|
කාතික් කාතික්ටම කෝල් කරන්නෙ ඇයි?
කාතික් ජීවත් වෙන්නෙ කුඩා කාමරයක. කරදරකාර ගෙවල් අයිතිකාරයෙක්, ප්‍රමාණය ඉක්මවා වැඩ ගන්න ආයතන ප්‍රධානියෙක් වගේම තමන් ගැන අංශුවකවත් අවධානයක් නැති සුරූපි තරුණියක් එක්කයි ඔහු එදිනෙදා ජීවත් වෙන්නෙ. වුවමනාවට වඩා පිළිවෙළ කාමරයක රැල්ලක්වත් එහා-මෙහා නොයන විදිහට හදපු ඇද රෙද්දක් සහිත ඇදක ඔහු රැකියාවට යන්න ලෑස්ති වෙලා වාඩි වෙලා ඉන්නවා. හදිසියෙම ස්ථාවර දුරකථනයට ඇමතුමක් එනවා. බැංකුවකින් කථා කරන්නෙ. ඔහුට ණය කාඩ්පතක් ලබා දෙන්න. ඉතාමත් ආචාරශීලීව එය ප්‍රතික්ශේප කරන කාතික් අසල ටීපෝව මත තබා තිබුණ රූබික් කියුබයේ පැති මාරු කරමින් එය නිවැරදිව සකසන්න උත්සාහ කරනවා. ඔහු පඩිපෙළක් බැස යන අතරතුර නිවෙස් හිමියා ඔහු පසුපස ලුහුබදිනවා. ඔහු ඉල්ලන්නෙ විදුලි සෝපාව පිළිසකර කිරීමට මුදල්. ඔහු උත්සාහ කරන්නෙ කාතික් නිවෙස කුලියට ගන්නා විට ඇපයට තැබූ රුපියල් දස දහසක් හිලව් කර ගැනීමට. තමා වෙනුවෙන් පෙනී සිටින්න උත්සාහ කරන කාතික් නිවෙස් හිමියාට යටත් වෙනවා. ඔහුගේ චරිතයේ ප්‍රධාන දුර්වලතාව සිනමාපටයෙන් මෙන්න කියා පෙන්වන විට කාතික් රැකියා ස්ථානයට ඇතුළු වී අවසන්. ඔහු සියල්ලටම පෙර සේවා ස්ථානයට එන්නෙක්. කාලය අපතේ නොයවමින් ඔහු වැඩ පටන් ගන්නවා. කාර්යාල කාර්ය සහායකයා ඔහුගෙන් ජංගම දුරකථන අංකය ඉල්ලා සිටින්නේ ඊළඟට. ඔහු ඉතාමත් බියසුළුබවක් ආරෝපනය කර ගෙන තමා සතුව ජංගම දුරකථනයක් නොමැති බව පවසනවා. තව දුරටත් ඒ ගැන පැහැදිලි කරන කාතික් කියන්නේ ජංගම දුරකථනයෙන් නිකුත් වන තරංග මිනිස් මොළයට හානිදායක බව තමා අන්තර්ජාලයෙන් කියවූ බවයි. සේවා ආයතනයේ ප්‍රධානියා කාතික් කැඳවමින් ඔහුට අවවාද කරන්නේ ඊළඟට. තමන් අත වරද නැතිව සමාව ඉල්ලමින්, නැවත තමන් නිර්දෝෂී බව පැහැදිලි කරන්නට උත්සාහ කරමින් ඔහු ළතැවෙනවා. කාර්තික් ගේ චරිත ලක්ෂණ සහ ඔහු මුහුණ දෙන අසාධාරණ ගැන ප්‍රේක්ෂකයා සංවේදී වන්නට පටන් ගන්නේ මෙන්න මෙවිටය. 'කාතික් කෝලින් කාතික්' 2010 වසරේ තිරගත වූ මනෝවිද්‍යාත්මක හින්දි සිනමාපටයකි. විජේ ලල්වානි විසින් තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද මේ සිනමාපටයේ නිෂ්පාදනය ෆර්හාන් අක්තාර් සහ රිටේෂ් සිද්වානි ගේය. කාතික් ලෙස අනර්ඝ රංගනයක නිරත වෙන ෆර්හාන් අක්තාර් සහ සොනාලි ලෙස දක්ෂ රංගනයක නිරත වෙන දීපිකා පදුකෝන් මුළු සිනමාපටයම තම ග්‍රහණයට නතු කරගෙන ඇති සැටියකි. කාතික් ගේ සිහිනය කේන්ද්‍ර වී තිබෙන දෙව්දුව සොනාලිට දිනපතා ඊ-මේල් පණිවුඩ ලියන ඔහු එකදු පණිවුඩයක් නොයවමින් ඒවා කටු සටහන් ලෙස පරිගණකයේ සුරකිනවා. නමුත් සොනාලි කාතික් කියලා කෙනෙක් ගැන නොදන්නම තරම්. ඉතිං මේ චිත්රපටියෙ විශේෂ්ත්වය මොකක්ද? ටික කාලයක් ගිහිල්ලා කාතික්ට කාතික්ගෙන්ම දුරකථන ඇමතුමක් එන එක තමයි විශේෂත්වය. මේ හැම දේකටම කාතික්ගෙ සිහින කුමාරි සොනාලි සම්බන්ධයි. සොනාලිත් එක්ක කාතික්ගෙ කාර්යාලයේම රැකියාව කරන කඩවසම් තරුණයෙක් සම්බන්ධයක් ඇති කරගෙන බව කාතික්ට හදිසියේම වැටහෙනවා. ඔහු ගැන ඇති වන නොවැලැක්විය හැකි ඊර්ෂ්‍යාව ඔහුව පුලුස්සනවා. කාතික් මනෝ වෛද්‍යවරියකගෙන් බෙහෙත් ගන්නවා. ඔහු කියන්නේ තමන්ගෙ සහෝදරයාව ළිඳකට අත් වැරදීමකින් වැටිලා මැරුණා. ඒ මරණෙට තමා වඟ කිව යුතු බවයි. වසර ගණනාවක් ඔහු ඇගෙන් වෛද්‍ය උපදෙස් ගන්නවා. ඈ ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා ඒ මරණය ඔහුගෙ වරදක් නොවන බව. නමුත් කාතික් ඒ හැඟීමට ආස කරනවා. ඔහු අර වරදකාරී හැඟීමත් එක්කම ජීවත් වෙන්න තීරණය කරනවා. ඔහුගෙ යටි හිතෙන් සොනාලි හිමි කර ගැනීමේ නොනිමි ආසාවෙන් පසුවෙනවා. නිතිපතා ඈට ඊ-මේල් පණිවුඩ ලියමින් ඒවා පරිගණකය තුළම රදවා තබා ගන්නවා. ඔහු ඒ ක්‍රියාවෙන් සතුටක් ලබනවා. ඒක පාර්ශවීය ආදරයක පැටලිලා ඉන්න කාතික් කාර්යාලය තුළත් අතිශය පීඩාවට පත් වෙනවා. ඔහුගෙ භින්න පෞරුෂය නරඹන්නාට හිසරදයක් වන රමට ඔහු තමන්ගේ චරිතය තුළ පීඩාවට පත් වෙනවා. ඔහුව රැකියාවෙන් නෙරපා හරිනවා. ජීවිතය රැකියාව වටා කේන්ද්‍ර වෙලා තිබුණ කාතික් හදිසියේම අරමුණක් නැති පුද්ගලයෙක් වෙනවා. ඔහුට ඉවසන්න පීඩාවක් නැති වෙනවා. ඉලක්කයක් නැති වෙනවා. ඔහුගෙ සිහින පෙම්වතිය අහිමි වෙනවා. මේ සියල්ලම එක් මොහොතකට ඔහුව අකර්මන්‍ය කරනවා. කාර්තික් සිය දිවි නසා ගන්න තැත් කරනවා. සිනමාපටයේ හැරවුම් ලක්ෂය තියෙන්නෙ අන්න එතන. දුරකථන ඇමතුම. කාතික් අලුතින් මිලදී ගත්ත ස්ථාවර දුරකථනයට ඇමතුමක් එනවා. හරියටම පාන්දර 5.00 ට. කථා කරන්නෙ කාතික්මයි. ඒ ඔහුගෙ උපන්දිනය දා. කාතික් ඔහුට සුබ පතනවා. සියල්ල වෙනස් වෙන බව ඔහුට කියනවා. තමන් කාතික්ම බව ඔප්පු කරන්න කාතික්ගෙ බැංකු ගිණුමෙ රහස් අංකය කියනවා. කාතික් පැළඳගෙන ඉන්න මේස්වල පාට කියනවා. ඔහු වික්ෂිප්ත වෙනවා. ප්‍රේක්ෂකයත් ඔහුත් එක්කම වික්ෂිප්ත වෙනවා. නිතිපතා මේ ඇමතුම එනවා. කාතික් වෙනස් පුද්ගලයෙක් වෙනවා. ඔහු අදින,පළදින විදිහ පවා වෙනස් කර ගන්නවා. තමන්ගෙන් සල්ලි කඩා වඩා ගන්න ගෙවල් හිමියාට තදින් කතා කරනවා. තමන්ව සේවයෙන් පහ කරපු ආයතන ප්‍රධානියාට සොඳුරු තර්ජන කරනවා. සොනාලි සමඟ කථා කරනවා. මේ ඔහුගේ සිහිනමය බලාපොරොත්තු සියල්ලම. කාතික් විසින් කාතික්ට දුරකථනයෙන් කථා කර පරණ කාතික් අලුත් කාතික් කෙනෙක් කරනවා. කාතික්ට කාතික්ටම දුරකථන ඇමතුමක් දෙන්න පුලුවන්ද? නරඹන්නා හිතන්න පටන් ගන්නකොට අලුත් කාතික් පුදුමාකාර සාර්ථක චරිතයක් වෙමින් පවතිනවා. ඒත් කාතික් රෝගයකින් පීඩා විඳීනවා. එක් අයෙක් තුළ කිහිප දෙනෙක් ජීවත් වීමේ විරල මානසික රෝගයකින් ඔහු පීඩා විඳීනවා. කාතික්ට අන්තිමට මොකද වෙන්නෙ කියලා බලන්නම වෙනවා. මොකද ඔහුට යම් තැනකදි වැරදෙනවා. ඒ වැරැද්ද ඔහු පසුපස හඹා ගෙන එනවා. සාමාන්‍ය හින්දි සිනමාපටයක දකින්න නොලැබෙන ගැඹුරක් මේ සිනමාපටයේ තියෙනවා. ප්‍රේක්ෂකයා නොමඟ යවමින් උපරිම කුතුහලයක් ඇති කරවන්නත් සමත් වෙනවා. මොවුන්ගේ රඟපෑම විශේෂයි. රූප රාමු දෙබස් අතර හිඩැස් තබමින් හිතන්න පොළඹවනවා. රූබික් කැටය සිනමාපටය පුරා ඇවිදිනවා. කාතික් ඉඩ ලැබෙන සෑම මොහොතකම රූබික් කැටය විසදන්න උත්සාහ කරනවා. ඔහු තමන්ගෙ බුද්ධිමත්භාවය ගැන සැක කරන හැම අවස්ථාවකදිම මේ රූබික් කැටය විසදීමෙන් ඈතට යනවා. එහෙත් ඔහු රූබික් කැටය අත් හරින්නෑ. මේ සිනමාපටය පුරාවටම කාතික් විදිහට රඟපාන ෆර්හාන් අක්තාර් රූබික් කැටය විසදන්න හැබෑවටම මහන්සි වෙලා. ඔහු ඉඩ ලැබෙන සෑම විටකම තමන් යන සෑම තැනකම ගිහින් තියෙන්නෙ සිනමාපටයේ ඔබ දකින රූබික් කැටය අතැතිව. ඒ කියන්නෙ ඔහු තමන්ගෙ චරිතෙත් එක්ක සැබෑ බැදීමකින් පසුවෙලා තියෙන්නේ. නමුත් මේ සිනමාපටය ලොකු ආදායම් වාර්තාවක් නම් තියන්න සමත් වෙලා නෑ. 2011 සී සම්මාන උළෙලේ හොඳම සංගීතයට නිර්දේශ වෙලා තියෙනවා. 2011 අයිෆා සම්මාන උළෙලේ හොඳම සහාය පසුබිම් ගායනයට වගේම 2011 ස්ටාර් ස්ක්‍රීන් සම්මාන උළෙලේ හොඳම සංගීතයට නිර්දේශ වෙලා තියෙනවා.
|