වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




පින් සිද්ධ වෙයි මහත්තයෝ ෆිල්ම් එක ඉක්මනින් හදල ඉවර කරන්න

පින් සිද්ධ වෙයි මහත්තයෝ ෆිල්ම් එක ඉක්මනින් හදල ඉවර කරන්න

ගීත රචනයෙන්, ලේඛනයෙන් දස්කම් පෑ කැමිලස් පෙරේරා සරසවියේ සොඳුරු දවස් ආවර්ජණයක...

සරසවිය නිසා මා ජීවිතයට ලැබූ දේ අපමණය.

කලා ක්ෂේත්‍රයේ ඇසූ පිරූ අය හඳුනා ගන්නට මට ලොකු ශක්තියක් වූයේ සරසවියයි.

අසිපත මමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජෙරාඩ් ප්‍රනාන්දුය. එය නිෂ්පාදනය කළේ රේමන් ප්‍රනාන්දුය. මේ චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කළ දිනය ද මගේ පුවත්පත් කලා ජීවිතයේ මතකයන් අතර ඇත. මෙම චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන් මෙන්ම පුවත්පත් කලාවේදීන් ද නිෂ්පාදකවරයාගේ නිවෙස වූ මහවැවට ගියේ ලොකු බස් රථයකිනි. මහවැව ප්‍රධාන බස් මාර්ගයේ සිට සැතපුමක දුරක් අතුරු මාර්ගයක නිෂ්පාදකගේ නිවෙස පිහිටා තිබුණි.

එම අතුරු පාරේ සිට ඔහුගේ නිවෙසට යනතුරු වර්ණවත් කොඩි රැලි පාලම්වලින් සරසා තිබිණි. ගෙදර ආසන්නයට අපි රැගත් බස් රථය පැමිණෙනවාත් සමඟ රතිඤ්ඤා දහස් ගණනක් පත්තු කෙරිණි. රබන් සුරල් වැයෙන්නට විය. ගිය හැමෝටම අදහාගත නොහැකි ලෙස මෙය මහා උත්සවශ්‍රියක් ගෙන තිබුණි. ගිවිසුම් අත්සන් කෙරිණි. අත්තිකාරම් මුදල් ද නළු නිළියන්ට ගෙවනු ලැබිණ. මඟුල් ගෙදරක සිරි ගෙන තිබූ මෙම අවස්ථාවේ සෑම මේසයකටම ඉස්තරම් වර්ගයේ විවිධ මාදිලියේ මත්පැන් බෝතල් තුන බැගින් එක් කර තිබුණි.

අපිත් හොඳ හැටි සප්පායම් වුණෙමු. සුනිල් හොරේෂස් හා මම නැවතත් කොළඹ බලා ඒමට සූදානම් විය. නිෂ්පාදකවරයාගේ ඥතියෙක් අප දෙදෙනා ළඟට විත් කන්නලව්වක් කළේය. පින් සිද්ධ වෙයි මහත්තයෝ ෆිල්ම් එක ඉක්මනින් හදල ඉවර කරන්න. මෙයා හැමදාම චිත්‍රපටයේ පිටපත කියව කියව ගෙයි ඇවිදිනවා. මෙම චිත්‍රපටය සඳහා මම ද ගීතයක් රචනා කළෙමි. එය දමයන්ති ජයසූරිය හා සනත් නන්දසිරි ගායනා කරනු ලැබිණි. මෙහි නිෂ්පාදක වූ රේමන්ඩ් ප්‍රනාන්දුට රඟපෑමට අවශ්‍ය විය.

රූගත කිරීම් සිදු වූ හැම දිනකම මෙහිදී හරි අපුරු දෙයක් සිදු විය. රූපගත කිරීමක් තිබුණ ද නැති වුව ද උදේ පාන්දරින් රේමන්ඩ්ට මේකප් දමා රැවුලක්ද දමා පුටුවක වාඩි කර තැබිණි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ එසේ කළේ ඔහුගෙන් වන කං කරච්චලය අඩු කරලන්නටය.

කලාකරුවන් අතර මා දුටු සුන්දර මිනිසකු වූයේ හියුගෝ ප්‍රනාන්දුය. මා ඔහුට කිව්වේ හියුගෝ මාස්ටර් කියාය. ඔහුගේ ගෙදර සාකච්ඡාවකට යෑම හරිම රසවත්ය. මා කීප අවස්ථාවක්ම සරසවිය වෙනුවෙන් ලිපි ලිවීමට ඔහුගේ පෙරියමුල්ලේ නිවෙසට ගියෙමි. ඔහුගේ නිවෙසට යන කෙනෙකුට අත් දෙක ඔසවා ආයුබෝවන් මහත්තයා කියා පිළිගැනීම මාස්ටර්ගේ සිරිතය. ඉන් පසු මාස්ටර් තම බිරියට කතා කරයි. නෝනා මේ මහත්තයලට නෝනගේ සංග්‍රහය කරන්න කියයි. තේ කෝපි කිරි බිස්කට්, කේක් ඇතුළු සංග්‍රහයක් නෝනාගෙන් මුලින්ම ලැබෙයි. ඉන් පසු එය අහවර වූ විට ටිකක් තොරතුරු කතා කරමින් සිට මාස්ටර් කියනුයේ දැන් මගේ සත්කාර වෙලාව කියාය.

කාමරයේ අල්මාරිය අසලට යන මාස්ටර් පලතුරුවලින් පෙරන ලද ඉස්තරම් වර්ගයේ බෝතල් දෙකක් මේසය මත තබයි. පැහිච්ච අඹ කපා ජාඩි බැද කටගැස්ම ද සාදා ඇති තරම් සප්පායම් වන ලෙස අපට පවසයි. දවල් මාස්ටර්ගේ නිවසට ගිය අපි රෑ බෝ වනතුරු මධුවිතෙන් සප්පායම් වෙයි. අවසානයේ මා නිවෙසට යාමට සැරසෙද්දී මාස්ටර් තවත් අලුත්ම බෝතලයක් ද ලබා දෙනුයේ පසු දිනෙක පාවිච්චියටය. දිනක් මෙවැනි ගමනක් මා ගියේ චුට්ටේ නමැති මගේ හිතවතකුත් සමඟ ස්කූටරයකිනි.

මාස්ටර්ගේ සංග්‍රහ අවසානයේ මා හට බෝතලයක් ලැබිණි. යම් හෙයකින් පොලීසියෙන් ඇල්ලුවොත් හියුගෝ මාස්ටර් දුන්නා කියන්න යැයි මාස්ටර් පැවසුවේය. බෝතලයද රැගෙන හොඳට පදම් වී අපි දෙදෙනා ස්කූටරයෙන් කොළඹ ඒමට පිටත් වීමු. සීදූවේදී පොලීසිය අප නතර කළේය. බයිසිකලය පරීක්ෂා කෙරිණි. මට දෙලෝ රත් විය. බෝතලය හියුගෝ මාස්ටර්ගේ ගෙදරින් දුන්නේ යැයි මම වහා පැවසීමි. එහෙනම් පරිස්සමෙන් යන්න. ඉස්සරහදි පොලීසියෙන් ඇල්ලුවොත් මාස්ටර් දුන්නා කියන්න යැයි අපට උපදෙස් ද ලැබිණි.

මම ලේක්හවුස් ආයතනයේ ස්ථිර සේවකයෙක් වූ සිද්ධිය ද හරි අපූරු සිදුවීමකි. එවක ලේක්හවුස් සභාපතිවරයා වූයේ රණපාල බෝධිනාගොඩ මහතාය. මාලිනී මා දැක තිබුණේ නිළියන් අතර සිටි ශ්‍රේෂ්ඨතම ගැහැනියක ලෙසය. කැමියාව පර්මනට් කරන ලෙස බෝධිනාගොඩ මහතාට පවසා තිබුණේ ද මාලිනී බව මා දැනගත්තේ පසු කලකය. මා ස්ථිර කළ ලිපිය කර්තෘවරයා වෙත ලැබෙන දිනයේ මා සිටියේ නැත. එයට හේතුව වූයේ මා නිවාඩු ලබාගෙන තිබීමය. රාජගිරියේ පැවැති මගේ විවාහ මංගල උත්සවයට පසුදා සරසවියේ කට්ටිය මෙම ලිපිය රැගෙන ආවේය. ග්‍රැන්විල් සිල්වා එදින මගේ අත තැබුවේ මා ලේක්හවුස් එකේ ස්ථිර කළ ලිපියයි. මා විවාහයෙන් පසු බිරිඳ සමඟ තානායමට යද්දී ග්‍රැන්විල් දුන් ලියුම් කවරය විවෘත කළෙමි. එහි තිබුණේ ස්ථිර පත්වීමය.

මුදිත කාරියකරවන යම් ප්‍රශ්නයක් හේතුවෙන් සරසවියෙන් ඉවත්ව ගියේය. ඔහුගේ ඉවත්ව යාමත් සමඟ නළු නිළියන්ද ඔහුගෙන් ඈත් විය. සරසවියේ ඉන්නා කාලය තුළ මුදිතට ආදරය කළ නළු නිළියන් මුදිත ඉවත් වූවාට පසු ඔහුව පාර තොටේදී දැක්ක ද නොදැක්කා මෙන් යාමට පුරුදු වී සිටියේය. මේ පිළිබඳව මුදිත ද සිටියේ කනස්සල්ලෙනි. මුල අමතක කරන වැඩි නළු නිළියන් පිරිසක් අපෙන් ප්‍රයෝජනයන් ලබන අතරේ සිටියත් මිනිස්කම හඳුනන නළු නිළියන් ද මට හමු විය. රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ ඒ අතරින් කීප දෙනෙක් විය.

අනුර බණ්ඩාර රාජගුරු සරසවියට සිටි හොඳ සම්පතක් විය. සිත් ගන්නා අයුරින් ලිවීමේ අපූරු හැකියාවක් රාජාට තිබිණි. ලිපියට අලංකාරයක් එක් කරමින් මවා ලිවීමේ අපූරු හැකියාව රාජාට තිබූ බැවින් එවැනි රසවත් ලිපි ගණනාවක් එවක සරසවියට සම්පාදනය වූයේ අනුර බණ්ඩාර රාජගුරු අතිනි.

නමටම ඔබින විවේකී ගති පැවතුම්වලින් පිරී සිටි කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනියක වූ විවේකා සමරසිංහ ද ලියුම් කියුම් කළේ ද නමට ඔබින අයුරින්මය. හින්දි භාෂාව ප්‍රගුණ කර සිටි ඇය උදේ මා කර්තෘ මණ්ඩලයට එන විට නමස්තේ කැමී කියා දිනපතා කීමේ පුරුද්දක් තිබිණි. ඒ නිසාම මම ඇය හමුවන ඕනෑම තැනකදී නමස්තේ විවේකී කියා කීමට පුරුදුව සිටියෙමි.

සරසවිය නිසා මා ජීවිතයට ලැබූ දේ අපමණය. කලා ක්ෂේත්‍රයේ ඇසූ පිරූ අය හඳුනා ගන්නට මට ලොකු ශක්තියක් වූයේ සරසවියයි. කලා ලෝකයම මට කැමී කියා ආමන්ත්‍රණය කළේ සරසවිය නිසාමය. පුවත්පත් කීපයකම මා වැඩ කර තිබුණත් කැමිලස් පෙරේරා කියන නාමය පාඨකයන් අතරට, නළු නිළියන් අතරට කා වැදුණේ සරසවිය නිසාවෙනි.

එච්. ඩී. ප්‍රේමරත්නයන් සමඟ චිත්‍රපට කීපයක් වෙනුවෙන් සහාය අධ්‍යක්ෂණය සඳහා යොමුවීමත් සමඟ මම සරසවියෙන් සමු ගන්නට තීරණය කෙරුවෙමි. ගීත රචනයටත්, චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයටත් යොමු වීම නිසාම මම සරසවියෙන් සමු ගත්තෙමි. මගේ මාධ්‍ය කලා ජීවිතයේ ස්වර්ණමය යුගය ගෙවූ සරසවිය තවත් චිරාත් කාලයක් වැජඹේවා කියා මම ප්‍රාර්ථනය කරමි.