වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




මටත් පෙම්වතියක් හිටියා ඒත්. . .

සාත්තරකාරි ඉංග්‍රීසි කතා කරයි

යශෝධරා දර්ශන තලයේ රසකතා

තරුෂි ළිඳ වටේ කැරකිලා

උත්පලාගේ වතුර බෝතලේ කිරි

මම යශෝධරාව හමු වුණෙමි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඈ යශෝධරාවකි. ඈ බෙහෙවින්ම කරුණාවන්තය. නිවුනු වචනයන්හි ඉවසිලිවන්තභාවය ගැබ්ව තිබිණි.

මිදුලෙ ඉදන් කතා කළා ඇති යමු ගෙට. යශෝධරා නිවසේ ආලින්දයට අත දිගු කළේය.

මෙහෙම හොඳයි. මම තව ටිකකින් යන්නත් ඕනේ.

මම සිටි තැනම සිටියෙමි.

සාත්තරේ, සාත්තරේ, සාත්තරේ.

කවුදෝ කාන්තාවක් යශෝධරාගේ නිවසෙහි ගේට්ටුව අසලය.

නෝනා නෝනා . . . සාත්තරයක් අහමු. අරිනම් විතරක් ෂල්ලි දෙන්න.

එහෙම පවසමින් ඇය අනවසරයෙන් වත්තට ඇතුළු විය.

යශෝධරා ඈ සමීපයට ගියාය.

ඇය සාත්තර කියමින් බත සරිකර ගන්නා කාන්තාවක් යැයි මම අනුමාන කළෙමි. ඇගෙහි දකුණු කනෙහි දුර්වර්ණ වූ ඔලෝගුවකි. අතෙහි මොණර පිහාටු කිහිපයකි. ක්ෂණයකින් ලතාවකට කැඩුණු සිංහලෙන් කතා කරමින් ඇය යශෝධරාව වසඟයට ගත්තීය.

අත බලපුවාම කියන්න පුළුවන් නෝනා අරිම වාසනාන්තයි. බට් ප්‍රශ්නයක් තමා තීනවා.

වෙරදි වෙරදි වෙරදි . . .

අහිකුණ්ටක අය බට් කියන්නේ නෑ ‘බට්’ ඉංගිලිෂ් වර්ඩ් එකක්නේ.

කැඩුණු සිංහලයෙන් තවත් පිරිමි අයකු කතා කරයි.

යශෝධරා නෝනා මෙයි යෙන්ඩකෝ.

ඔහු යශෝධරාව ළඟට ගත්තේය.

මේ ෂීන් එකෙන් ආෆ්ටර් නෝනා ගෙදර දොරෙන් ඉමිහිට ඔල්ලුව දාල බලන එක තියෙන්නේ.

ඒ පුද්ගලයාගෙන් යශෝධරාට උපදෙස් රැසකි.

ඔයා කවුද?

බලා සිටිය නොහැකි තැන මම විමසීමි.

මං මුරුගානන්ද්. ඉපදුනේ ඉන්දියාවල. ලංකාවේ ඩිරෙක්ටිං තමා කරනවා.

ගෞතමී නාට්‍ය කළේ?

ඔව් ඔව් . . . ඒ මං තමා.

නම අහලා තිබුනට දැක්කෙ අදනේ.

අපි එකිනෙකා හඳුනා ගත්තෙමු.

හොඳට සිංහල පුළුවන් නේද?

ටික්ක ටික්ක කතා කරන්න ඔඕ කේ. ඇහෙන ඒවා හොඳට අන්ඩස්ටැන්ඩිං.

එතකොට මෙහෙ කරන්නේ?

මං තමා යශෝ්දරා ඩිරෙක්ට් කරන්නේ. එක හැමදාම රෑ නයින් ඕ ක්ලොක් සිරස චැනල් යනවා.

තව කවුද ඇතුළෙ ඉන්නේ?

යශෝධරාගේ ඩෝටර්ලා. තරුෂි, අරුණි, උත්පලා.

හේ තිදෙනාටම කතා කෙරුවේය.

ඉතින් කොහොමද?

අද ඔයා අපේ ලොකේෂන් එකට ඇවිත්.

අපේ සංවාදය පටන් ගත්ත තැන නැවතිණ. ඒ මුරුගානන්ද් නැවැත් වූ දර්ශනය පටන් ගත් හෙයිනි.

ඔහු කට් කියනවා ඇසිණ. සාත්තර කාන්තාව මා සොයා ආවේය.

මාව අඳුනගන්න බැරි වුණා නේද?

මම ඇයව ටික වේලාවක් ගිය පසු හඳුනා ගත්තෙමි. ඒ ශිරොමිකා ප්‍රනාන්දුය.

මේ නම් නියම සාත්තරකාරියක් . . .

යශෝධරාට රඟන නයනා කුමාරි කීය.

දහවල එළඹින. දැන් ඇත්තේ කෑම වෙලාවය.

ඔන්න බලන්නකෝ අරය කන්න කොච්චර වෙලාවක් යනවද කියලා.

නිෂ්පාදන කණ්ඩායමේ අයකු මෙහි යශෝධරාගේ තෙවැනි දුව ලෙසට රඟන අරුණි මෙන්ඩිස්ව පෙන්වීය. වෙලාව දවල් 12.30.

මං වේලාව මතක තබා ගතිමි.

කෝ මගේ වතුර බෝතලය නෑනේ.

උත්පලා යමක් හොයයි.

ඒක වතුර බෝතලයක් නෙවෙයි. කිරි බෝතලයක්නේ.

ඔන්න ඔහෙ කොහෙ හරි ඔයාම තියපු තැනක ඇති.

උත්පලා වතුර බෝතලයකට කිරි දමාගෙන එන බවට රාවයකි.

අන්න මගේ කොල්ලා එනවා.

උදිත් අබේරත්න දර්ශන තලයට එනුදුටු උත්පලාගේ කට ඇරිණ. උදිත් යශෝධරාහි උත්පලා රඟන චරිතයේ පෙම්වතා වේ.

මෙම නිවසෙහි පිටුපස තරමක් විශාල වූ ලිඳකි. තරුෂි පෙරේරා දෙතුන් වරක් එය වටා ගමන් කරනු මම දුටුවෙමි.

ෂෝක් වතුර ටික අනේ. කාලෙකින් ලිඳකින් නෑවේ නැහැ.

ඇය ලිඳ වටා සක්මන් කරන හේතුව කීවේ රහසිනි.

වෙලාව හෝරාවකින් ඉදිරියට ගියේය.

සියල්ලෝ කා බී අහවර වී නැවතත් රූගත කිරීම්වලට සැරසෙයි. කිව්වාත් වගේම අරුණි තවමත් කෑම පිඟාන අතගාමින් සිටියි.

මුරුගානන්ද් මහත්තයා දිගටම ලංකාවෙම ඉන්නද බලාපොරොත්තුව.

යස් යස්. මං මෙහෙ කෙනෙක්ව තමයි මැරි කළේ. මට පුංචි ඩෝටර් ඉන්නවා. එයාට මං තිබේ මට ලංකවෙ ඉන්න ආසාව ඇති කළ ඇන්ඩ් මට ලංකාවේ නමක් ක්‍රියේට් කරලා දුන්නු ගෞතමී ඩ්‍රාමා එකේ නමින් මගෙ ඩෝටර් ගෞතමී.

ඔහු එය පැවසුවේ මහත් වූ උද්දාමයකිනි.

යශෝධරා හි සරසවිය පුවත්පතෙහි රංගන වරම නිසා රංගන වරම් ලද්දෝ දෙදෙනෙකි. ඒ යශෝධරාගේ පවුලේ බාලයා හැටියට රඟන හංසනී මධුශානි සහ සුමනාගේ චරිතය මවන ශාඛ්‍යා මුණසිංහයි.

යශෝධරා සිකුරාදා හැර සතියේ සෑම දිනකම රාත්‍රී 9.00 සිරස නාළිකාවේ විකාශය වේ.

යශෝධරා හි සෙසු නළු නිළි පිරිවර.

නිහාල් ප්‍රනාන්දු, සඳුන් විජේසිරි, සුදර්ශන බණ්ඩාර, සම්පත් ජයවීර, නයනා රඹුක්කනගේ, සමන්ත කුමාරසිරි, උදිත් අබේරත්න, ශෂිරංග වික්‍රමසේකර, ටිරාන් අමන්ද, ගයාත්‍රි රාජපක්ෂ, තුසිත් ආර්. බණ්ඩාර, අංජනා එදිරිමාන්න, ගයාන් හෙට්ටිආරච්චි, නිල්මිණි කෝට්ටගොඩ, ජගත් මුතුකුමාරණ, මියුරි සමරසිංහ, අනුරාධා උදයංගනී, විශ්ව ලංකා, දිනුෂි රෝෂන්, රම්‍යා විරංගා.