වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




නිහඬවම දිවි රඟමඬලෙන් නික්ම ගිය පෙරමුණේ රණසිංහ..

නිහඬවම දිවි රඟමඬලෙන් නික්ම ගිය පෙරමුණේ රණසිංහ..

සිංහල සිනමාවට සිය නිර්මාණශීලී දායකත්වය ලබා දුන් තවත් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් පසු ගිය දා ජීවන රඟ මඬලින් සමුගෙන ගියේය. ඔහු නමින් පෙරමුණේ රණසිංහ නම් විය. ප්‍රචාරය පසු පස හඹා නොගිය අවිහිංසක කලකරුවෙක් වූ පෙරමුණේ සිනමාවේ සිය දස්කම්, විස්කම් ගෙන හැර පෑවේ කලා අධ්‍යක්‍ෂණයෙනි. වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ පෙරමුණේ තිලක ගේ සොහොයුරෙකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘සංදේශය’ චිත්‍රපටයේ සහාය කලා අධ්‍යක්‍ෂවරයකු ලෙස 1969 වසරේ හේ සිනමාවට ප්‍රවිශ්ට වූයේ සිය කලා ගුරු වූ ආරියවංශ වීරක්කොඩි ගේ මග පෙන්වීම ඔස්සේය. එකී දැවැන්ත සිනමා නිර්මාණයට දායක වීම තමා ලත් ඉමහත් භාග්‍යයක් හා ආශීර්වාදයක් සේ සැලකූ හෙතෙම එකී විෂයය පිළිබඳ වඩාත් සවිඥානක වෙමින් සිය දැනුම, අවබෝධය වඩාත් පුළුල් කර ගත්තේය.

සිංහල සිනමාවේ විශිෂ්ට සිනමා කෘති කිහිපයකම සහාය කලා අධ්‍යක්‍ෂවරයා ලෙසින් කටයුතු කිරීමට ඔහුට අවකාශ ලැබුණේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ලෙස්ටර් ගේ ගම්පෙරළිය, දෙළොවක් අතර හා ප්‍රේමනාත් මොරායස්, බන්දු ගුණසේකර සම අධ්‍යක්‍ෂණය කළ සීගිරි කාශ්‍යප, මෙන්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ ‘පරසතු මල්’ හි සහාය කලා අධ්‍යක්‍ෂවරයා වූයේ ද පෙරමුණේය.

නමින් පෙරමුණේ වුවද කිසිදා පෙරමුණට ගොස් තමන්ට ලකුණු දා ගැනීමේ පිළිවෙතින් සපුරා බැහැර වූ මේ අව්‍යාජ කලාකරුවා සිය ප්‍රතිභාව විදහාලූයේ නිහඬවමය. එනිසාවෙන් ඔහු පිළිබඳ වැඩිමනක් තොරතුරු වැඩි දෙනෙක් දන්නේ නැත. පුවත්පතක ඔහු පිළිබඳ ලිපියක් පළව ඇත්නම් ඒ වරක් හෝ දෙවරක් විය යුතුය. මුදලට හෝ වෙනත් පෞද්ගලික අරමුණු උදෙසා පෙරමුණේ කිසි දිනෙක තමා මහත් වැර වෑයමින් උගත් ශිල්පීය හැකියාව පාවා දුන්නේ නැත.

කලක් තිස්සේ රෝගාතුරව සයනයේ වැතිර සිටි මේ අවිහිංසක කලාකරුවා ඉඳහිට ඒ රසබර සිනමා ඉතිහාසය සිහිපත් කරන බව ඔහුගේ පුත් මාලන් මා සමඟ කිහිප වතාවක්ම පවසා තිබුණි.

‘අසංක අයියේ, ඔන්න දැන්නම් තාත්තගේ මතකේ හොඳයි. ඔයාට එන්න පුළුවන් නම් ලස්සන කතා ටිකක් අහගත්තෑකි. ඒ විතරක් නෙවෙයි ‘රන්සළු’ ස්ක්‍රිප්ට් එකේ පිටපතකුත් තාත්තා ළඟ තියෙනවා’.

පි‍්‍රය සාද තෙපුල් මැද දිනෙක මාලන් මට එසේ පැවසීය. සැබැවින්ම පෙරමුණේ රණසිංහ නමැති ඒ නිහඬ කලාකරුවා පිළිබඳ ‘සරසවිය’ පත් ඉරුවක් මත සංවේදී සටහනක් තැබීමට මටද ඕනෑකමක් තිබිණ. ඒ පිළිබඳ මා සරසවිය ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්නයන් හටද කිහිප වරක් පැවසුවා මතකය. ඒ සඳහා ඔහුගේ අනුමැතිය ද ලැබී තිබිණ. එහෙත් බොහෝ දේ ගිලිහී යන අපේ කාර්යබහුල ජීවිතයේ මට ද එකී වගකීම හා යුතුකම ඉටු කිරීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේ නොසිතූ පරිද්දෙනි.

‘අයියේ තාත්තා නැති වුණා’ යැයි මාලන් දුරකථනයෙන් මට හදිසියේම පවසා සිටියේ බිඳුණු ස්වරයකින් යුතුවය.

ඒ පසුගිය 31 වැනිදා සවස් යාමයේය. හැත්තෑ පස් වසරක් ආයු විඳි ඔහු සිය ජීවන රඟමඬලෙන් සමුගත්තේ සුපුරුදු පරිදි නිසොල්මන්වමය.

ඊයේ සවස් යාමයේ ඔහු අප අතැර කොහේදෝ ඈතක සැඟව ගියේ දෙනෙත් මතට උණු කඳුළක් එක් කරමිනි. මාලන්ගේ ඒ දුක්බර ස්වරය තවමත් දෙසවන දෝංකාර දෙමින් මසිත පාරවයි. එහෙත් කුමක් කරන්නද? ජීවිතයේ හැටි එහෙමය. එය මෙලොව උපන් සැමට පොදු සනාතන දහමකි. අපට කළ හැක්කේ මේ සසර ගමනේ කෙළවර ඔහුට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම පමණය.