. ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන්සීයක් සොරකම් කරන පොඩි පුතා තෙවසරකට සිර ගෙට යයි. පියා නීතිඥවරයකු වූ ලොකු පුතා සමඟ ජීවත් වුව ද ලේලියගේ ක්‍රියා නිසා මහ මඟට වැටෙයි. සිරෙන් නිදහස් වන පොඩි පුතා රැකියාවක් කරමින් පියා ද රැක බලා ගනී. අවසානයේ සිදුවන සොයුරන්ගේ අරගලයේදී පියා මිය යයි.

පොඩි පුතා 1956 වසරේ පැවැත් වූ මෙරට මුල්ම සිනමා සම්මාන උළෙල වන දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. උසස් සිංහල චිත්‍රපටයක් කවදා හෝ නවජීවන චිත්‍රාගාරයෙන් බිහි වෙතැයි සරදියෙල් තුළින් අප තබා ගත් බලාපොරොත්තු ඉටු කරමින් සිරිසේන විමලවීරගේ පොඩි පුතා 1955 චිත්‍රපටය වර්ෂය අවසාන කළේ දෝෂයෙන් යුක්තව තිබූ අපේ චිත්‍රපට කලාව සෝදා පිරිසිදු කර හැරීමෙන් යනුවෙන් ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතට ලිව්වේය.

සිරිසේන විමලවීරයන් නිර්මාණය කරන ලද චිත්‍රපට අතරින් මට සම්පූර්ණයෙන් දැක ගන්න ලැබී ඇත්තේ අශෝකා සහ මා ආලේ කළ තරුණිය යන චිත්‍රපට යුගල පමණි. පොඩි පුතා හා පිටිසර කෙල්ල නරඹන්නට ලැබුණේ තුනෙන් දෙකට වඩා ඉතුරු වූ කොටස්ය. එබැවින් සිරිසේන විමලවීරයන් පිළිබඳ ලියන්නට සිදු වන්නේ සමකාලීන සටහන් හා දැක බලා ගත හැකිව තිබූ චිත්‍රපට නටබුන් අතරිනි. කෙසේ වෙතත් දේශීය සිනමාවක අවශ්‍යතාව හා සමාජ ශෝධනය ඔහුගේ අභිලාෂය විය. විමලවීරයන්ගේ බොහෝ ප්‍රකාශන මේ බව කියා පාන්නේය. එමෙන්ම මේ හේතුවෙන් ඔහු ක්ෂේත්‍රයේ විවිධාකාරයෙන් බැට කෑවේය. උට්ඨාන වීර්යය විනා ඔහු ඉහළ ධනවතෙකු නොවීය. අම්මා තනන්නට ද ඔහු මුදල් සොයා ගත්තේ වෑයෙමිනි. නව ජීවන චිත්‍රාගාරය ගොඩ නඟන්නට පෙර ඔහු රාත්‍රියේ ඉන්දියාවේ චිත්‍රාගාර ඇතුළත මිමි මැන ගත්තේ රහසිනි. පොඩි පුතා චිත්‍රපටය විචාරකයන්ගේ දැඩි අවදානයට පාත්‍ර විය.

විමලවීරයන් කිසි කලෙකත් චිත්‍රාගාර සම්ප්‍රදායෙන් බැහැරැ වූවෙකු නොවීය. 1956 දී තිරයට එන රේඛාව චිත්‍රපටය නිර්මාණය සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රාගාර සම්ප්‍රදායෙන් බැහැර වීම විමලවීරයන්ගේ මවිතයට හේතු විය. විමලවීරයන්ගේ චිත්‍රපට සිනමාත්මක අංශයෙන් එවකට දකුණු ඉන්දියානු ගති ලක්ෂණ අභිබවා ගියේ නැත. පොඩි පුතා චිත්‍රපටයට ගීත 8 ක් ඇතුළත් වුව ද එයින් ජනප්‍රිය වූයේ ගීත දෙකක් පමණි. ඒ ටැක්සි ඩ්‍රයිවර් හින්දි චිත්‍රපටයේ තනුවකට අනුව ගැයුණු කිරි මුහුද කළම්බලා ගීතයත් අමර් චිත්‍රපටයේ තනුවකට අනුව ගැයුණු මේ ලෝකේ නවාතැන වේ යන ගීතයත් පමණි. එමෛන්ම පොඩි පුතා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දේශීය සිනමාව පිළිබඳ අභිලාෂයෙන් නිර්මාණ වුව ද එහි එන සෙසු ගීත ද ඉන්දියානු අනුකාරක විය. දක්ෂ ගීත රචකයකු වුව බොහෝ චිත්‍රපටවල පරිපූර්ණ සංගීත තනු කෙරෙහි උත්සුක වූයේ නැත. බොහෝ ගී තනු හින්දි අනුකරණ විය. එහි සංගීතය මෙහෙය වන ලද්දේ ටී. එෆ්. ලතීෆ් සහ එම්. ඩී. සුගතදාස විසිනි.

එච්. ආර්. ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායනය උදෙසා මුලින්ම එක්වීමට වෙරදැරුයේ පොඩිපුතා චිත්‍රපටයටය. එහෙත් ඒ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය. ඒ අවස්ථාව හිමි වූයේ සිසිර සේනාරත්නයන්ටය. (ඇතැම් තැනෙක එය හරූන් ලන්ත්‍රා ගයන කිරි මුහුද කැළඹිලා ගීතයැයි පැවසේ.)

විමලවීර චිත්‍රපට සියල්ලම ඉන්දියානු ගති ලක්ෂණ පහළ කළ ද, ඒ සඳහා බොහෝ විචාරකයන් ඔහුට සමාව දෙනුයේ අන්තර්ගතය අතින් මෙන්ම ඔහු පළකළ දේශීයත්වය හේතුවෙනි. විශේෂයෙන් ඉන්දියානු ගී තනු අනුකරණය කිරීම අනිවාර්ය කාරණයක් වූවා යැයි අනුමාන කළ හැක්කේ බොහෝ ස්වීය තනු නිර්මාණය කරන ලද මුත්තුසාමි මාස්ටර් පවා චිත්‍රපටයකට එක් ගීතයක් හෝ අනුකරණ ගීතයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි. මාතලන් චිත්‍රපටයේ එන එකම අනුකාරක ගීතය වන දිනේ දිනේ සව්ශ්‍රීණි ගීතය පිළිබඳව එහි නිෂ්පාදක එස්.එම්. නායගම් එම දවස්වලම චලන චිත්‍ර සඟරාවට පවසන්නේ නොකර බැරි නිසා යොදා ගත් ගීතයක් හැටියටය.

පෙඩිපුතා චිත්‍රපටයේ සිය දරු දෙදෙනා සමඟ රික්ෂෝවක දමාගෙන මහ වැස්සක එන ජවනිකාවක් විය. මේ ජවනිකාව විමලවීරයන්ගේ සැබෑ ජීවිතයේ අත්දැකීමක් ඇසුරෙන් රූ ගැන්වූවක් බව මට පැවසුවේ ප්‍රවීණ සිනමාකරු දයා විමලවීරයන්ය. දයා අය්යා සිරිසේන විමලවීරගේ වැඩිමහල් පුත්‍රයාය. 1955 වසරේ විමලවීරයන් නිර්මාණය කරන ලද චිත්‍රපට දෙකක්ම තිරගත විය. එකක් අසෝකාය. අනෙක පොඩි පුතාය. අසෝකා ඔහු නවජීවන සමාගමෙන් බැහැරව නිපද වූ එකම චිත්‍රපටයයි. සාමාන්‍යයෙන් තම චිත්‍රපට සහ තිර රචනයෙන් හා ගී පද රචනයෙන්ද දායකවීම විමලවීර සිරිත වුව අසෝකා සඳහා ඔහු ඒ සිරිත් අත් හළේය. මේ චිත්‍රපට දෙකෙහිම කැමරාව මෙහෙයවන ලද්දේ පෝල් මතායස්ය. මතායස් ඉන්දියානු ජාතිකයකු විය. ඉන්දියාවේදී ඔහු සුප්‍රකට සිනමාකරු මෙහෙබුබ් ගේ මෙහෙබුබ් ස්ටුඩියෝවේ කැමරා ක්‍රියාකරවන්නා වීම විශේෂයකි. මෙහෙබුබ් නිර්මාණය කරන ලද අමර්, අන්දාස්, අවුරත් වැනි චිත්‍රපට සියල්ලටම කැමරා ක්‍රියාකරවන්නා හැටියට දායක වූයේ මතායස් ය. පොඩිපුතා වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයක් අත් පත්කර ගත්තේ නැත. කොහොමටත් විමලවීරයන්ගේ චිත්‍රපට ප්‍රදර්ශන සමාගම් අතර වරින්වර දැඩි කෙනෙහිලිකම්වලට ලක්වුණි. විමලවීරයන් ගේ ජංගම සිනමා ශාලා කිහිපයක් තිබුණ ද ඒ සියල්ල මනා ලෙස කළමනාකරණය වූයේ නැත. ඔහු ඇත්තටම අහිංසක කලාකරුවෙක් විය. නිර්මාණ අවශ්‍යතාව පසුපස සමස්ත සමාජ දැක්මක් දැකගත හැකි වූවත් සිනමාව නම් භාෂාව පිළිබඳ ඔහුගේ අවධානයක් යොමු නොවුණ වග පැහැදිලිය.

1955 වසරේ අතීතය පෙරළා බලද්දී මතුවනුයේ 1956 වසරේ බිහිවන අලෝකයයි. රේඛාවට පිඹුරුපත් සැදුණේ 1955 වසෙර්ය. සමකාලීන නිර්මාණ අතර රේඛාව නැගී සිටින්නේ විශ්මයක් කොටගෙනය. එය රූපයෙන් කතා කියන්නට හැකි බවට අපට මුල්වරට පසක් කරලන්නේය. 1955 වසරේ බොහෝ පුවත්පත් වල රේඛාව නමින් චිත්‍රපටයක් තැනෙන බව පළවෙයි. එහෙත් එහි කිසි තැනෙක එයට දායක වන අලුත් සිනමාකරුවන්ගේ නම් පළ නොවෙයි. එයට හේතුව සම්මාන සමාගම්වලින් බැහැර අලුත් අධ්‍යක්ෂවරුන් කවරෙක්දැයි පිළිගන්නට බොහෝ දෙනා අපොහොසත් වීමයි.

කෙසේ වෙතත් 1956 දී රේඛාව දකින චලන චිත්‍ර පුවත් පතේ කතුවර සෝමපාල රණසිංහ මෙසේ සඳහන් කරයි. රේඛාවත් මෙතෙක් නිපද වූ අනිකුත් සිංහල චිත්‍රපට අතරත් වෙනසක් තිබේ. ඒ වෙනස දකිනු කැමති හැම ලාංකිකයෙක්ම රේඛාව නැරඹිය යුතුය.

ඇත්තටම රේඛාව මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා, එච්. ආර්. ජෝතිපාල වැනි දැවැන්තයන් සියල්ල බිහිවීමේ ගෞරවය 1956 ට උරුම විය.