|
කවදා හරි මම දිවි නසා ගත්තොත් මාධ්‍ය ඒකට වගකිව යුතුයිඅනූෂා සොනාලි
වේදනාවෙන් කියන කතාව
බන්ධනාගාර කැරැල්ලට අනූෂා ගේ නම ගෑවිලා?
මෑත වකවානුවේ කලා කටයුතුවලින් තොරව පුවත් මවන්නන් අතර නළු නිළියන්ට හිමි වූයේ ප්‍රමුඛ ස්ථානයකි. පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියක සම්බන්ධ වීම මීට නුදුරුම උදාහරණයයි. බන්ධනාගාරයේ කැරැල්ලේ ප්‍රධානියකු වූ මාලන් නමැත්තකුගේ බිරිය ලෙස අනූෂා සොනාලි සම්බන්ධ කර පළ වූ ප්‍රවෘත්ති පසුගියදා අපට අසන්නට මෙන්ම දකින්නට ලැබුණි. විද්‍යුත් මාධ්‍යයේ, මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම අන්තර් ජාලයේ වෙබ් අඩවි හරහා ද මෙම ප්‍රවෘත්තිය ඉතා උණසුම් ලෙස පළ වී තිබුණි.
මේ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත කුමක්ද යන්න සෙවීමට අනූෂා සෙනාලි සමඟ කළ කතාබහක් මේ. * පසුගියදා මාධ්‍ය තුළින් ඔබට අතිශය පුළුල් ප්‍රචාරයක් ලැබුණා. මාලන් නමැත්තා ඔබේ සැමියා ලෙස එහි සඳහන්ව තිබුණා. ඔව් . . . මේ ප්‍රවෘත්තිය මට මුලින්ම කිව්වේ මගේ මිතුරෙක්. පුවත්පත්වල, රේඩියෝවල, රූපවාහිනිවල වගේම වෙබ් අඩවිවලත් මේ ප්‍රවෘත්තිය පළ වී තිබෙනු දැක මං අතිශය කණගාටුවට පත් වුණා. මගෙයි මාලන් කියන පුද්ගලයාගෙයි සබඳතාවය නැතිවෙලා දැන් ගොඩාක් කල්. මේ පුද්ගලයාගේ උප්පැන්න සහතිකේ නම් දෙකක් තිබෙනවා. එකක් තමයි මලින්ද නිලේන්ද්‍ර පැල්පොල. අනෙක් නම මාලන් මේනක පැල්පොල. වෙනත් නම් කියන තීරුව යටතේ තමයි මාලන් මේනක පැල්පොල කියන නම සඳහන් වෙලා තිබෙන්නේ. මම කසාද බැන්දේ මාලන් මේනක පැල්පොල. ඒත් ඊට ඉස්සර වෙලා ඔහු අනෙක් නමෙන් විවාහ වෙලා ඉඳල තිබෙනවා. ඒ අනුව බලද්දී මගේ විවාහය නීත්‍යානුකූල එකක් නෙවෙයි.
මගෙන් අයින් වෙලා මේ පුද්ගලයා තවත් පවුල් ජීවිතයක් ගත කළා. ඒ පවුලට ළමයෙකුත් ඉන්නවා. ඉතිං ඇයි මාධ්‍ය මේ පුද්ගලයාගේ නියම බිරිඳ ගැන සඳහන් නොකර මාව සම්බන්ධ කර ගත්තේ කියන එක මට ප්‍රශ්නයක්. මේ සිද්ධියට මම අදාල නැහැ. කෙටියෙන්ම කියන්න තියෙන්නේ එච්චරයි. හැබැයි මේ වගේ සිද්ධිවලින් මගේ හිත දැන් තදින්ම රිදිල තියෙන්නේ. කොයි වෙලාවක හරි බැරිම තැන මං සියදිවි හානි කර ගත්තොත් මේ මට මඩ ගහපු මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතුමයි. මම හිතන්නේ මේ ලියන අයට මේ සිද්ධිය ගැන මිට වඩා හොයන්න තිබුණා. සිද්ධියට අදාල කෙනාගේ පෞද්ගලික ජීවිතය ගැන හොයල ලියුවනම් බිරිඳ ලෙසට සඳහන් විය යුත්තේ දැන් ඉන්න බිරිඳගෙ නම මිසක් මගේ නම නෙවෙයි. මේක තමයි ඇත්ත කතාව. ඔබ පසුගිය කාලේ නිර්මාණවලට දායක වුණේම නැහැ. කලකිරීමකින් ද ඉන්නේ? මං කවදත් පස්සෙන් ගිහිං නිර්මාණ ඉල්ලගෙන සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය අදටත් එහෙමමයි. පහුගිය කාලේ සංගිලි චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒක කළා. කුපාඩියා චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ආරාධනා ලැබුණු වැඩවලට සම්බන්ධ වෙලා වෙනදා වගේ සතුටින් වැඩ කළා. ඒ ඇරෙන්න නිර්මාණ හොයා ගෙන ගිහිං රඟපාන්න මට උවමනාවක් නැහැ. අනෙක දවස් කුලියටයි දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ. දවසට ගෙවල සතියක වැඩ ගන්න විදියට තමයි දැන් හැදිලා තියෙන්නේ. එහෙම නිර්මාණ කරනවට වඩා හොදයි මං දරුවත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා. * කාලෙන් කාලට ඔබේ නම උඩට එනවා නේද?
ඊට ඉස්සර වෙලා මගේ නමට සමාන නිළියක් කියන කෙනෙකුගේ අයුතු ක්‍රියා කලාපයක් සම්බන්ධව මගේ නම පැටලුණා. මේ වෙලාවල්වලදී කවුරුත් මේ කතා ගැන හොයල බැලුවේ නෑ. නිකම්ම ලිව්වා. මට නොතේරෙන්නේ ඇයි මේ කිසිම හොයා බැලීමකින් තොරව මේව ලියන්නේ, ප්‍රසිද්ධ කරන්නේ කියන එක. * මේ කළකිරීම් එක්ක නිර්මාණ ජීවිතෙන් ඈත් වෙන්න තීරණය කරලද ඔබ ඉන්නේ? අපෝ නැහැ. හොඳ නිර්මාණයකට මගේ වටිනාකමට කතා කළොත් මං සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්න හොය හොයා නිර්මාණ කරන්න මට උවමනා නැහැ. අවසානයේ ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ සිද්ධියට මාව සම්බන්ධ කර ගැනීම වැරැදි ක්‍රියාවක්. ඒ නිසා මේක නිවැරැදි විය යුතුයි. මීට පස්සෙවත් මේ වගේ ප්‍රචාර කරන කොට හොයල බලල හරි දේ ප්‍රචාරය කළොත් හොඳයි.
|