වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




මං මේක කරන්නේ සල්ලි හොයන්න නෙවෙයි

මං මේක කරන්නේ සල්ලි හොයන්න නෙවෙයි

අතුල ජයසිංහ සමඟ කතාබහක්

හොරුත් එක්ක බොරු මංගල දැක්ම 23 දා ලුම්බිණියේ

ප්‍රවීණත්වයට පත් බොහෝ නාට්‍යවේදීන්ගේ තිඹිරි ගෙය වූයේ වේදිකාවයි. අධ්‍යක්ෂණයෙන් ද රංගනයෙන් ද වේදිකාව මත පෙළහර පෑවෝ පෙරදා තරම් වත්මන විට විට ප්‍රාමාණිකව අඩු වුවත් එකී මාධ්‍ය තුළ සක්‍රීයව සිිටින ඇත්තන් නව පරපුරේ ද අල්ප වශයෙන් දැකිය හැකියි.

අතුල ජයසිංහ ද අයත් වන්නේ නිර්මාණකරුවන්ගේ කුලකයටයි. තම හැකියාවන් වේදිකාව මත මුවහත් කරගත් හෙතෙම පසුකාලිනව වෙනත් මාධ්‍යයන් ඔස්සේ පියවර තැබුවත් වේදිකාව අතැර නොගිය බවට මෙම විසිතුන් වැනිදා සාක්ෂි සපයයි. ඒ ඔහුගේ නවතම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය ‘හොරුත් එක්ක බොරු’ නාට්‍යයේ මංගල දර්ශනය වේදිකා ගත කරමිනි.

අතුල ‘හොරුත් එක්ක බොරු’ ගැන වඩාත් විග්‍රහ කළොත්?

මේක නොබෙල් ත්‍යාගලාභී ඉතාලි ජාතික නාට්‍යවේදී ද්‍රාරියෝ ෆෝගේ වී, කාන්ට් පේ වී, වෝන්ට් පේ ඇසුරෙන් පරිවර්ථනය කරන ලද්දක්. එයම මීට ප්‍රථම කපිල කුමාර කාලිංග අපි ගෙවන්නෙ නැහැ නමිනුත් මහේෂ් කුමාර ගෙවන්නෙ නැතිනම් බම්බු ගහන්නද නමිනුත් වේදිකා ගත කොට තිබුණා.

ඇයි කුලුඳුල් නොවන පරිවර්ථනයක් නැවත වේදිකා ගත කළේ?

මම හිතන්නේ නැහැ මීට ප්‍රථම වේදිකා ගත කරපු එකක් නැවත පෙන්වීමෙන් අලුත් අරුතක් ඇති නොවෙයි කියලා. අනික ඒක යාවත්කාලීන කතාවක්. ඒක නිසා තව අවුරුදු සීයකින් පෙන්නුවත් ඒක මිනිස්සුන්ට ගෝචරයි. මීට පෙර වේදිකා ගත කළ නාට්‍ය දෙකට වඩා මං කාලය අඩු කළා. නළු නිළියෝ වෙනස් කොට අලුත්ම පිරිසක් යොදා ගත්තා. ඒ හේතුව මත මේ නාට්‍ය පරණ ගතිය ගිලිහෙයි. මේ වෙලාවේ මට තව උදාහරණයක් මතක් වෙනවා. එක්තරා යුරෝපීය රටක අගතා ක්‍රිස්ටිගෙ ‘මවුස් රැප්’ වේදිකා නාට්‍ය ශිල්පීන් මාරු වෙවී වසර පණහක්ම පෙන්නුවා. ඒ වගේ තමයි මේකත්.

හොරුත් එක්ක බොරු මුල මැද අග සහිත නාට්‍යක්ද?

මුල මැද අග ඇති නාට්‍යයන් යනු ඇරිස්ටෝටල්ගේ සම්ප්‍රදායට නිෂ්පාදනය වූ ඒවා. මම ඊට විරුද්ධ නැහැ. මේක රස වින්දනය ඇත්තන් නැරැඹිය යුතු නාට්‍යක්.

මෙහි ප්‍රවීණයන් නැත්තේ ඇයි?

පෙර තැනුනු නාට්‍යන්වල මනෝරත්න, ජයනි, කුමුදු කුමාරසිංහ, සරත් කොතලාවල, සුමිත් රත්නායක, නලීන් ප්‍රදීප් වැනි අය හිටියා. ඒ අයව මෙයට යොදා ගත්තා නම් මට ලෙහෙසි වන්නටත් තිබුණා. ඒත් ඒ අය තමන්ගේ රංගන අරමුණු බොහෝ දුරට සාක්ෂාත් කරගෙන හමාරයි. මට ඕන අලුත් කණ්ඩායමක් එක්ක මේ ගමන යන්න. ඒකයි නලීන් ලුසේනා, ධනුෂ්කා ඉරෝෂණී, ප්‍රෞඩ බුවනෙක, නදීශානි පේළිආරච්චි, ස්ටෙෆාන් තිරිමාන්න වැන්නවුන් යොදා ගත්තේ.

වේදිකා නාට්‍ය කලාවේ අර්බුදයක් තිබේ යැයි ඔබත් විශ්වාස කරනවාද?

අර්බුදයක් නෙවෙයි මෙන්න මෙවැනි දෙයක් තියෙන්නේ. වර්තමානයේ බොහෝ නාට්‍ය දුවන්නේ ඒවාහි රඟන ශිල්පියා නිසා. එවැනි නාට්‍ය හොඳින් දුවනවා, මුදල් හොයනවා. ඒ අනුව බලන කොට නාට්‍ය ද මිනිස්සු ඉල්ලන්නේ එහි නළු නිළියන්ව ද කියන එක ගැටළුවක්.

ඉතින් එහෙම තත්ත්වයක් මත නමක් තැබූ නළු නිළියන් නැති කොට ඔබේ නාට්‍යයට ඉල්ලුමක් ඇති වෙයිද?

මුලින්ම කියන්න ඕනේ මට වේදිකා නාට්‍ය පෙන්වලා සල්ලි හම්බු කරන්න කිසිදු වුවමනාවක් නැහැ. රංගනයෙන් හඬ කැවීමෙන් මං මුදල් හොයනවා. මට වුවමනා නිද්‍රාශීලී ප්‍රේක්ෂකයන්ව ප්‍රබෝධමත් කරන්න. නාට්‍යවලට මූල්‍යට වඩා අර්ථ වටිනාකමක් දෙන්න, නාට්‍ය බලන ජනතාව අතර කතිකාවතක් ගොඩ නගන්න. මේ වන විට ප්‍රේක්ෂකයන්ගේ චින්තන යාන්ත්‍රණය නිද්‍රාශීලීවයි තියෙන්නේ. එයට පිළියම් තමයි මං යොදමින් ඉන්නේ. ඒකයි මගේ වෑයම.

ඔබ ඒ සඳහා තෝරා ගත් මාධ්‍ය හරිද?

හරියටම හරි. ඒක කරන්න පුළුවන් සැබෑ නාට්‍යකරුවන් සිටින්නේ වේදිකාව මතයි.

‘හොරුත් එක්ක බොරු’ සඳහා සංවිධායකවරයකු හමුවේවි කියලා විශ්වාසද?

බලමු. මං මංගල දර්ශනය දවසට ආරාධනා කළ අය අතර සංවිධායකවරුත් ඉන්නවා.

මෙයට අමතරව ඔබේ වෙනත් කලා කටයුතු මොනවාද?

පුරුද පරිදි හඬ කැවීමේ කටයුතු කරගෙන යනවා. දෙරණ ගුවන් විදුලියේ උදෑසන පුවත්පත් සමාලෝචනය කරනවා. දූවරු නාට්‍යයෙන් පසුව රංගනයේ යෙදෙන්න බැරි වුණා.

ඔබ සම්මානනීය නාට්‍යවේදියෙක්. එහෙම තත්ත්වයක් මත ඔබේ නාට්‍යයේ ඔබ රංගනයේ යෙදෙනේ නැත්තේ ඇයි?

අධ්‍යක්ෂණය නම් අධ්‍යක්ෂණය. රංගනය නම් රංගනය. ඒකයි මගේ තියරිය.