|
මේ මොහොතේ නිහාල් ප්‍රනාන්දුට ඔබේ සහාය අවශ්‍යයි
ඒ ලද තොරතුරු අනුව අපි නිහාල් ප්‍රනාන්දු සොයා පිය මැන්නේ මාකොල මාවරමංඩියේ ඔහු වෙසෙනා නිවහන සොයාගෙනය. අපගේ පැමිණීමත් සමඟ නිහාල්ගේ බිරිය තමාරා ඔහුව වත්තන් කොටගෙන පැමිණ අප අසලින් වාඩි කරනු ලැබීය. තවමත් පූර්ණ සුවයක් නොලැබුව ද ඉතා අපහසුවෙන් වුව ද අපත් සමඟ කතාබහට එක් වූ නිහාල් වේදනාබර, හැඟීම්බර කතාබහකට මුල පිරුවේ මේ අයුරිනි. * මොකද මේ හදිසියේම අසනීප වුණේ? දෙවැනි වරටත් මට හෘදයාබාධයක් ඇති වුණා. මීට කලින් පෙබරවාරි මාසේ විසි වැනිදා මට මුලින්ම හෘද සැත්කමක් කළා. දවස් දහයක් විතර රෝහලේ නැවතිලා ඉඳලා තමයි සුවයක් ලැබුවේ. ඊට පස්සේ ආයෙත් ජූලි විසි වෙනිදා මට හෘදයාබාධයක් ඇති වුණා. ඒ වෙන කොට මම හිටියේ අනුරාධපුරයේ. මට ගොඩක් අමාරු වුණා. මගේ පූරුවේ පිනකට තමයි මම අද ජීවත් වෙන්නේ. * කොහෙදිද ඔබේ ඔපරේෂන් එක සිද්ධ කළේ? කොළඹ නවලෝක රෝහලේ. මගේ මුල්ම සැත්කම කළෙත් ඒ රෝහලේ. මට අමාරු වුණාම මුලින්ම මාව අනුරාධපුර මහ රෝහලට එක්ක ගියා. ඊට පස්සේ මූලික ප්‍රතිකාරවලින් පසු මට මුලින්ම සර්ජරි එක කළ දොස්තරලට දැන්වීමෙන් පසු මට නැවත කොළඹ එන්න කියලා උපදෙස් ලැබුණා. ඒ අනුව මම කොළඹ එනකොට මට හොඳටම අමාරු වුණා. ඒ පාර කෙළින්ම මාව ගෙනාවේ නවලෝක රෝහලට. ඒ ආවට පස්සේ ඔපරේෂන් එක වෙනුවෙන් විශාල සටනක් කරන්න සිද්ධ වුණා. ඒ සඳහා මැදිහත් වුණේ ජයන්ත ධර්මදාස මහත්තයා. එතුමා මට දෙවියෙක් වගේ පිහිට වුණා. * අනුරාධපුරය වගේ දුරබැහැර ප්‍රදේශයකට ගොස් සිටියේ විශේෂ කාරණයක් සඳහාද? මම නිර්මාණය කළ කුලැත්තියෝ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සඳහා තමයි අනුරාධපුරයට ගිහින් තිබුණේ. කුලැත්තියෝ ටෙලි නාට්‍යය අපි මුලින් කළ නිර්මාණයේ විකාශය වීම ඇරැඹුවේ මැයි පළමු වැනිදා. මේ මෙගා ටෙලි නාට්‍යය අපි අවසන් කරන්න සැලසුම් කරලා තිබුණේ කොටස් සියයකින්. පසුව අපිට උපදෙස් ලැබුණා එය කොටස් හැත්තෑවකින් අවසන් කරන්න. ඒ අනුව විකාශය වීම ඇරැඹුමත් සමඟ අපි එහි දෙවන අදියරයේ රූපගත කිරීම් මැදවච්චිය, නුවර, මිහින්තලේ, අනුරාධපුර අවට සිද්ධ කළා. කොහොම හරි අපි මුළු නාට්‍යයේම ෂූටින් ජූලි 19 වැනිදා අවසන් කළා. නාට්‍යයේ සියලු වැඩ කරලා අවසන් වෙලා අපි ගෙදර එන්න පහුවෙනිදාට සූදානම් වෙලා ඉන්න කොට තමයි මට අමාරු වුණේ. * ඔබ කියන්නේ මරණය දැක දැක ඔබට නැවත ජීවත් වෙන්න වරම් ලැබුණා කියලද?
* ඔපරේෂන් එකෙන් පසු දින තුනක්ම ඔබ සිහි නොලබා දැඩි සත්කාර ඒකකයේ පසු වුණා නේද? මගේ දෙවැනි ඔපරේෂන් එක සිද්ධ කළේ හෘද රෝග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන් වන රිචඩ් සල්දානා, චන්දික පොන්නම්පෙරුම ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමක්. මේ අය මගේ ජීවිත අවදානම දැන දැනම තමයි මේ ඔපරේෂන් එක සිද්ධ කළේ. එයාලගේ තීරණය වුණෙත් මට ජීවත්වීමේ වාසනාවක් තිබුණොත් මම ජීවත් වෙයි. වෛද්‍යවරු වශයෙන් එයාලට කරන්න පුළුවන් උපරිමය එයාල කළා කියලා. කොහොම හරි මම ආයේ දවස් තුනකට පස්සේ සිහි ලබලා ජීවත්වීමේ වාසනාව ලැබුවා. * ඔබේ නිවසට නොයා ඇයි සහෝදරියගේ නිවසේ නැවතී සිටින්නේ? පැය හතහමාරක සැත්කමකින් පස්සේ දවස් විසි දෙකක් නවලෝක රෝහලේ නැවතිලා ඉඳලා තමයි මම මේ සහෝදරියගේ ගෙදරට ආවේ. මගේ බොරලැස්ගමුවේ ගෙදර පඩි නැගලා මට යන්න අපහසුයි. මේ වෙනතුරුත් මම පූර්ණ සුවයක් ලබලා නැහැ. තවම මගේ පපුවේ අතේ තුවාල. මේ ගෙදර ඉඳලා තමයි වෛද්‍ය උපදෙස් අනුව සායනවලට යන්නෙත්. * ඔබට යළිත් ජීවත් වෙන්න ආශිර්වාද කළ අයත් ඇති නේද? මම ජීවිතයත් මරණයත් අතර ගෙවපු කාලය තුළ මගේ ජීවිතය පතා ආශිර්වාද කරන්න මගේ අසනීප තත්ත්වය දැනගෙන නුවර මාරස්සන පන්සලේ ගොඩමුනේ පඤ්ඤානන්ද හිමියන් දුම්රියෙන්ම කොළඹ පැමිණ රෝහලට ඇවිත් මට පිරිත් කියලා සෙත් පැතුවා. මගේ ජීවිතය පතා සිරිල් ගාමිණී පියතුමා මා වෙනුවෙන් යාඥා කරලා දෙවියන් වහන්සේට කන්නලව් කළා. * ඔබේ මිත්‍රයෝ, ඔබෙන් උපකාර ලැබූවන්, ඔබ අත හිත දුන් අය මේ වෙලාවේ ඔබට හයියක් වුණාද? කීප දෙනෙක් හැරෙන්න අනිත් කවුරුවත් මගෙන් අඩුම තරමේ මොකද වුණේ කියලවත් ඇහුවේ නැහැ. චන්ද්‍රසේන වලිමුනි, නුවනි වලිමුනි යුවළ, සුසිල් පෙරේරා, සෝමවීර ගමගේ, ධර්මසිරි බණ්ඩාරනායක, සැන්ඩෝ හැරිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ආරියරත්න කළුආරච්චි වගේ පිරිසක් තමයි මා ගැන හොයලා බැලුවේ. වචනයකින් හරි උදව්වක් කළේ. * ඔබ වෙනුවෙන් කිසියම් උපකාරයක් කිරීමටත් සමහරු කතිකා කළා නේද? සැන්ඩෝ හැරිස් එයාගේ නාට්‍යය පෙන්නලා මට මුදල් ආධාරයක් ලබා දෙන්න පොරොන්දු වුණා. ශ්‍රියන්ත මෙන්ඩිස් එයාගේ නාට්‍යයක් පෙන්වලා මට ආධාර කරන්න කතා කළා. ප්‍රින්ස්ලි වික්‍රමනායක එක්සත් කලා සංගමය හරහා මට උදව් කරන්න උත්සාහයක නියැලෙනවා. * මේ වන කොට ඔබ රෝගී බව නිසාම වඩාත් මානසික ආතතියකට පත් වෙලා නේද? මගේ හිතට ලොකු වේදනාවක් දැනෙනවා. මට සෑහෙන කාලයකට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න බැරි වෙනවා. ආර්ථික වශයෙන් ලොකු පසුබෑමකට තමයි මම අද පත්වෙලා තියෙන්නේ. * ඔබ මේ වන විටත් බොහෝ සේ කලකිරිලා බවයි මට හැඟෙන්නේ? මම ජීවිතය තේරුම් ගත්තා. මම සල්ලි මත ජීවත් වුණු පුද්ගලයෙක් නෙවෙයි. මම කලාව මත තමයි ජිවත් වුණේ. සල්ලි ඉස්සරහට දාලා මම කලාව කළේ නැහැ. නිර්මාණය තමයි මගේ හදගැස්ම වුණේ. කුලැත්තියෝ ෂූටින් ඉවර වෙලා මාව අසනීප වීම ගැන මට දුකක් නැහැ. එහෙම නොවුණා නම් මට මේ තියෙන දුක වැඩියි.
ජගත් විජේනායක නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයක තව කොටස් කරන්න තියෙනවා. මේ වන විට ඒ ටෙලි නාට්‍යයේ කොටස් විස්සක් රූපගත කරලා අවසානයි. මගේ ඊළඟ පැතුම මට කවදද ආයෙත් ඉස්සර වගේ වැඩ කරන්න පුළුවන් කියන එක. එදාට මම මුලින්ම කරන්නේ ඒ ටෙලි නාට්‍යයේ ඉතිරි ටික කරලා අවසන් කරන එක. අද වෙනකන් මේ නිෂ්පාදකවරයා මගෙන් අහලා නැහැ නිහාල් මගේ ටෙලි නාට්‍යයට මොකද වෙන්නේ කියලා. ඒ තරම් ගුණ යහපත් පුද්ගලයෙක් ජගත් විජේනායක. * ඔබ බොහෝ විට කළ දෙයක් ඔබම අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයේ ඔබත් එහි රංගනයේ නිරත වීම. මේ තත්ත්වය ඔබේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් එල්ල කළේ නැද්ද? කුලැත්තියී නාට්‍යයේ මම රඟපාන කොට මගේ පිට හරහා දැඩි වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. එත් මම ඒ වේදනාව යටපත් කරගෙන රංගනයේ නියැළුණේ මගේ එකම අරමුණ වූ නාට්‍ය නිර්මාණය නිසා. ඒ වගේ වේදනා ආපු අවස්ථාවල අපි ෂූටින් කළ ගල්තලා මත මම දිග ඇදී ටික වේලාවක් ගත කරනවා. ඒ අවස්ථාවල වේදනාව පහ වෙලා යනවා. ඔය විදියට තමයි ෂූටින් කළේ. ෂූටින් ඉවර වෙනවාත් සමඟ මගේ අමාරුව දරුණු වුණා. * ඇත්තද ඔබට රඟපෑම වෙනුවෙනුත්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙනුත් නිෂ්පාදකයන්ගෙන් මුදල් ලැබෙන්න තියෙනවා කියන්නේ? අනේ ඔව්. එහෙම නොදුන් අය කීප දෙනෙක්ම ඉන්නවා. මම ළඟ කවදාවත් ගිවිසුම් ගහලා රඟපෑමේ කලාවක් තිබුණේ නැහැ. ගිවිසුම් ගහලා නිෂ්පාදකයන්ට නිර්මාණ කරදීමේ පුරුද්දක් මගේ හතළිස් දෙවසරක කලා ජිවිතය තුළ කොහෙත්ම තිබුණේ නැහැ. ඒ හින්දම මට නිෂ්පාදකයෝ පොරොන්දු කඩ කළා. මම කවදාවත් චරිතයක් ලැබුණත්, නිර්මාණයක් කරන්න ලැබුණත් ඒ නිර්මාණය, චරිතය මිසක් මුදල් ඔළුවට ගත්තේ නැහැ. මම මේ ටික කළාට මගේ මුදලෙන් මේ ටික දෙන්න. ඉතිරි ටික කරන්න මට මේ ටික දෙන්න. රඟපාලා ඉවර කරන්න නම් ඊට කලින් මට මුළු මුදල දෙන්න කියන වචන හරඹ මම කවදාවත් කළේ නැහැ. ඒ හින්දම මට ලැබිය යුතු මුදල් නැති වුණා. මම නිර්මාණයක් ලැබුණාම ඒක මගේ වගකීමක් හැටියටයි මම සැලකුවේ. මගේ උපරිම උත්සාහයෙන් එය කරදීම තමයි මගේ එකම අරමුණ වුණේ. මට පිට පිටම ශල්‍යකර්ම දෙකක් කරන්න සිද්ධ වුණා. අඩුම තරමේ මම මෙච්චර අසරණ වෙලා තිබියදීත් මට දෙන්න තියෙන මුදලකින් කීයක් හරි දෙන්නවත් මේ නිෂ්පාදකයෝ අකෘතඥ වුණා. * ඔබ තුළ තියෙන සිත් වේදනාව වැඩි නිසාම වෙන්න ඇති ඔබ බොහෝ විට අද ගැඟුම්බර වන්නේ? මම මේ ගෙවන්නේ හිත් වේදනා හා පොදි බැඳගෙන ශාරීරික වේදනාත් එක්ක. අද මට හරි සුවයත් නැති නිසා ශාරීරික වශයෙන් ලොකු අපහසුතාවක් දැනෙනවා. මට කතා කරන කොට වුණත් ඒ අපහසුතාව දැනෙනවා. උරස් කුහරය විවෘත කළ හදවත් සැත්කමක් නිසා තාම මට හරි හැටි නිදාගන්න, ඉඳගන්න පවා අපහසු අවස්ථාවක මම පසු වන්නේ. මම නම් සිතින් වුණත් ප්‍රාර්ථනය කරන්නේ ජීවිතේ තියෙනකන් මට වුණ මේ කරදර තව මිනිසෙකුට තියා සතා සිව්පාවෙකුටවත් සිදු වෙන්න එපා කියලා. අද මාව ඔසවලා තබන්න, මාව ගොඩ නඟන්න මගේ බිරිය තමාරා මට යෝධ සෙවණැල්ලක් වෙලා. ඇය ලොකු පීඩනයක් හිතේ රඳවගෙන මා වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. මගේ දරුවො සහන් පුතා, සඳලි දුව මාව අතහරින්නේ නැතුව මට ශක්තියක් වෙලා. මම හැම විටම තත්පරයක් තත්පරයක් පාසා ගන්නා හුස්ම ටිකේ පවා මේ තුන් දෙනා ජීවත් වෙනවා. මගේ මේ හදිසි ඔපරේෂන් එකට මගේ ලේ සොයා ගැනීම අපහසු දෙයක් වුණා. ඒ වෙන කොට ලේ බැංකුවේ පවා තිබූ මගේ රුධිර වර්ගයේ ලේ තිබුණු ලේ ප්‍රමාණය කල් ඉකුත් වී තිබුණා. ඒ වෙලාවේ අපි ගොඩක් අසරණ වුණා. පුතාගේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ වෙලාවේ ලොකු උත්සාහයක් අරන් මට අවශ්‍ය ලේ පරිත්‍යාගශීලීන් හොයා ගත්තා. ඒ වගේම ඉස්පිරිතාලේ ලෙඩ්ඩු ළඟ හිටිය අයත් මට ලේ දෙන්න පරිත්‍යාගශීලී වුණා. ඒ ලේ සොයා ගැනීමේ අපහසුව කොච්චර අමාරු වුණා ද කියනවා නම් මගේ බිරිඳගේ ලේ අවශ්‍ය ලෙඩෙකුට පරිත්‍යාග කරලා ඒ ලෙඩා ළඟ හිටිය කෙනෙකුගෙනුත් ලේ පරිත්‍යාගයක් ලබා ගන්න පවා අපිට සිද්ධ වුණා. මම මගේ අම්මාගෙන් මේ ලෝකයට ජිවිතය ලැබුවා සේ මා නැවත දෙවැනි පාරට මේ ලෝකයට ජීවිතය ලැබුවේ ජයන්ත ධර්මදාස මහත්තයා නිසා කියන දේ මම කට ඇරලා හඬගා කියනවා. නිහාල් ප්‍රනාන්දුට අද අවශ්‍යව ඇත්තේ ඔහුගේ වේදනාවන් යටපත් කර ගැනීමට ඔහු හා කතාබස් කරන්නට හිතවතුන් පිරිසකි. ඔහුට ආදරය කරන රසික රසිකාවන්ට, ඔහුගේ නිර්මාණයන්ට ආදරය කරන පේ‍්‍රක්ෂකයන්ට මේ මොහොතේ නිහාල් වෙනුවෙන් වචනයක් හෝ කතා කරන්නට ඔබට හැකි වේ නම් එය ලොකු පුණ්‍යකර්මයක් යැයි මට සිතේ. ඒ අයුරින් හෝ නිහාල්ගේ දුක සැප විමසන්නෙකුට 0766970632 ජංගම දුරකථනයට කතා කිරීමෙන් නිහාල්ගේ සිතේ දුක යම් ප්‍රමාණයක් හෝ දුරස් කර ඔහුට අස්වැසිල්ලක් එක් කළ හැකි යැයි මගේ විශ්වාසයයි.
|