වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන් ගෙන් අහන්න

අර්ජුන් ගෙන් අහන්න

හේමසිරි සෙල්ලප්්පෙරුම, සුනිල් සෝම පීරිස්, දයා විමලවීර දැන් සිනමාවෙන් ඉවත් වෙලාද?

වික්ටර් පල්ලිමුල්ල - හැඳල

සෙල්ලප්පෙරුම තැනූ චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. සුනිල්සෝම නම් ඉදිරියේදී චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. දයා විමලවීර නම් ළඟදී චිත්‍රපටයක් කළේ නැහැ.

ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංග චිත්‍රපට පසුබිම් ගීත ගායනා කර ඇති චිත්‍රපට මොනවාද?

යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය

ගඟ අද්දර, නොම්මර 17, සූරියකාන්ත, දොළොස්මහේ පහන, ඒවායින් කිහිපයක්.

ගාමිණී ෆොන්සේකා හා ස්වර්ණා මල්ලවආරච්චි සංඛපාලි චිත්‍රපටයේ එකට රඟපෑවා නේද?

පී. ගිණිගේ – පානදුර

ඔබ හරි, සංඛපාලී හි මේ දෙදෙනා ප්‍රබල චරිත දෙකක් නිරූපණය කළා.

කලාව පිළිබඳ මෙතරම් දැනුමක් ඇති අර්ජුන්ගේ ලිපිනය සහ ඡායාරූපයක් පළ කරන්න.

විජය ඉලංගකෝන් – පල්ලෙවෙල – ගම්පොළ

ලිපිනය, ඡායාරූප අත්‍යවශ්‍ය සාධක නොවේ. ඔය කොතනත් අර්ජුන් ඉන්නවා. අවුරුදු විස්සකට වැඩි කාලයක් සරසවියේ අර්ජුන් නම පළ වූවා.

එදා මෙදාතුර සරසවිය මුල් කවරය සැරසූ රංගන ශිල්පීන්ගේ එම ඡායාරූප ලබාගත හැකිද?

තිලකසිරි ද සිල්වා - මීටියාගෙඩ

බැහැ. නමුත් ඇතැම් පැරැණි ඡායාරූප ලේක්හවුස් පුස්තකාලයෙන් ලබාගත හැකියි.

යුගයේ වාසනාවන්ත ජනප්‍රියම සිනමාකරුවා උදයකාන්ත වර්ණසූරිය නේද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව

සම්පූර්ණ ඇත්ත. ඒකනේ සෙනසුරු මාරුව කළේ.

ගාමිණී රඟපෑ බොහෝ චිත්‍රපටවල පසුබිම් ගී ගැයුවේ එච්. ආර්. ජෝතිපාල. ගාමිණී නිර්මාණය කළ එකම චිත්‍රපටයකවත් ජෝතිගේ පසුබිම් ගායනය නොතිබුණේ ඇයි?

චන්න ජයසුන්දර – යක්කල, චන්දනගම

එයට සෘජු පිළිතුරක් දීම මට අපහසුයි. ගාමිණී තම නමින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල තිබූ ගීත අතර ජෝතිපාලට ගයන්නට ගීතයක් තිබුණේ සක්විති සුවය චිත්‍රපටයේ පමණයි. ඔහු අධ්‍යක්ෂණය කළ සාගරයක් මැද, කොටි වලිගය, උතුමාණෙනි වැනි චිත්‍රපටවල ගීත තිබුණේ නැහැ. නමුත් ගාමිණී අධ්‍යක්ෂණය කළ බවට චිත්‍රපට නාමාවලියේ සඳහන් චිත්‍රපටවල ජෝතිපාලගේ හඬ නොතිබුණත් ගාමිණී නිල නොවන අයුරින් අධ්‍යක්ෂණය කළ බොහෝමයක් චිත්‍රපටවල ජෝතිපාලගේ හඬ තිබුණ වග අමතක කරන්න එපා.

හොඳම වෙලාව, හොඳයි නරකයි, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, සැණකෙළිය, කවුද රජා යන චිත්‍රපට පිටපත් සහ ඩී. වී. ඩී. පිටපත් තිබේද?

විකුම් පෙරේරා - කපුගොඩ

මේ අතරින් ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, කවුද රජා යන චිත්‍රපටවල පිටපත් තිබෙනවා. ආවා සොයා ආදරේ චිත්‍රටයේ ඩී. වී. ඩී පිටපත් ළඟදී නිකුත් වුණා.

චන්ද්‍රිකා සිරිවර්ධනට හරියට සිංදු කියන්න බැහැ කියන්නේ ඇත්තද?

මංජුල පෙරේරා - බෑන්කඩ

ඇය විශිෂ්ට ගණයේ ගායිකාවක් කියලයි මා හිතන්නේ. එමෙන්ම සංගීතය පිළිබඳ අති විශාල දැනුම් සම්භාරයක් චන්ද්‍රිකා සිරිවර්ධන සතුයි.

සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ තරම් සියුමැලි ද කළුගල් ගීතය ලිව්වේ කවුද?

අජිත් ලක්මාල් - මීගමුව

නීතිඥ රජී වෙල්ගම.

සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත් ගේ ළමා අවධිය නිරූපණය කළේ මාධ්‍යවේදී දයා අබේසේකරද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

දයා අබේසේකර තමයි.

සමහර ටෙලි නාට්‍යවලට වියදම් කරන මුදල් අපරාදේ නේද අනේ?

සුජාතා ගුණවර්ධන – කඩවත

ඔයා මේ මුදලක් ගැන කතා කරනවා. ඒවා බලන අයගේ කාලය?

සනත් ගුණතිලක හා රන්ජන් රාමනායක විවාහ නොවීමෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?

චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණිය

මිනිසකුට විවාහ විය යුතුම යැයි කියලා ස්ථිර නියමයක් ලෝකේ කොහේවත් නැහැ. එසේ විවාහ නොවී ජීවිතේ සතුටින් කල්ගත කරන අය ඕනෑ තරම් ඉන්නවා.

තමන්ට ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රචාරය නිසාත්, විවාහ වීමට සුදුසු කෙනෙක් තවම නොලැබුණු නිසාත්, නිදහස් ජීවිතය අගය කරන නිසාත්, සමහර යම් යම් ශාරීරික ස්වභාවික හේතු නිසාත් සමහරු විවාහ වෙන්නේ නැහැ.

ඒ වගේම විවාහ වී අසතුටින් පවුල් ජීවිත ගෙවනවාට වඩා විවාහ නොවී සිටීම වැදගත්. සනත්ගේ සහ රන්ජන්ගේ අවිවාහක දිවියේ වටිනාකම දන්නේ ඒ දෙදෙනාමයි.

ලෝකයේ කාටවත් වුවමනාවට විවාහ නොවී සදාකාලිකව තනිකඩව ඉන්නට තරම් එඩිතර වීම ගැන මම ඔවුනට සුබ පතනවා.