|
ජයසිරිට පිස්සු
සරත් කොතලාවල හෙළිදරව් කරයි
* මේ වනවිට ඔබගේ ‘ජයසිරිට පිස්සු’ වේදිකා නාට්‍යය වේදිකා ගත කරන්න සියල්ල සූදානම් වගයි පෙනෙන්නේ ? ඒ සඳහා සියල්ල සූදානම්. ‘ජයසිරිට පිස්සු’ කියන මගේ නවතම වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය වේදිකා ගත වෙන්නේ මේ මස 04 වැනිදා ටවර් රඟහලේ දී සවස 6.30ටයි. එහි රංගනයෙන් පුබුදු චතුරංග, ජනක කුඹුකගේ, ධර්මප්‍රිය ඩයස්, දිමුතු චින්තක, නිරෝෂන් විජේසිංහ, සමන් හේමරත්න යන ශිල්පීන් සහභාගි වෙනවා. සංගීතයෙන් විමල් දොඹගහවත්තත්, වේදිකා පරිපාලනයෙන් රෝහණ හේවාවිතාරණත්, ඇඳුම් නිර්මාණයෙන් පුෂ්පා සමන්තිත්, අංග රචනයෙන් සමන් හේමරත්නත්, රංග වින්‍යාසයෙන් ධර්මප්‍රිය ඩයස් යන ශිල්පීන්ගේ එකතුවෙන් ‘ජයසිරිට පිස්සු’ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනවා. එදාට නාට්‍ය නරඹන්න එන්න කියලා මා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. * ‘ජයසිරිට පිස්සු’ වගේ නමක් වේදිකා නාට්‍යයට යොදන්න සිතුවේ ඇයි ? ජයසිරි කියන එක අපේ රටේ ජය වෙනවා. ජය ශ්‍රී කියලා තමයි තියෙන්නේ. ඒ නිසා ඒකට කොහොමත් පිස්සු හැදෙන්න විදියක් නැහැනේ. ඒ කාරණයයි, මේ නිර්මාණයේ ප්‍රධාන චරිතයේ නමත් ජයසිරියි. මේ කියන කාරණා කිහිපය මූලික කරගෙනයි වේදිකා නාට්‍යයට නම වැටෙන්නේ. * ඒ කියන්නේ ජයසිරි කෙනෙක් මූලික කරගනිමින් තමයි නාට්‍යයට නම තබන්න ඇත්තේ කියලා කාටහරි හිතෙන්න පුළුවන් ? ඇවිත් නාට්‍ය නැරුඹුවාට පසුවයි මොකක්ද කියලා සිතා ගන්න පුළුවන් වෙන්නේ. * එහෙම නැතිව පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නොවෙයි ද මේ නම යොදන්නේ? නැහැ. පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නොවෙයි. නාට්‍යයක් කියන්නේ රචනයක්. * වේදිකා නාට්‍ය පිටපත ඔබට ලැබෙන්නේ කොහොමද ? පිටපත ලියැවෙන්නේ මීට වසර තුනකට කලින්. නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ මාස හයක විතර කාලයක ඉඳලා. මේ නිර්මාණය මගේම ස්වතන්ත්‍රයක්. මේ සඳහා පාදක වෙන්නේ කලාකරුවා. මට කතා කරන්න ඕනෑ වුණේ ඔහු පිළිබඳයි. කලාකරුවා කියන්නෙ සුන්දර වස්තුවක්. ඔහු බොහොම අව්‍යාජයි. කලාකරුවෙක් වුණත් ඔහුත් මනුස්සයෙක්. ඔහුටත් විවිධ සමාජ ගැටලු එනවා. එහෙම වුණත් වර්තමානයේදී කලාකරුවා දේශපාලනයත් සමඟ සම්බන්ධ වීමේ දී මොනවද කරන්නේ, ඔහුගේ කාර්යභාරය පිළිබඳ ද විවිධ ගැටලු පවතිනවා. කලාකරුවා කතා කරන්නේ කා වෙනුවෙන්ද කියන කාරණය ඉතා වැදගත්. ඒ වගේම ඔහුගේ කාර්යය වන්නේ යම් ප්‍රකාශනයකට දායක වෙන එකයි. ඔහු ඒ ප්‍රකාශනය කරන්නේ මා සිතන විදියට නම් ජනතාවගේ සුබ සිද්ධිය සඳහායි. එහෙම වුණත් කලාකරුවා දේශපාලන පක්ෂයක් සඳහා කතා කරන විට ඒ මගින් ඇති කරන පරිහානිය ඇති වෙන්නේ සමස්ත සමාජයටමයි. මේ සියලු දේම එකතු කරලා නිර්මාණය කළ නාට්‍යයක් තමයි ‘ජයසිරිට පිස්සු’ කියන්නේ. * ‘ජයසිරිට පිස්සු’ කියන්නේ දේශපාලනය සමඟ ඈඳුණු නාට්‍යයක් නිසා ඔබ මේ නිර්මාණය කළේ හාස්‍ය මුසු නිර්මාණයක් ලෙසද? මේ වේදිකා නාට්‍යය නරඹන අතරතුරදි හාස්‍ය කියන දෙය ඇති වෙන්න පුළුවන්. ඒ නිර්මාණයේ මතු කරන විවිධ කාරණාත් සමඟයි. * ඔබ සිතන විදියට කලාකරුවා කියන්නේ කවුද? කලාකරුවා කලා මාධ්‍ය භාවිත කරන්නේ යම් ප්‍රකාශනයක් සඳහායි. ලේඛන කලාව, චිත්‍රපට කලාව ආදී කුමන කලා මාධ්‍යයකදී වුවද මෙය පොදු කාරණයක්. එහිදී ඔහු ජනතාව වෙනුවෙන් කතා කළ යුතුයි. මේ නිසා මා සිතන්නේ කලාව කලාව උදෙසා නොව කලාව ජනතාව උදෙසා පවතින්නක් බවයි. ඒ වගේම තම පෞද්ගලිකත්වයට එහා ගිය දෙයක් ඔහු මගින් විද්‍යමාන විය යුතුයි. * නමුත් අද අපට දක්නට ලැබෙන්නේ කලාකරුවා ජනතාව උදෙසා කෙසේ වෙතත් ඔවුන් උදෙසාම කටයුතු කරන බව නොවේද ? මෙහෙමයි ඒවායේ සීමා තිබෙනවා. ඔවුන් මේ රටේ ජීවත් වෙන්න ඕනෑ. ඔවුන්ට තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්න ඕනෑ. ඒ වපසරිය තිබුණත් කලාව කියන දෙය විනාශකාරී ලෙස යම් දෙයකට උපයෝගී කර ගන්නවා නම් එතැනදි තිබෙන භයානක කම මතු වන්නේ. කලාකරුවන්ට දේශපාලනයක් තිබිය යුතුයි. ඒක පක්ෂ දේශපාලනයක් නම් නොවෙයි. අපේ කලාකරුවන් වුණත් අද එය වරද්දා ගත් බවක් පෙනෙනවා. පක්ෂ දේශපාලනය කියලා එක් එක් න්‍යාය පත්‍රවලට යන පක්ෂයි දකින්නට ලැබෙන්නේ. ඒ වගේ තැනකදි කලාකරුවන්ට ස්වාධීනත්වයක් පළ කළ නොහැකියි. * කලාකරුවන් දේශපාලනයට පිවිසීම නිසා ජනතාවගේ හදවතේ පෙර ඔවුන්ට තිබූ ගෞරවය අද වනවිට නැතිවී ගිහින් නේද? ඒක ඇත්තයි. ඒ තත්ත්වය නැති වෙන්න හේතුව කලාකරුවන් කෙරෙහි ජනතාවගේ සිත් ඇතුළේ තිබෙන විශ්වාසය නැතිවීමයි. ජනතාවට දේශපාලනඥන් කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුයි. ඒ විශ්වාසය ක්‍රමිකව ඈත් වෙමින් පවතින බවක් තමයි අපට පෙනෙන්නේ. ගොඩක් අය ඡන්දය නොදීමෙන් ඒ වග අපට පෙනෙනවා. කලාකරුවන් වුණත් ජනතාව අතරින් මේ විදියට නිෂේධනය වෙලා යන බව අපට පෙනෙන්නේ කලාව දේශපාලනයත් සමඟ සම්බන්ධ වීමත් සමඟයි. ජනතාව සිතන්නේ කලාව අප වෙනුවෙන් කතා කරන බවයි. අද වනවිට ඔවුන් ගැන කතා කරන්නට ඉතුරු වී තිබෙන මේ කලාව හා මාධ්‍ය කියන අංශ දෙක ඉන් ඈත්වීම නිසා සිදුවන්නේ සාමන්‍ය ජනතාවගේ හදවතෙන් මේ සියලු දෙනා ඇත්වී යෑමයි. * වේදිකා නාට්‍යයේ ඉදිරි ගමන කුමන ආකාරයෙන් සැකැසිය යුතුයැයි ඔබ සිතන්නේද ? ලංකාවේ තිබෙන චිත්‍රපට කර්මාන්තය වගේ නාට්‍යයත් කර්මාන්තයක් විය යුතුයි. මොකද චිත්‍රපටවලදි කර්මාන්තයක් තියෙන නිසා නේ චිත්‍රපට හැදෙන්නේ. ඒ වගේ නාට්‍යයත් එහෙම කර්මාන්තයක් වෙන්න ඕනෑ. * ඕනෑම කලාවක් පැවතීමට නම් වෘත්තිමය තත්ත්වයක් ගොඩනැගිය යුතුයි. නාට්‍ය කලාව දෙස විමසිල්ලෙන් බලද්දී එවැනි වෘත්තීමය තත්ත්වයක් එහි ගොඩනැගී ඇත්දැයි ප්‍රශ්නයක් පැන නැගෙනවා? ඔව්. ලංකාවේ එහෙම වෘත්තීය නළුවෝ නැහැ. වෘත්තීය නළුවන්ට පැවැත්මක් තියෙනවා. ලංකාවෙ එහෙම පැවැත්මක් නැහැ. අනෙක් එක මේ තත්ත්වය නිර්මාණය වීමේදී වෘත්තීය මට්ටම දියුණු කරගන්න වෙනවා. ඒ සඳහා වපසරියක් තියෙන්න ඕනෑ. ඒ කියන්නේ රට, රටවල්වල වගේ ඒ ඒ දේවල් අධ්‍යයනය කළ හැකි තැන් මෙහි නිර්මාණය වී තිබිය යුතුයි. මේ තත්ත්ය ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය මට්ටමින්. මේ නිසා අප ඉන්නේ වෘත්තීය මට්ටමේ කියලා ප්‍රකාශ කළාට ඇත්තටම අපි වෘත්තිකයෝ නොවෙයි. * එවැනි තත්ත්වයක් ඇති වෙන්න නම් අවශ්‍ය වන්නේ මොනවගේ වෙනසක් ද? මම කලින් කිව්ව වගේ මේ සඳහා මූලික ලෙසම රජය මැදිහත් විය යුතුයි. ඊට සංස්කෘතික ඇමැති වශයෙන් පත්වෙන කවුරු හෝ කලාව ගැන ආදරයක් තිබෙන කෙනෙක් විය යුතුයි. විශේෂයෙන්ම නාට්‍ය කලාව, චිත්‍රපට කලාව, ලේඛන කලාව අද කොතැනද තියෙන්නේ කියලා හරියට අධ්‍යයනයක් කළ යුතුයි. නැතිනම් මෙහිදී කටයුතු කරන්න වෙන්නේ එක් එක්කෙනාගේ උවමනා එපාකම්වලට අනුවයි. * වර්තමානයේ ලංකාවේ නාට්‍ය කලාව කොතැනද තිබෙන්නේ ? ලංකාවේ මේ දක්වා නාට්‍ය කලාව පැවැතුණේ තරුණයන් අතේ. ඒ ඒ කාලයේ හැටියට තරුණයක් මතුවුණා. වර්තමානයේ වුණත් දක්ෂ තරුණ පරම්පරාවක් ඉන්නවා. අලුත් දක්ෂ නිර්මාණ ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, නළු - නිළියන් මේ අතර ඉන්නවා. ඒ තරුණයන් අතේ තමයි හැම තිස්සේම නාට්‍ය කලාව පැවැතුණේ. අනෙක් අය නාට්‍ය නොකරනවා කියනවා නොවෙයි. ඔවුනුත් නාට්‍ය කරනවා. වැඩිපුරම අලුත් දේවල්, අත්හදා බැලීම්, අලුත් ක්‍රමවේද සොයන්නේ තරුණ අය තමයි. * ‘නරි බුරති’ ආදී ඔබගේ අනෙක් නාට්‍යවලට ලැබුණු ප්‍රතිචාරත් සමඟද ‘ජයසිරිට පිස්සු’ නාට්‍ය නිර්මාණය වෙන්නේ? මගේ ප්‍රකාශනය කරන්න පුළුවන් ලේසිම මාර්ගය වන්නේ වේදිකාවයි. එය කියන්න මා වේදිකාව තෝරා ගත්තා. * සිනමාව, වේදිකාව, පුංචි තිරය කියන මාධ්‍ය තුනේම සැරිසරන ශිල්පියෙක් විදියට ඔබට මේ ත්‍රිත්වය දැනෙන්නේ කොහොම ද? නාට්‍ය කලාවට සෙනඟ ඉන්නවා. චිත්‍රපටවලටත් මිනිස්සුන්ගේ කැමැත්ත තියෙනවා. එහෙත් ටෙලි නාට්‍යවලින් මිනිස්සු බැහැර වෙනවා. ක්‍රමිකව ඒ බැහැර වීම දකින්නට ලැබෙනවා. ඒක ඉදිරියට ඊටත් වඩා වැඩි වේවි. * නමුත් මේ කලාවන් ත්‍රිත්වයම ටිකෙන් ටික පිරිහෙමින් යන බවක් නේද දකින්නට ලැබෙන්නේ ? වේදිකා නාට්‍යවලට සෙනඟ ඉන්නවා. ලංකාව වටේ යන නිසා අපි ඒ බව දන්නවා. ඒ වගේම මේ අංශයෙත් තවත් හොඳ නාට්‍ය නිර්මාණය විය යුතුයි. ලංකාවේ තිබෙන්නේ නොදියුණු රංග ශාලාවල්. දැනට රංග ශාලාවල් තුන්සිය ගණනක් තිබුණත් නාට්‍යයක් පෙන්නන්න පුළුවන් රංග ශාලා තිබෙන්නේ බොහොම ටිකයි. මේ සමහර රඟහල්වල ඉන්නේ වවුල්ලු පමණයි. රජයක් නාට්‍ය කලාවට යමක් කරනවා නම්, නාට්‍යකරුවන්ට යමක් කරනවා නම් කළ යුත්තේ මේ අඩුපාඩු සම්පූර්ණ කිරීමයි.
|