|
අපේ නැටුම් ඉතාලියට ගෙන ගිය සුදර්ශන
සුදර්ශන ධර්මකීර්ති මෙරටින් ඉතාලියට ගොස් එහිදී දේශීය නර්තනය වගේම ඉන්දීය නර්තන සම්ප්‍රදායන් ද පිළිබඳ එරට සිසුන්ට ගුරුහරුකම් ලබාදෙන නර්තන ගුරුවරයෙක්. ඉතාලියේ මිලානෝ හි සුදර්ශන ශ්රීී රංගායතනය ආරම්භ කළ සුදර්ශන විසින් වසරක් පාසා නර්තන උළෙලවල් සංවිධානය කරන අතරම, ඒවා තවත් විවිධ රටවල් කරා ද ගෙන යමින් එහිදී ද නර්තනයේ අගය, විචිත්රත්වය ගෙනහැර දක්වන්නේය. ඒ අතරතුරේදී සුදර්ශන ලංකාවට පැමිණි අවස්ථාෙවේදී සරසවියට ගොඩ වැදුණු විටදී නර්තනය පිළිබඳ තම සිහිනය සැබෑ කරගත් අයුරු පැවැසුවේ මේ විදියට. මම අධ්‍යාපනය ලැබුවේ දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ. පාසල් කාලයේදී යෞවන සමාජ නර්තන තරඟවලට සහභාගි වෙලා ජයග්රහන ලබාගෙන තියෙනවා. රැජිනි සෙල්වනායගම් ගුරුතුමියගේ නර්තනය දැකලා තමයි මට නැටුම් විෂය හදාරන්න දැඩි කැමැත්තක් ඇති වුණේ. 1987 වසරේදී මම එතුමියගේ කලායතනයට ඇතුළත් වෙලා නර්තනය පිළිබඳ හැදෑරුවා. පසුව කුමාරි ධම්මගේ යටතේ කථක් නර්තනයත්, චලනි ප්‍රියංකා යටතේ භරත නැටුම් කලාවත් ප්‍රගුණ කළා. 1991 වසරේදීී මම නාවික හමුදා සංස්කෘතික අංශයට බැඳුණා. එහි වසර 10 ක් නර්තන උපදේශකවරයෙක් ලෙස සිටීමෙන් පසු 2001 වසරේදී ඉතාලියට යන්න අවස්ථාව ලැබුණා. මේ වන විට මා යටතේ ඉතාලියේ වෙසෙන සිංහල සිසුන් වගේම ඉතාලි ජාතික දරුවන් පවා නර්තනය හදාරනවා. ඒ අය අතර මා ගොඩක් ජනප්‍රිය භරත නාට්‍ය ආචාර්යවරයෙක් විදියටයි. ඔබ මූලිකත්වය දෙන්නේ භරත නර්තන සම්ප්‍රදායටද? නැහැ. දේශීය නර්තන සම්ප්‍රදායන් ඇතුළුව භරත, කථක්, ස්කොටිෂ්, ලතින් ඇමරිකන් සහ බෝල්රූම් වැනි නර්තන පිළිබඳත් දැනුම සිසුන්ට ලබා දෙනවා. පසුගියදා දේශීය නර්තන සම්ප්‍රදායන් හැදෑරූ සිසුන්ගේ වෙස් බැඳීම සහ කලඑළි මංගල්‍යය සම්පූර්ණ චාරිත්‍රානුකූලව සිදු කළා. ලබන වසරේදීත් තවත් සිසුන් පිරිසකට වෙස් බැඳීම සහ කලඑළි මංගල්‍ය පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. සුදර්ශන ඉදිරියේදී පවත්වන්නට නියමිත නර්තන උළෙල පිළිබඳත් සඳහන් කරමුද? සුදර්ශන ශ්‍රී රංගායතනයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරෙන නර්තන ප්‍රසංගය ලබන නොවැම්බර් මාසයේදී මිලානෝහිදී පවත්වන්නට සූදානම් කරලා තියෙනවා. 2001 වසරේදී මම මේ කලායතනය ආරම්භ කිරීමේදී මගේ මුල්ම ශිෂ්‍යාව වූ ඉෂංකා හේරත් තමයි මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ. මීට අමතරව ලබන වසරේදී ගුරුපූජා උපහාර උළෙලක් පවත්වන්නටත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රවීණ නර්තන ආචාර්යවරුන් වන රැජිනි සෙල්වනායගම්, රවිබන්දු විද්‍යාපති සහභාගි වන්නටත් නියමිතයි. මා ලද නර්තන දැනුම ඉදිරි පරම්පරාවලටත් බෙදා දෙමින් රැක ගැනීම තමයි මගේ අරමුණ.
|