මම හතර පද සහ දෙපද ගී ලියලම නැති තරම්
මම හතර පද
සහ
දෙපද ගී ලියලම
නැති තරම්
සුනිල් ආර්. ගමගේ
පන්හිඳෙන්
බිහි වූ මියුරු ගී රැගෙන
06 වැනිදා
B. M. I. C. H. හිදී
ප්‍රේමය විටෙක අතිශය සොඳුරු අත්දැකීමකි. තවත් වරෙක හද දවන සංතාප වේදනාවකි. ඒ කෙසේ
වුවත් ප්‍රේමයේ පහස ලබන්නට අකැමැති අයෙක් මෙලොව නොමැති වග නම් සහතිකය.
බිඳුණු පෙම් හදක් ළඟ මොහොතක් නැවතී ඒ හද පෙළන විරහ සංතාපය ඔහු අපට කියා දුන්නේ
අපූර්ව ගී පද වැලකිනි. ඒ සොඳුරු භාවමය ගී පදවැල් ඔස්සේ අපි ප්‍රේමයේ සැබෑ අරුත
පසක් කර ගත්තෙමු. පහන් සංවේගයෙන් ඇළලී යමින් ප්‍රේමයේ චමත්කාරය අත් වින්දෙමු.
ප්‍රේමය පිළිබඳ සංවේදී සිත් ඇත්තවුන්ට සුනිල් ආර්. ගමගේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු
නැත. තමන් වඩාත් ඇළුම් කරන ගී රැසක නිර්මාණ උල්පත ඔහුගේ පන්හිඳ බව ඔවුන් දනිති.
වසර හතළිස් පහක් පුරා ඔහු විසින් රචිත මියුරු ගී එකතුවකින් සමන්විත ‘අලුත් වැස්සක්’
සුනිල් ආර්. ගමගේ, ඔබ පෙම් කරනා ගී ප්‍රසංගය මෙම 06 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඔබ හමුවේ ගීතවත් වේ.
සැබැවින්ම එම ගී සැඳෑව ඔහුගේ රසිකයන් හට අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමානය.
අවුරුදු හතළිස් පහක් පුරා මම ලියූ ජනප්‍රියතම ගීත එකතුවක් ‘අලුත් වැස්සක්’ ගී
ප්‍රසංගයේදී මගේ රසිකයන්ට සජීවීව රස විඳින්න පුළුවන්. මිට පෙර අවස්ථා කිහිපයකදීම මේ
ප්‍රසංගය ඉදිරිපත් කරන්න මම උත්සාහ කළත් නොයෙක් හේතූන් මත එය අසාර්ථක වුණා. නමුත්
මෙවර ඒ අභියෝග අභිබවමින් ප්‍රසංගය පවත්වන්නට අවශ්‍ය පසුබිම සකස් වී තිබීම සතුටට
කාරණයක්.
ඔබේ සිසු දරු දැරියන් පිරිසක් තමයි මේ කාර්යයට උරදී තිබෙන්නේ?
ඔව්. මගේ සිසු දරුවන් තමයි මේ සංවිධාන කටයුතු සිදු කරන්නේ. මනරම් මීඩියා සොලියුෂන්
ආයතනයත් මේ කාර්යයේදී මා සමඟ අත්වැල් බැඳ ගන්නවා. එහි රාජිත හෙන්නායක සොහොයුරා තමයි
මූලික වෙලා මේ කාර්යයට උරදී තිබෙන්නේ. ‘අලුත් වැස්සක්’ ප්‍රසංගයේදී තවත් සුවිශේෂී
දෙයක් සිදු වෙනවා. ඒ තමයි මා පිළිබඳ ලියැවුණු පොතක් එළි දැක්වීම. ‘කවිය ඔබය’ සුනිල්
ආර්. ගමගේ නමැති ඒ ග්‍රන්ථය රචනා කළේ පමිත ආර්. ලියනගේයි. එය පිටු 400 ක පමණ ලොකු
ග්‍රන්ථයක්. මගේ ගී පිළිබඳ විමර්ෂණාත්මක ලිපි කිහිපයක් සහ පොදුවේ ගීත කලාව පිළිබඳ
ලිපි කිහිපයක් ‘කවිය ඔබ’ කෘතියට ඇතුළත්.
ප්‍රවීණ ගායක, ගායිකාවන් කිහිප දෙනෙක් මේ ප්‍රසංගයට සජීවීව ගායනයෙන් දායක වෙනවා?
ඔව්. සුනිල් එදිරිසිංහ. ඔහු එදාට ගායනා කරනවා. පුර පෝය හඳට, නුඹේ සිතට, නිල්
කටරොළු, මල් වට්ටියක්, අලුත් වැස්සක්. කරුණාරත්න දිවුල්ගනේ ගයනවා ඔබ මා හමු වුණ,
පිවිතුරුය පළමු පෙම, විඳිමි දඬුවම්. දීපිකා ප්‍රියදර්ශනී කවිය ඔබ, රාත්‍රිය වී,
හුදෙකලා වූ පෙම්වතාණෙනි, සුදු හංසනී, නිල් මානෙලක් කියන ගීත ගායනා කරනවා. එතකොට
ප්‍රදීපා ධර්මදාස ගායනා කරනවා හංස කන්‍යාව, විනිසුරාණන් ඔබයි. නිරෝෂා විරාජිනී
ගායනා කරනවා ඔබ සඳක්මැයි, දයාබරය මේ. ජානක වික්‍රමසිංහ ගායනා කරනවා අපි කතා නොකර
ඉමු, පහන් වැටිය සේ කියන ගීත.
විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘ඔබ පෙම් කරනා’ ඔබ ප්‍රබන්ධය කළ අදටත් ජනප්‍රිය ගීතයක්?
ඒ ගීතය ගයන්න කපුගේ අද අප අතර නැති වුණත් ඔහුගේ දයාබර පුත් මිත්‍ර කපුගේ එදාට මේ
ගීතය ගයනවා. කපුගේ අයියා ගායනා කළ ‘පිය සටහන්’ ගීතයත් මිත්‍ර එදාට ගායනා කරනවා. ඒ
වගේම ‘තුරුණු ශක්ති’ වැඩසටහන හරහා මම හඳුනාගත් සුරංජි ශ්‍යාමලී කියන නව පරපුරේ
ගායිකාවටත් මේ ප්‍රසංගයේදී ගීත ගයන්න මම අවස්ථාව ලබා දුන්නා. ‘අලුත් වැස්්සක්’
ප්‍රසංගයේ සංගිතය මෙහෙය වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.
මේ ප්‍රසංගයේ නිවේදකයෙක් හෝ පූරකයෙක් නැහැ?
ඇත්තෙන්ම මමම තමයි මගේ ගීතවලට දායක වූ නිර්මාණකරුවන්, ගායක, ගායිකාවන් සමඟ සංවාදයේ
යෙදෙන්නේ. ගීතයට පාදක වූ අත්දැකීම් ඊට දායක වූ පිරිස සමඟ බෙදා හදා ගනිමින්, කතාබහ
කරමින් තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ.
ඔබ සඳහන් කළ ගීත මිට කලකට ඉහත රචනා කරපුවා. ඒ ගීත තෝරා ගැනීමට විශේෂ හේතුවක්
තිබුණාද?
මම ඉතින් ගොඩක් ගීත ලියලා නෑ. ඔක්කොම ගීත ගත්තොත් දෙසීයක් විතර ලියලා ඇති. මගේ ගීත
දෙකකට වඩා ගායනා කළ ගායක ගායිකාවෝ අට දෙනෙක් තමයි මම මේ ප්‍රසංගයට තෝරා ගත්තේ.
එක්තරා පිරිසකට පමණක් සීමා වී ඔබ ගීත රචනා කළාදෝ කියන කුකුසක් මේ වෙලාවේ මගේ හිතට
නැඟෙනවා?
ඇත්තටම මම හරි අහම්බෙන් ගීත රචකයෙක් වුණ කෙනෙක්. විද්‍යා විෂයය හදාරපු ශිෂ්‍යයෙක්
හැටියට මම ගුවන් විදුලියට යන්නේ වැඩ සටහනක් පටිගත කරලා ඒක ප්‍රචාරය වෙන්නේ කොහොමද
කියලා බලන්න. ඒ කුතුහලයෙන්. සුජාතා අත්තනායක මහත්මියගේ සරල ගී වැඩ සටහනක් බලන්න
යන්නේ. එතනදි මට ගීතයක් ලියන්න අවස්ථාව ලැබෙනවා.
ඔය කොයි කාලෙද?
1971 දෙසැම්බර් මසේ 20 වැනිදා තමයි මම අර වැඩසටහන බලන්න ගුවන් විදුලියට ගියේ. ඒ දවස
මට තවමත් හොඳින් මතකයි. එදා අහම්බෙන් ඒ අවස්ථාව නොලැබුණා නම් මම අදටත් ගීත රචකයෙක්
නෙවෙයි.
මොකක්ද ඒ ගීතය?
‘මංගල කසී සළු’ කියන ගීතය. සුජාතා අත්තනායක ගැයූ වෙනස්ම ආරක ගීයක් එය. නෙවිල්
ප්‍රනාන්දු මහත්මයා තමයි ඒ ගීතය සංගීතවත් කළේ. ඒක බොහොම ක්ෂණිකව නිර්මාණය වෙච්ච
ගීතයක්. එයින් තමයි මම ගීත රචකයෙක් බවට පත් වුණේ. මෙතනදි විශේෂ දෙයක් තියෙනවා
කියන්න. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ බලහත්කාරයෙන් ලියවා ගත්ත ගීත තමයි වැඩිපුර
තියෙන්නේ. ‘සිංග් ලංකා’ කැසට්වලට, සංගත තැටිවලට ඔහු බලෙන් ලියා ගත්තු සිංදු.
එහෙම බලෙන් ගීත ලියන්න පුළුවන්ද?
නැහැ. කුලේ මම ගීත ලියන බව දන්නවා. නමුත් මම පැත්තකට වෙලා ඉන්න නිසා ඔහු තමයි මේ
මාව සැරෙන් සැරේ පෙළෙඹෙව්වේ මේ වැඩ්ට. දැන් අවුරුදු හතළිස් පහට ගීත දෙසීයක් කියන්නේ
අවුරුද්දකට ගීත පහක්වත් ලියලා නෑනේ මම. ඉතිං ඒ ගීත පහ හරි ලියවා ගත්තේ ඔහු තමයි.
ඔබේ බොහෝ ගීතවලට පාදක වී තිබෙන්නේ ප්‍රේමයේ විරහව. ඒ ඔබේ අත්දැකීම් අනුසාරයෙන්ද?
මගේ පෞද්ගලික අත්දැකීම්ම නෙවෙයි. ඇසූ දුටු සිද්ධීන්, පොත පත කියැවීමෙන් ලබපු
අත්දැකීම්. ඒවා නිර්මාණ පරිකල්පනය ඔස්සේ ගීත රචනා බවට පත් කරන්නට මට පුළුවන් වුණා.
ඒ වගේම ලෝකය ගත්තොත් වැඩිපුරම ප්‍රේමය විෂය වෙච්ච කලා නිර්මාණ තමයි තියෙන්නේ. ගීත
සාහිත්‍යයේත් එහෙමයි.
ප්‍රේමයෙත් විරහව?
ඔව්. වැඩිපුරම රහ විරහවනේ. විරහව තමයි රහ. මොකද යහපත්ව සිදුවෙච්ච දෙයක් මෙනෙහි
කරන්නේ නෑනේ මිනිස්සු. තමන්ට දුක්බර, ලබා ගන්න බැරි වූ දේවල් තමයි මෙනෙහි කරන්නේ.
ඒවා තමයි හදවතේ කැකෑරෙන්නේ. ඉතිං බොහෝ විට ප්‍රේමයත් ඒ වගෙයි. ඇතැම් ගීතවල මගේ
අත්දැකීම් තියෙනවා. ඒත් ඒවා පොදු අත්දැකීම් කරගෙන තමයි මම ගීත රචනා කළේ.
බොහෝ ගීත රචකයන්ගේ සශ්‍රීක අවධියක් තිබුණා. විශේෂයෙන්ම හැත්තෑව දසකයේ ඔවුන් අතින්
ඉතා හොඳ ගීත ලියවුණා. ඒත් එයට සාපේක්ෂව වර්තමානයේ අප දකින්නේ ගීත රචනා කලාවේ
කිසියම් අවපාතයක්, කඩාවැටීමක්?
දැන් අවුරුදු හතළිස් පහක් පුරා මම ගීත ලිව්වානේ. පෞද්ගලිකව ගත්තොත් මම මා ගැන
තෘප්තිමත්. මොකද අමරදේව මහත්මයාගේ ඉඳලා සුරංජි ශ්‍යාමලී දක්වාම මම සිංදු ලියලා
තියෙනවා. එතකොට ඒවා බහුතරය ජනප්‍රිය වෙලත් තියෙනවා. ඒ නිසා හරිම තෘප්තිමත් මේ
ක්ෂේත්‍රය තුළ. නමුත් ඊළඟ පරපුරට මේකෙ අවාසනාවන්ත කාලයක් උදා වුණා. එදා අපිට එකම
ගුවන් විදුලි සේවාවක් තිබිලත් අපි නිර්මාණකරුවෝ වශයෙන් ඉදිරියට ආවා. නමුත් අද ගුවන්
විදුලි නාළිකා හතළිස් හතක් තිබිලත් මේ ජාතික කර්තව්‍යයට අත දෙන්න තැනක් නෑ. ඒක තමයි
ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ.
ඇත්තටම ඒක ප්‍රශ්නයකට වඩා ඛේදවාචකයක්?
ඉතිං මම හිතන්නේ අපේ ජාතික ආයතන මේ සහිත්‍යය ගැන නැතිනම් ගීත ගැන හෝ වෙනත් නිර්මාණ
පිළිබඳ කිසිම හැඟීමක් නෑ. මම හිතන හැටියට ගුවන් විදුලිය, රූපවාහිනිය, ජාතික තරුණ
සේවා සභාව මේ රටේ ඉන්න ඊළඟ පරපුර අපි වගේ ගොඩ නඟන්න අත්උදවු දෙන්න ඕනෑ. ඒක නොවෙන
නිසා තමයි මේක එක තැන පල් වෙමින් තියෙන්නේ.
බොහෝ විට අපේ ගීතය විචාරයට ලක් කෙරෙන මිණුම් දණ්ඩ එහි පද රචනය නැතහොත් සාහිත්‍යමය
පක්ෂය. විවිධ සංගීත ශෛලීන්, රටාවන් සමඟ ජාත්‍යන්තරයට ගැළපෙන අපේ සංගීත නිර්මාණ බිහි
වෙද්දී ඇයි අපේ ගීත රචනා කලාවට එවන් ඉරණමක් අත් වුණේ?
එය ගැඹුරින් විග්‍රහ කළ යුතු කාරණයක්. මම මේ කතා කරපු කොටසට රවි සිරිවර්ධන, සමුද්‍ර
වෙත්තසිංහ, අසංක රුවන් සාගර, අමිල තේනුවර වගේ පිරිස අයත් වෙන්නේ නැහැ. ඒ අය අපිත්
එක්කලා, සුභාවිත ගීතයත් එක්කළා වැඩ කරගෙන යනවා. ඒගොල්ල අපේ යෂ්ටිය බාර අරන්
තියෙන්නේ ඇත්තටම. නමුත් ඔවුන්ට වේදිකාවක් නෑ. මේ ගුවන් විදුලි නාළිකාවල ඉඩක් නෑ
ඔවුන්ට අලුත් නිර්මාණයක් කරන්න.
විකල්ප මාධ්‍යයත් බිඳ වැටිලා?
අද කැසට් එන්නේ නෑ. සංගත තැටි ව්‍යාපාරයත් බිඳ වැටිලා. ඒක නිසා මේ අයට වේදිකාවක්
නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. අනෙක් එක මම ඔය නම් කියපු අය හැරුණු කොට අනෙක්
අය සාහිත්‍යය පරිශීලනය කරන්නේ නෑ. පැරැණි පතපොතක් ගැන දන්නේ නෑ. අපි මේ ගෙදර දොරේ
නිකං භාවිතා කරන වචන තමයි ගීතවලට යොදා ගෙන තියෙන්නේ හුඟක් ඒවා. ඉතිං රූප රාමුවක්
හදා ගන්නවා. කී බෝර්ඩ් එකක් ගන්නවා. ගීතයක් හදාගන්න පුළුවන් එතකොට. හැබැයි අද බිහි
වෙන ගීතය හෙට අහන්න ලැබෙන්නේ නෑ.
කෙටි පද - යෙදුම් තමයි බොහෝ විට ඔබේ ගීත රචනා ශෛලිය තුළ අප දකින්නේ. ඊට විශේෂ
හේතුවක් තියෙනවාද?
මම හතරපද සහ දෙපද ගීත ලියලාම නැති තරම්. ගීත දෙකයි හතර පද ලියලා තියෙන්නේ. මට මතක
විදියට සුනිල්ට ලියු ‘නුඹේ සිතට’ සහ නීලාට ලියපු ගීතයක්. මම හැම තිස්සේම උත්සාහ
කරන්නේ ගීතයේ විශේෂත්වයක් ඇති කරන්න. මොකද සාහිත්‍යකරුවා විතරක් නෙවෙයිනේ ගීතයේ
අයිතිකරුවා. සාහිත්‍යකරුවාත් ඉන්නවා. අපි ඔහුගේ හුරුබුහුටිකම් දක්වන්න ඉඩ තිබ්බේ
නැතිනම් අපේ පද රචනය දුර්වල වෙනවා. දැන් ‘කවිය ඔබ’ කියලා ආරම්භ කළාම ඉතිරි ගීත ටික
ගෙනි යන්නේ රෝහණ. ඔහුගේ සංගීත උපක්‍රම මඟින් තමයි ගීත අලංකරණය කර තිබෙන්නේ. මම හැම
තිස්සෙම උත්සාහ කරලා තියෙනවා සංගීතකරුවාට ඔහුගේ හුරුබුහුටිකම් දක්වන්න ඉඩ සැලසීමට.
ඒ නිසා ඒ සංගීතකරුවා තමන්ගේ කාර්යභාරයට වැඩිපුර උනන්දු වෙනවා.
ගායක, ගායිකාවන්ටත් එය කිසියම් උත්තේජනයක් ලබා දෙනවා මධුර ගායනයකට?
දැන් ‘කවිය ඔබ’ ගීතයේ ‘යව්වනේ’ කියන තැන දීපිකා ඉතා සුමට ලෙස ගායනා කරනවානේ. එතකොට
‘පිවිතුරුය පළමු පෙම’ ගීතය ගත්තාම ‘සුදු හාමිනේ’ කියන තැන දිවුල්ගනේ මධුර ලෙස ගායනා
කරනවනේ. ඒකට හේතුව තමයි සංගීතකරුවාට මා විසින් ඉඩ තබා තිබීම.
එතනදි ඔබ බොහොම පරාර්ථකාමී හැඟීමකින් කටයුතු කර තිබෙනවා නේද?
ගීතය කියන්නේ සාමුහික ප්‍රයත්නයක්නේ. ඒකට මේ සාහිත්‍යයම පුරෝලා හරි යන්නේ නෑ. හොඳ
සංගීත රටාවක් මම ලබා ගන්න ඕනෑ සංගීතකරුවාගෙන්. ඒකට මම ඉඩ තියලා තියෙනවා
සංගීතකරුවාට. එතකොටයි සාර්ථක ගී නිර්මාණයක් බිහි වෙන්නේ.
සංලාපය - අසංක දේවමිත්ර පෙරේරා
|