වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරු කුමරිය

ආදරණීය තරු කුමරිය

කැමරා කාචය මේ පුංචි සුර කුමාරිය ඉදිරියේ මල් පෙත්තක් මෙන් සියුමැලි වෙමින් ඇයගේ රුව සටහන්කර ගනී. මාධ්‍යවේදීන්ගේ පෑන් තුඩ ඇය ගැන ලියද්දී කුරුලු පිහාටුවකටත් වඩා සෞම්‍ය වෙයි. බොලිවුඩයේ ආදරණීයම තරු දියණිය ඇයයි. ඇය ආරධ්‍යා බච්චන්ය. බච්චන් පවුලේ සුවිශේෂීම සාමාජිකාව ද ඇයයි.

නොවැම්බර් 16 වැනිදා බච්චන් පවුලට වගේම තරු පුරවරයට ද වැදගත් දිනයක් වූයේ ඒ දෝණිගේ උපන් දිනය නිසයි. අයිශ්වර්යා සහ අභිෂේක් මාපියන් කුලුඳුල් දරු පැටියාගේ පළමුවැනි උපන් දිනය අමිතාබ් මුත්තණුවන් සහ ජයා මිත්තණිය සමඟ සැමරුවේ අති උත්කර්ෂවත් ලෙසිනි. එහෙත් සැමදා සුරැකෙන බච්චන් පවුලේ පෞද්ගලිකත්වය ඒ අයුරින්ම රැක ගන්නට ඔවුන් අමතක කළේ නැත.

අම්මා කෙනෙකුට කුලුඳුල් දරුවාගේ උපන් දිනය හරිම විශේෂයි. ආරධ්‍යා අපේ පළමු දරුවා. දූගේ උපන් දිනයට අභිෂේක්ගේ පවුලේ අයත්, මගේ මාපියනුත් පමණක් සහභාගි වුණා.’ අයිශ්වර්යා ආරධ්‍යාගේ උපන් දිනය සැමරූ අයුරු මාධ්‍යවේදීන්ට හෙළි කළේ එලෙසයි.

ලෝකයට මුලින්ම ආරධ්‍යාගේ රුව දැක ගන්නට ලැබුණේ අමිතාබ් බච්චන්ගේ හැත්තෑ වැනි උපන් දිනයදායි. එය අමිතාබ්ගෙන් රසිකයන්ට ලැබුණු වටිනාම උපන් දින තිළිණයයි.

දෝණිගේ පළමුවැනි දීවාලි උත්සවය ජයටම පවත්වන්නත් අමිතාබ් මුත්තණුවන් අමතක නොකළේය. මූම්බායි හී ජල්සා නිවෙසේ පැවැති මහා දීවාලි සැනකෙළිය ආරධ්‍යා වෙනුවෙන්ම පැවැත්වූවකි. ඒ සඳහා ෂාරුක් ඛාන්, අක්ෂේ කුමාර්, ට්වින්කල් ඛන්නා, දීපිකා පදුකෝන්, රවීනා තන්ඩන්, ෆාරන් අක්තාර්, කරන් ජොහාර්, නීල් නිතින් මුකේෂ්, බිපාෂා බාසු, තුෂාර් කපූර්, මනෝජ් බජ්පායි, සුනිල් ෂෙට්ටි, අසීන්, ජෝන් ඒබ්‍රහම්, තාබු, අම්රිතා වැනි සුපිරි තරු ආරාධනා ලැබූහ.

ලෝක ළමා දිනය ද ආරධ්‍යාට අමතක නොවන දිනයක් කිරීමට බච්චන් පවුල වග බලා ගත්හ. ඒ අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන් නිවෙසට ගෙන්වා සෙල්ලම් කරමින් විනෝද වන්නට සැලැස්වීමෙනි.

ක්‍රිස් - 3 නිසා රිතික් අනතුරක

රිතික් රොෂාන් යනු ග්‍රීක ප්‍රතිමාවක් බඳු කඩවසම් රුවක් හිමි තිරයේ ප්‍රේමවන්තයෙකි. එහෙත් ඒ රුව ක්‍රියාදාම වීරයකුට ද ගැළපෙන බව ඔහු ඔප්පු කළේ වරක් දෙවරක් නොවෙයි. ඒ සෑම අවස්ථාවකම කිසියම් තුවාලවීමකින් වීරත්වය වඩාත් ඉස්මතු වුණි.

මේ දිනවල රිතික් ‘ක්‍රිෂ් 3’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නේය. ඔහු එහි විවේක් ඔබරෝයි සමඟ දකුණු මූම්බායිහී රූගත කිරීමක යෙදී සිටියදී දරුණු ලෙස තුවාල ලැබුවේය. තමන් සැබෑ වෘත්තීය නළුවකු බව ඔප්පු කරමින් ඔහු තුවාලය නොතකා දිගටම රූගත කිරීම්වල යෙදී තිබේ.

වැරැදි කාල නිර්ණයක් නිසා සටන් ජවනිකාවේදී රිතික්ගේ අතෙහි ඇති වූ විශාල කැපුමට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. ඒ වන විටත් අධික ලෙස රුධිරය වහනය වෙමින් පැවති බව කියවෙයි. වෙළුම් පටි යෙදූ අතත් සමඟ ඔහු රූගත කිරීම් දිගටම කළේ තමන් සැබෑ සටන් නළුවකු බව පෙන්වමිනි.

තුවාලවීම් පිළිබඳ හොඳ ඉතිහාසයක් රිතික්ට තිබේ. පසුගිය වසරේ කරන් ජොහාර්ගේ ‘අග්නීපාත්’ රූගත කරද්දී ඔහුගේ පිට කොන්දට දරුණු ලෙස තුවාල විය. පසුව දණහිස් ආබාධයක් නිසා ද ඔහු මාස ගණනක් වේදනා වින්දේය.

‘ක්‍රිස්’ සිනමාපට මාලවේ තුන්වැන්න වන ‘ක්‍රිස් 3’ නිපදවන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ ඔහුගේ පියා රාකේෂ් රොෂාන්ය.

2013 දීවාලි සමයේදී ‘ක්‍රිෂ් 3’ තිරගතවීමට නියමිතයි.

රූගත කිරීම්වලදී සිදු වූ අනතුරු නිසා සදාකාලික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ අමිතාබ්, ෂාරුක් නාමාවලියට රිතික්ගේ නම එක් නොවේවා කියා රසිකයන් පතන බව නම් නිසැකයි.

අන්තර් ජාලයෙනි