|
දේශීය සිනමාවේ අසංතෘප්ත ආදර පාරමිතාව ‘ඔබ නැතුව ඔබ එක්ක’ අද සිට රිදී තිරයට
පිරිමිකම යනු කාන්තාව නොතකා සිටීම ද...
ප්‍රසන්න විතානගේ ප්‍රශ්න කරයි
සීතල කඳුකරය උණසුම් කළ සිංහල සරත්සිරිගේත්, දමිළ සෙල්වීගේත් අනුවේදනීය ආදර කථාව රැගත් මිනිස් ජීවිතය විනිවිද දකින මේ අපූර්ව සලරූ කාව්‍යය ප්‍රසන්නගේ සම්මත සිනමා රීතිය හා නිර්මාණ පරිකල්පනය වඩාත් පරිපාකයට, උත්කෘෂ්ටත්වයට පත් කරලූ නිර්මාණයක් බව මගේ පෞද්ගලික විශ්වාසයයි. ජීවිතය නවතිනුයේ කොතැනද? සරත්සිරිගේ ජීවිතය වෙනස් වනු ඔහුටම හැඟිණ. ඇය ජීවිතය හෙමින්, හෙමින් වෙනස් කළාය. එහෙත් ජීවිතය යනු එයම වන්නේද? ආදරය යනු කොතැනද? ජීවිත කතාවක ඇරඹුම එතැනය. මේ යථාර්ථය තත්ත්පරයෙන් තත්පරය, රූප රාමුවෙන්, රූප රාමුව ඔබට විනිවිද දැකිය හැක්කේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ ඔබ දෑස් මත සිත්තම් වන විටය. එතෙක් අප ප්‍රසන්න සමඟින් මෙසේ සංවාදයකට එළඹෙමු. ‘ඔබ නැතුව ඔබ එක්ක’ අද පටන් අපේ ප්‍රේක්ෂකාගාරය හා බද්ධ වන්නේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙස? මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වන්නේ තරමක ප්‍රමාදයකින් පසුවයි. චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කළාට පස්සේ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟුණා. ඒක නිසා ප්‍රමාදයකින් පසු නව රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය මතයි එය ප්‍රදර්ශනයට එළඹෙන්නේ. කාලය නොදැනුවත්වම ගෙවිලා ගිහිල්ලා. මගේ චිත්‍රපටයක් මේ ප්‍රදර්ශනය වන්නේ අවුරුදු පහකට පස්සේ. ‘ඔබ නැතුව ඔබ එක්ක’ මම සාදා නිම කළේ 2012 වසරේදී. දැන් මේ 2015 වසරේදී තමයි එය ප්‍රදර්ශනය වන්නේ. මගේ රටේ ප්‍රේක්ෂකයන් සමඟ මේ චිත්‍රපටය බෙදා හදා ගැනීම තමයි කලාකරුවෙක් හැටියට මා ලබන අග්‍ර ඵලය. චිත්‍රපටයේ ඇතැම් දර්ශන, දෙබස් ඉවත් කරන ලෙස කලින් රැඟුම් පාලක මණ්ඩලය ඔබෙන් ඉල්ලා සිටියා. එය ඔබ ප්‍රතික්ෂේප කළා. එතකොට දැන් එය ප්‍රදර්ශනයට එක් වන්නේ ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි’ වර්ගීකරණය යටතේ. නව රැගුම් පාලක මණ්ඩලයෙන් ඔබට සාධාරණයක් ඉෂ්ට වුණාද? අනිවාර්යයෙන්ම. මම හිතන්නේ ආදරය ගැන කතා කරන චිත්‍රපටයක් දරුවන්ට උචිත නෑ. මොකද ඔවුන්ගේ වයසට එය ගෝචර නොවන නිසා. ඉතින් රැඟුම් පාලක මණ්ඩලය ගත් තීන්දුව මම පිළිගන්නවා. එය හරි.
මම දකින්නේ වාරණය අසාර්ථක දෙයක් හැටියටයි. ඉතිහාසය විමසා බලද්දී මුළු ලෝකෙම වාරණය පනවන්නා පරාජයට පත් වෙලා තියෙනවා. අපේ රටෙත් එබඳු උදාහරණ තියෙනවා? එබඳු උදාහරණ තියෙනවා. දැන් ඒක නිසාම මේ සිදුවීමෙන් පස්සේ තවත් සිනමාකරුවකුට එවන් තත්ත්වයක් උදා නොවන්න පසුබිම සැකසෙනවා නම් හොඳයි. වාරණය නිර්මාණකරුවෙකුට ඉතාම අසහනකාරී දෙයක්. මොකද ඔහුගේ චිත්‍රපට නිතර වාරණය වෙනවා නම් නිෂ්පාදකයෙක් කැමැති වෙන්නේ නෑ ඔහු වෙනුවෙන් ආයෝජනය කරන්න. මගේ ජීවිතය තුළ සිනමාකරණයේ යෙදෙනවාට වඩා වැඩි කාලයක් මට සිනමාකරණයට එළඹෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නට කාලය වැය කර තිබෙනවා. ‘පුරහඳ කළුවර’ නඩුව වසරක කාලයක් ඇදී ගියා. ඒ වගේම ඩිජිටල්කරණය සඳහා කරපු අරගලය. එතකොට පසුගිය කාලයේ පැවැති රජයත් එක්ක සිනමාව සම්බන්ධයෙන් වූ මැදිහත්වීම. මේ සේරම. නිර්මාණයට අවැසි වටපිටාව තමන්ටම හෙළි පෙහෙළි කර ගන්නට සිදුවීම කලාකරුවාට එක්තරා අවාසියක් කියලයි ඔබ කියන්නේ? පැහැදිලිවම. ඒ නිසා තමයි මේ සිදුවීමෙන් පස්සේ මම ඒ වෙනුවෙන් දිගටම පෙනී සිටින්නේ. ලංකාවට උචිත වාරණ මණ්ඩලයක් නෙවෙයි. සිනමාකරුවාගේ පරිකල්පනයට වැටකොටු බඳින වාරණ මණ්ඩලයක් නෙවෙයි, කුමන වයස් කාණ්ඩයක පිරිසක් ද ඒ චිත්‍රපටය බැලිය යුත්තේ කියා තීරණ කරන වර්ගීකරණ මණ්ඩලයක්. ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයට ඔබ පාදක කර ගන්නේ විශ්ව සාහිත්‍යයේ ජනප්‍රිය කෘතියක්? ඔව්. එය පියදෝර් දොස්තොව්ස්කිගේ ‘කීකරු යුවතිය’ කියන කෙටි නවකථාව ඔස්සේ ලියවුණ තිර පිටපතක්. දොස්තොව්ස්කිගේ මේ කෘතිය බෙහෙවින්ම මගේ සිත ඇද බැඳ තබා ගන්නට සමත් වුණා. පුරහඳ කළුවර, ඉර මැදියම වගේම ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපට ත්‍රිත්වයේම ඔබ කතා කරන්නේ යුද්ධය පිළිබඳ. ලෝකයේ එබඳු තුන් ඈදුතු සිනමා කෘතීන් නිර්මාණය වෙලා තිබෙනවා. මේ එබඳු වෑයමක්ද? නෑ. පුරහඳ කළුවර හදන කොට මම එහෙම චිත්‍රපට ත්‍රිත්වයක් ගැන හිතුවේ නෑ. දෙවැනි චිත්‍රපටය හැදුවාම වුණත් යුද පසුබිම සහිත තවත් චිත්‍රපටයක් කරන්න ඕනෑයි කියලා හිතුණේ නෑ. මේ පසුබිම් කතාව මට කියවන්නට ලැබුණාම එය මවිසින් සිනමාවට නැගිය යුතු කතා පුවතක් විදිහට මම දැක්කා. ඒ චරිත සහ එම අත්දැකීම් මගේ සිත් ගත්තා. ඒ නිසා ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය නිර්මාණය කළා. නමුත් මම හිතනවා මේ චිත්‍රපටයත් සමඟම මගේ යුද චිත්‍රපට ත්‍රිත්වය හමාර වෙනවා කියා. ඒවා යුද චිත්‍රපට කියා හඳුන්වනවාට වඩා මම කැමැතියි මේ රටේ තිස් අවුරුද්දක් පුරා පැවැති යුද්ධය විවිධ ජන කොටස්වලට මිනිසුන්ගේ මානව සම්බන්ධතාවලට, සමාජ ධර්මතාවලට බලපෑවේ කොහොමද කියලා මගේ ඇස යොමු කරපු චිත්‍රපට ලෙස හඳුන්වලා දෙන්න. මේ චිත්‍රපටයේ ඔබ ප්‍රේමය පිළිබඳ ඉතා ගැඹුරින් හා සංවේදීව කතාබහ කරනවා. එය සාමාන්‍යයෙන් අපි චිත්‍රපටවල දකින ප්‍රේමය නොවේ. සරත්සිරි හා සෙල්වි සැබෑ පෙම්වතුන් බවට පත් වෙන්නේ ඔවුන්ගේ කුටුම්භ ජීවිතයේ අත්විඳින එක්තරා අහඹු සිදුවීමක් පාදක කරගෙන? මම ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය හඳුන්වලා දෙන්න කැමැතියි එක වැකියකින් මෙහෙම. එය ආදරය යදින චිත්‍රපටයක්. ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක් හැටියට. අපේ ජීවිත තුළ අපට බොහෝ විට අනෙකාව මඟ හැරෙනවා. ඒ අපේ පෙම්වතිය විය හැකියි. බිරිය විය හැකියි. මව හෝ නැගනිය විය හැකියි. විශේෂයෙන්ම මේ චිත්‍රපටයට විෂය වන්නේ ප්‍රේමය නිසා මම කැමැතියි ඒ පෙම්වතියක් සහ බිරියක් හැටියට සිතන්න. මේ මඟහැරිම නැතිනම් අතෑරීම බොහෝ විට සිදු වන්නේ නිරායාසයෙන්මයි? තමන් බලාපොරොත්තු වන ඉලක්ක කරා තමා මෙහෙය වෙන කොට මේ අතෑරීම සිද්ධ වෙනවා. අවසානයේ අපි අපේ භෞතික ඉලක්ක ලඟා කර ගත්තා වෙන්න පුළුවන්. නමුත් විශාල හිස්කමක් මිනිසා තුළ ඉතිරි වෙනවා මේ අත්හැරීමත් එක්ක. මේ අපේ වර්තමානය ගත්තාම වඩාත් තරගකාරි, වෙළෙඳ සමාජයක ජීවත් වෙනකොට මෙය වඩාත්ම දැනෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. ‘අසංතෘප්ත ආදර පාරමිතාව‘ යනුවෙනුයි ඔබ මේ චිත්‍රපටය හඳුන්වන්නේ? ඔව්. එය අසංතෘප්ත වන්නේ ඇයි? දෙදෙනෙක් එක් වූ පමණින් මනුෂ්‍යය සබඳතාවක් තෘප්තිමත් වන්නේ නෑ. එය විවාහයකදී වේවා, නීතියෙන් හෝ සම්ප්‍රදායෙන් ගෙන එන්නට බැහැ. ඒ ගිළිහෙන මනුෂ්‍යය ස්පර්ශය තමයි ඉල්ලා සිටින්නේ මේ චිත්‍රපටය. ඔබ කිව්වා වගේ එක්තරා විදිහකට එය ප්‍රේමය. එය සමාජයක් හැටියටත් ගත හැකියි. සමහර විට අපට අපේ අසල්වැසියා ගිළිහෙනවා. අපේ රටේ ජීවත් වන අපේම ජන කොටසක් අපට මඟ හැරෙන්න පුළුවන්. ඒක නිසයි මම හඳුන්වන්නේ මෙය ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක් ලෙස. අවසානයේ සියල්ලටම වඩා වැදත් වෙන්නේ මේ උණුසුම් මනුෂ්‍යය හැඟීම. නැතිනම් මානව ප්‍රේමය. මේ චිත්‍රපටය ඔබ රූගත කරන්නේ බොහොම මනරම් කඳුයායෙන් වට වූ සීතල පරිසරයක. කිලිනොච්චියේ කර්කශ ගමක උපන් සෙල්විත්, යුධ බිමේ ගිනි අවි සමඟ ගැටුණු සරත්සිරිවත් ඔබ මුණ ගස්වන්නේ මේ සීතල කඳුකරයේ. මෙවැනි පරිසරයක් ඔබ චිත්‍රපටයට යොදා ගන්නේ ඇයි? මේ කතා පුවත මහ පොළොවේ පැළපදියම් කිරිමේදී මා විසින් මේ පරිසරය තෝරා ගත්තේ කරුණු කිහිපයක් උඩ. එයින් වැදගත්ම කරුණ වෙන්නේ මනුෂ්‍යය සබඳතාවල සීතල. ඒ කියන්නේ මනුෂ්‍යය සබඳතා ගල් වෙච්ච, මනුෂ්‍යය සබඳතා උණුසුම් නොවුණ කතාවක් ගැන කියන චිත්‍රපටයක්. ඒ සීතල මම හිතුවා ප්‍රේක්ෂකයන්ට පරිසරය හරහා ලබා දෙන්න. මේ චිත්‍රපටය බලන කෙනෙකුට ඒ දකින පරිසරයේ සීතල, මන්දාලෝකය වගේ දේවල් හරහා මනුෂ්‍යය සබඳතාවලට වඩාත් ළංවෙන්න පුළුවන් විදිහටයි එය නිර්මාණය කළේ. වර්ණයෙන්, ආලෝකයෙන් මේ සියල්ලන්ගෙන්ම. එක පැත්තකින් ඒක. අනෙක් පැත්තෙන් මේ සිදුවීම සිදු වෙන්නේ යුද්ධ කාලේ නෙවෙයි. යුද්ධයෙන් පසුවයි. අතීතයේ සිදු වූ සිදුවීමක් නොසිතූ මොහොතක හෙනයක් සේ පෙම්වතුන් යුවළක් මත පතිත වීම, ඒ ගැටුම මම හිතුවා කර්කශ කළ යුතු නෑ කියලා. මම හිතනවා ඕනෑම කර්කශ දෙයක් සුන්දර වෙන්නේ සුන්දර පරිසරයකයි. ඔබ බොහෝ කර්කශ දේවල් සුන්දරව කියන්නට උත්සාහ දරන සිනමාකරුවෙක්? කර්කශ දෙයක් කර්කශ පරිසරයක ඉඳන් කියනවාට වඩා කර්කශ දෙයක් සුන්දර පරිසරයක ඉඳන් කතා කිරිම මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ගේ හැඟීම් තීව්‍ර වෙන්න හොඳ උත්තේජනයක් සපයනවා. ටෙලිවිෂණයෙන් මල්ලව පොර නැරඹීම තමයි සරත්සිරිගේ එකම විනෝදාංශය. ඇත්තටම එය විනෝදාංශයකටත් වඩා සරත්සිරිගේ සැඟවුණු මනෝභාවයක් පිළිබඳ ප්‍රේක්ෂකයාට යම් ඉඟියක් ලබා දෙන සංකේත රූපයක් හැටියටයි ඔබ භාවිතා කරන්නට ඇත්තේ? සාහිත්‍යයේදී කෙටි කතාකරුවාට හෝ නවකථාකරුවාට තමන් හිතන දේ ලිවිය හැකියි. ‘ඔහුට මෙසේ සිතිණ’. ඒ සිතුණු දේවල් සේරම ලියතෑකි. දැන් සිනමාකරුවාට එහෙම ඉඩක් නෑ. සිනමාවේදී බාහිර ක්‍රියාකාරකම්වලින් තමයි පුද්ගලයාගේ මනස ප්‍රේක්ෂකයින් දකින්නේ. නැතිනම් අධ්‍යක්ෂවරයා චරිතයක ක්‍රියාකාරකම් ගොඩ නගන්නේ චරිතයක අභ්‍යන්තරය හෙළි වන විදිහටයි. එතකොට ඔහුගේ සෑම ක්‍රියාවකින්ම ඔහුගේ අභ්‍යන්තරය හෙළි වෙනවා. ඔහු ඔහුගේ අභ්‍යන්තරය කාටවත් හෙළි කරන්නේ නෑ. නමුත් ප්‍රේක්ෂකයෝ දැන ගන්නවා. ඒ දැනගන්නේ ඔහුගේ ක්‍රියාවෙන්. ඒ වගේම කිව යුතුයි මේ රසල්මේනියා ක්‍රියාව මගේ ඔළුවට ආවේ චිත්‍රපටයට දර්ශන තල හොයන්න ගිය වෙලාවේ. බොගවන්තලාව නගරයේ වැල් හැටියට මේ ච්. ඍ. ච් එල්ලා තිබුණා. සියලු චිත්‍රපටවලට වඩා මේගොල්ල ප්‍රිය කරනවා මේ රෙස්ලිංවලට. එතකොට මම හිතුවා තමන්ගේ අතීතය යටපත් කරගෙන ඉන්න පුද්ගලයෙක්ගේ මනෝභාවය මතු කිරීම සඳහා ඒ පරිසරයෙන්ම මා දුටු දෙය උපයෝගී කර ගන්න. සරත්සිරි හමුවෙන්න බලාපොරොත්තු නොවූ වෙලාවක ඔහු සමඟ හමුදාවේ සිටි මිතුරකු පැමිණෙනවා. ඔහු එක්තරා අවස්ථාවක සෙල්වි සමඟ ඔවුනගේ අතීතය හෙළිදරව් කරනවා. මෙම අහම්බය තුළ තමයි සරත්සිරිගේ සහ සෙල්විගේ විවාහ දිවිය දෙදරා යන්නේ. සරත්සිරිගේ මිතුරා සෙල්වි ඉදිරියේ එක්වරම ඒ යටගියාව හෙළි කිරීම තරමක අභව්‍ය සිදුවීමක් ලෙසයි මට හැඟෙන්නේ? ඔහු තමන්ගේ අතීතය හෙළි කරන්නේ නෑ. ඔහු ඇත්තටම සරත්සිරිගේ බිරියට කියන්නේ තමන්ගේ ජීවිතය බේරා දුන්නේ ඇගේ ස්වාමි පුරුෂයා කියන එකයි. අපේ කෘතවේදීතාවය කියන්න, නැතිනම් මිතුරාට මගේ ඇති සම්බන්ධතාවය කියන්න අපි බොහෝ විට කරන්නේ අතීත සිදුවීමක් සිහිපත් කරන එක. අපි ආමි එකේ කොල්ලෝ. එක ප්ලැටුන් එකේ. ඒ සම්බන්ධයයි ඔහු කියන්නේ. නමුත් මිතුරා දන්නේ නෑ ඒ අතීතය සරත්සිරි සිය බිරියගෙන් වසන්කොට තිබුණු වග. ඒ නිසා ඔහු හෙළිදරව්වක් නෙවෙයි කරන්නේ. නමුත් ඔහු අතින් සිදුවන මේ කුඩා දෙයින් බලාපොරොත්තු නොවූ හැඟීමක් මේ තරුණිය තුළ ඇති කරනවා. මෙතනිනුයි ගැටුම ඇරඹෙන්නේ. අන්තිමේදී සෙල්වි දැඩි මානසික ව්‍යාකූල බවකට පත්වෙනවා. මේ හරහා ඔබ උත්සහ දරන්නේ හමුදාව සහ දෙමළ ජනතාව අතර තිබූ නොරිස්සුම් බව, ඇතැම්විට වෛරීසහගත බව ඉස්මතු කරන්න...? මේ දෙදෙනාම යුද්ධයෙන් පීඩාවට පත්වූ අය. යුද්ධය ඔවුන්ගේ අතීතයයි. දෙදෙනාගෙම ජීවිත තුළ ඔවුනොවුන් සඟවා ගත් අතීතයක් තියෙනවා. නමුත් ඔවුන් එය එළිපිට කතා කර නැහැ කිසි දවසක. ඒ අතීතය නොසිතූ විරූ මොහොතක එළියට ආවාම මොකද වෙන්නේ. මේ තරුණියට තවදුරටත් ඔහුට ආදරය කරන්න බැරි වෙනවානේ. හරි. අපි අතීතය සඟවාගෙන, අතීතයට මුහුණ නොදී ජීවත් වෙන්න ගියොත් නොවිසඳුනු අතීතයක් ඉතිරිවෙන එකයි වෙන්නේ. එය හරියට අළුයට තිබෙන ගිනි පුපුරු වගේ. එයයි මතුවෙන්නේ. එය අසංක කියන ආකාරයට සිංහල, දෙමළ විරෝධි සංකල්පයකට ලඝු කරන්නේ නෑ මම. මෙහි ඇතුළත් ලිංගික දර්ශනය සාමාන්‍යයෙන් අඹුසැමි සම්භෝග රතියට එහා ගිය තරමක් රළු, පරළු ක්‍රියාවලියක් හැටියටයි මම දැක්කේ. ඇතැම් විට එම දර්ශනය චිත්‍රපටයට අවශ්‍යමද කියන තර්කයත් මගේ සිතට ආවා? ඒ දර්ශනය අවශ්‍ය එක කාරණයක් කියන්නයි. එය තමයි සරත්සිරිගේ මනෝභාවය ඉස්මතු කිරීම. ඔබ දන්නවා ඔහු මැදි වයසේ පසුවන අවිවාහක පුද්ගලයෙක්. ඔහුගේ මනෝභාවය සහ ඔවුන් දෙදෙනා අතර කුමන ආකාරයේ සම්බන්ධයක්ද පවතින්නේද කියන එක ප්‍රේක්ෂකයාට කියන්න මේ දර්ශනය අවශ්‍ය වුණා. බොහෝ දෙනා මට කිව්වා මේ දර්ශනය ඔබ ඉවත් කරන්නේ නම් මෙය සියලු දෙනාට නැරඹිය හැකි චිත්‍රපටයක් වන බව. නමුත් සරත්සිරිගේ චරිතය පසුව වෙනස් වෙනවා ඔබ දකිනවා. ඒ වෙනස්වීම ඔබට තේරුමක් නැති වෙයි ඔබ කලින් මේ සම්බන්ධයෙන් ඔහුගේ ස්වරූපය නොදැන සිටියානම්. ආදරය ඉදිරියේ රජුන්, සිටුවරුන් පවා දනින් වැටී තිබෙනවා. ඒ වගේම සරත්සිරිත් සෙල්වි ගේ දෙපතුල ළඟ වැඳ වැටෙනවා ආදරය අයැදිමින්. මේක කෙනෙක් අර්ථ ගන්වන්න පුළුවන් පිරිමිකමට නිගාවක් හැටියට. තවත් අයකුට පෙනෙන්න පුළුවන් සිංහල තරුණයෙක් දෙමළ තරුණියක් ඉදිරියේ දනින් වැටුණා කියා ..? ඔබ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඔබ මුලින්ම කතා කළේ පිරිමිකම ගැන. සරත්සිරි මංගල රාත්‍රියේ ප්‍රදර්ශනය කරන්නේ පිරිමිකමයි. සෙල්විගේ දෙපතුළ ළඟ වැටී ඔහු ප්‍රකාශ කරන්න් ආදරයයි. පිරිමිකම යනු කුමක්ද? පිරිමිකම යනු මාංශපේශිද? පිරිමිකම යනු කාන්තාව නොතකා සිටීමද? පිරිමිකම යනු ආදරය ප්‍රදර්ශනය කිරීම දුර්වලකමක් සේ සලකා එය සඟවාගෙන සිටීමද? එසේනම් මා ඔබට යෝජනා කරන්නේ පිරිමිකම වෙනුවට ආදරය තෝරා ගන්නා ලෙසයි. ඔබගේ පිරිමිකම අභියෝගයට ලක්වෙන්නේ ආදරය කරන කෙනා ඔබගෙන් ඈත්වූ විටයි. මෙය අප සියලුදෙනාටම පොදුයි. මෙය එක්තරා අන්දමකින් ‘පුරුෂාධිපත්‍ය’ කියන සංකල්පයට එල්ල කළ සියුම් අතුල් පහරක් වගෙයි...? ආදරය කියන්නේ බලය නෙවෙයි. බලය පාවිච්චි කරන තැන ආදරයක් ඇතිවෙන්නේ නෑ. බලය නෙවෙයි වැදගත් වෙන්නේ ආදරයයි. “ඔබ නැතුව ඔබ එක්ක” මාධ්‍ය දර්ශනය නරඹා අවසානයේ මට එක් පුවත්පත් කලාවේදිනියක් කිව්වේ අපට සරත්සිරි වැනි සහකරුවෙක් කිසිදා නොලැබෙන බවයි. පිරිමියා, පිරිමිකම ඇතුළේ සඟවාගත් ආදරය මේ චිත්‍රපටය ඇතුලේ නිරාවරණය වෙනවා. බොහෝ පිරිමින් එය නිරාවරණය කරන්නේ නෑ. ඒ නිසයි මම කියන්නේ පිරිමිකම එපා, ලව් කරපල්ලා කියලා. ආදරය වගේම ආදරයේ වියෝව පිළිබඳත් ඔබ ඉතාමත් අනුවේදනීය දෘෂ්ටියක් හෙළනවා...? කිසිදු ආකාරයක බැඳීමකින් තොරව කෙනෙකුට ආදරයේ උපරිමයත්, අහිමිවීමේ වේදනාව උපරිමයත් දැනුන විදිහ හසුකරගන්න මට අවශ්‍ය වුණේ. ඒත් ඒ ආදරයේ විරහව දැනුනේ ප්‍රේක්ෂකයන්ට. ඒ චරිතවලට නෙවෙයි. ඒ නිසා මම හිතනවා “ඔබ නැතුව ඔබ එක්ක” මම අතිශය විවෘත භාවයකින් යුක්තව එළඹි චිත්‍රපටයක් කියා. මොකද ජීවිතය වහපු යුගයක, ජීවිතය වහන යුගයක, ජීවිතය නිරාවරණය කරන චිත්‍රපටයක් තමයි මට කරන්න ඕනෑ වුණේ. එහෙම කරන්න නම් ඉස්සරවෙලා මම, මම දිහා හැරිලා බලන්න ඕනෑ. මම පූර්ණව මට අවංක වෙන්න ඕනෑ. මම ඒක කරන්න උත්සහ කළා. ඒ කියන්නේ මීට පෙර ඔබ යම් ප්‍රමාණයකින් තමයි ඔබේ ආත්ම ප්‍රකාශයට අවංක වෙලා තියෙන්නේ? නෑ එහෙම නෙවෙයි මම හැමදාම අවංක වෙලා තියෙනවා නිර්මාණවලට. නමුත් මේකේදී මම කිව්වේ එය ඉදිරිපත් කරන විලාසයේ අනෙක් චිත්‍රපටවලට වඩා උදවේගකර හැඟීම්බර ගතියක් තියෙනවා කියලා. ශ්‍යාම් ප්‍රනාන්දු වගේ වේදිකාවට වැඩි සම්බන්ධයක් තිබෙන රංගන ශිල්පියෙක් සරත්සිරිගේ චරිතය සඳහා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද...? චිත්‍රපටයක ජචඵබඪදඨ එහෙම නැතිනම් නළුවරණය අපි හරියට කර ගත්තොත් බර ගොඩක් ඉවරයි. මෙතනදි මම බලන්නේ නෑ වේදිකාවේද, මෙයා මගේ යාළුවෙක්ද, එයා ජනප්‍රියද කියන එක. හැමදාම මම බලලා තියෙන්නේ එක දෙයයි. ඒ අදාල චරිතයට මේ පුද්ගලයා සුදුසුද කියන එක. එතනදි ශ්‍යාම්ව තෝරා ගත්තේ ඇයි...? සරත්සිරි මම දකින්නේ සැඟවුණ අතීතයක් තියෙන චරිතයක් හැටියට. ගුප්ත චරිතයක්...? හරියට හරි. කිසියම් ගුඪ, තමාව හෙළිදරව් කිරීමට සූදානම් නැති අයෙක්. ඔහුගේ ඒකායන අරමුණ තේවත්තක් මිලදී ගැනීම. ඒ සඳහා ජීවිතය කැපකරන පුද්ගලෙයක්. කිසියම් ශෝකාකූල බවක් නිරන්තරයෙන්ම ඒ මුහුණේ තියෙනවා. සමහර විට සිනා පොදක් මූණේ නැති. ඒ සියලු දේ තිබුණා ශ්‍යාම්ට. අන්‍යයන් හෙළිදරව් නොකරන දේවල් සිනමාකරුවන් හැටියට අපි සිනමාවේදී හෙළි කරනවා. සිනමාකරුවා ඒ සත්‍යය කිසිවිටෙක සඟවන්නට උත්සාහ කරන්නේ නෑ කැමරාව ඉදිරියේ. එතනදි ශ්‍යාම් ගේ ජීවිතය වගේම මා දන්නා හඳුනන බොහෝ පිරිමින්ගේ රුව මා කැමරාවට හසුකර ගත්තා කියා මා සිතනවා. එතකොට සෙල්විගේ චරිතය සඳහා ඔබ තෝරා ගත්තේ ඉන්දිය නිලි අංජලී පටීල්. ඔව්. මම හිතන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ මුල්වරට එරට නිළියක් විදෙස් අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් වෙනුවෙන් රජත මයුර සම්මානය දිනා ගත්තේ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටය හරහා. එය මම හිතන්නේ ඔබේ පමණක් නෙවේ අපේ සමස්ත සිනමාකරුවන්ගේ සංතෘෂ්ටියට කාරණාවක්. අපේ සිනමාවේ රන් සළකුණක්...? එය රන් සලකුණක්ද නැතිද යන වග මා සිතුවේ නෑ. නමුත් මම ඉතා සංතෝෂ වුණා අංජලී උපන් පොළොවේදී ඇයට මේ සම්මානය හිමිවීම ගැන. ඒ පිළිබඳ මම නිහතමානිව සතුටු වෙනවා. ඒ වගේම කියන්න ඕනෑ අංජලී ඒ සම්මානය දින්නට පස්සේ බොහෝ ඉන්දියානු නළු, නිළියන් මා සමඟ වැඩ කරන්න කැමැත්ත පළ කළා. ලංකාවේ නිළියෝ ඉන්දැද්දී ඇයි මේ විදෙස් නිළියෝ සොයාගෙන යන්නේ කියන චෝදනාව අපේ අධ්‍යක්ෂවරුන්ට එල්ලවුණා. එක්තරා පැත්තකින් දැන් ඒ චෝදනාවට ඔබත් වගඋත්තරකරුවෙක් වෙලා ...? දැන් මතක තියා ගත යුතුයි මම පූජා උමාශංකර්ගෙන් බද්දක් අයකරන විට ඒ පූජා බද්දට විරුද්ධව මත ප්‍රකාශ කරපු එක් අයෙක්. මම විශ්වාස කරන්නේ පූජාට වගේම අපේ ලංකාවේ නළු, නිළියන්ටත් ඕනෑම රටක වැඩ කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඉන්දියාවේ ගිහින් හරි වෙනත් රටක ගිහිල්ලා හරි වැඩකරන්න අවස්ථාව තිබිය යුතුයි. එය ඒක පාර්ශවීයව සිදුවෙනවා නම් වැරදියි. මුලින්ම මම ජචඵබ කළේ ඉන්දියානු නිළියක් නෙවෙයි මේ චරිතයට. ලංකාවේ නිළියක්. මොකද මම කැමැතිවුණේ නෑ සිංහල නිළියක් දෙමළ චරිතයක් රඟපානවාට. ඇයි ඒ...? කවදාවත් ඒ දෙමළ සමාජය එය බාරගන්නේ නෑ. සිංහල නිළියක් දෙමළ චරිතයක් රඟපෑම. ඒ නිසා මම හෙව්වේ ලංකාවේ දෙමළ නිළියක්. එතකොට ඔබ දන්නවා ලංකාවේ තවම දෙමළ සිනමාවක් ස්ථාපිත වෙලා නෑ. ඒ නිසා මට එහෙම නිළියක් සොයා ගැනීම අපහසු වුණා. මම හොයපු සෙල්විගේ ඇස් දෙක අංජලීට තිබුණා. ඒ නිසා අංජලීව ගත්තා. ඉන්දියාව ඉතා විශාල වෙළෙඳපොළක්. ලංකාව කුඩා වෙළෙඳපොළක්. මේ රටවල් දෙක අතර සිනමාවේදී මීට වඩා සබැඳියාවක් තිබිය යුතුයි. ලංකාවේ නළු නිළියන්ට වගේම චිත්‍රපටවලටත් අපි ඉන්දියානු වෙළෙඳපොළ විවෘත කර ගත යුතුයි. අද අවාසනාවට සිදුව තිබෙන්නේ ලංකාව ඉන්දීය සිනමාවේ වෙළෙඳපොළක් බවට පත්ව තිබීම. මේ චිත්‍රපටයේ අවසානය ඔබ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු ආකාරයට නෙවෙයි නිමාවට පත් කරන්නේ. ඔවුන් අපේක්ෂා කරන සුඛාන්තය ඔබ දුක්ඛාන්තයකින් කෙළවර කරනවා. මෙවැනි අවසානයක් කරා චිත්‍රපටය රැගෙන යන්න ඔබ තීරණය කළේ ඇයි? අවසානය පිළිබඳ බොහෝ දෙනාට ප්‍රශ්න තිබිය හැකියි. චිත්‍රපටයක අවසානය යනු එහි අවසන් ඵලයයි. එය කෘත්‍රිමව ඔබ්බවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ චිත්‍රපටයේ අවසානය ඒ චරිතවල ගැටුමන්හි, වර්ධනයන්හි ඵලයයි. මට ඒ මුල් කෙටිකතාවේ තියෙන දේවල් වෙනස් කරන්න අවශ්‍ය වුණේ නෑ. නමුත් මේ අවසානය හරහා ඔබේ ආදරවන්තියට හෝ බිරියට ඔබ සැබැවින්ම ආදරය කරන්න පෙළඹේ නම් ඊට වඩා සතුටක් මට නෑ. එයයි මට වැදගත්.
|