|
ආදරණීය තාත්තේ මම තවම ඔබව සොයමි . . .
සහන් රන්වලගේ උතුරා පිටාර ගලනා පිය සෙනෙහස
ලයනල් රන්වලගේ
ජන්ම දිනය දා රන් සලකුණ
ආනන්ද විද්‍යාලයීයකුලරත්න ශාලාවේ...
ලයනල් රන්වල ජන සංගීතයේ රිද්මයයි. මීට දස වසරකට පෙර ලෝ දහමට අනුව සිය ජීවිතය අතැර ගියේය. ඒ ඔහුට ආදරය කළ පුතුන් දෙදෙනා, දයාබර බිරිඳ පමණක්ම නොව මුළු ලාංකේය ජනතාවම හඬවමිනි. එදා ඒ ඇසුණු ජන සංගීතයේ රිද්මය අද ද අප සවනත ගැටෙන්නේ පෙරටත් වඩා අගැයීමට ලක් වෙමිනි. නාද මාලාවන් සමඟ ඇහෙනා ඔබේ ස්වරය අද පරපුරට ද ආඩම්බරයකි. ඔබ අප අතරින් සමුගෙන ගියද ඔබගේම ලෙයින් ජනිත සහන් රන්වල පුතු ඒ මඟට පිවිස සිටියි. ඒ මතු පරපුරෙහි හදවත් හි ජන නාද මාලාවන් රෝපණය කරන්නටය. දයාබර පියකුගේ සෙනෙහස අහිමි වී ගිය කල්හි හදවත නැගෙනා දයාබර පුතකුගේ සංවේදී සිතුවිලි මෙසේ අප හා පැවසූයේ දෙනෙතට නැගුණු කඳුළු අතරිනි. ආදරණීය තාත්තේ, ඔබ අප අතැර ගොස් මේ ගත වී යන්නේ දසවැනි වසරයි. වසර දහයක් යනු දිගු කාලයක් වුවද ඒ දිගු කාලය මට දැනෙන්නේ අසුරු සැනක් මෙනි. එදා ඔබගේ දෙණ අසල දණ බිම ඔබා ඔබ දෙසම බලා උන් අයුරු මගේ සිහියට නැඟේ. එවේලෙහි ඔබගේ මුහුණෙහි රැඳුණු සිතුවිල්ල කුමක්දැයි සොයන්නට මම වෙහෙස ගත් අයුරු මගේ මතකයට පිවිසෙයි. ඒ ශෝචනීය මතකය අතරින් මගේ සිත දිව යන්නේ අපේ සොඳුරු ළමා වියටයි. වසර විසි හතරක්ම පවුලෙහි බඩපිස්සා ලෙස ඔබගේ රාජ්‍යයේ ආදර කිරුළ පළන් මා කෙළිදෙලෙන් ගත කල ඒ සොඳුරු ජීවිතයේ සුන්දරත්වය මට අද ද සිහියට නැඟෙයි. කුඩා කල මා ඔබගේ සුළැඟිල්ලෙහි එල්ලී තාලයට පා තැබූ අයුරින්, මම අද ද තාලයට පා තබමි. මිහිතලය වසා පැතිරුණු නුග රුකක සෙවණ හා සිසිලස බෙදන්නේ යම් සේද ඔබත් මට එැවැනිම නුග රුකක් බඳුමය. මට මෙන්ම අයියාටද ඔබ පෑ සෙනෙහස, ඔබගේ ගුණ කඳ කියන්නට අපට හෝඩියේ අකුරු මද බව කිව යුතුමය. ඒ පෑ සෙනෙහස තරමටම ඔබ ජන සංගීතයට, ජන ගීයට ආදරය කළ බව මම දනිමි. උඩැක්කිය අතට ගෙන තාල තබමින් නිවෙසෙහි එහාටත් මෙහාටත් තාල ගමනක යෙදුනේ අලුත් වාලක්කමක් තනන්නටය. නැවුම් ගීයක උපත සොයන්නටය. ‘සහන් පුතා මේ තාලේ හොඳ ද?’ ඒ අසලක මා සිටින මොහොතක ඔබ මා අමතන්නේ සැබෑ සෙනෙහසිනි. එවන් එක් දිනෙක සොඳුරු මතකය නිමේෂයකින් මගේ මතකයේ ඇඳී නෑඳී යයි. ඒ ජන සංගීතයේ නාද රටාවක් ඇසුරින් නවමු ජන ගීතයක් ඔබගේ හදවතට පිවිසි මොහොතයි. ඔබ කොපමණ සතුටකින් පසුවීද යත් මුළුතැන්ගෙහි සිය කාර්යභාරය අතර සිර වී සිටින අම්මාට ඇසෙන්නට ඒ ගීතය ගායනා කළ අයුරු මට මැවි මැවී පෙනේ. ‘අපි අපේ පැරැණි දේ ආරක්ෂා කර ගන්න ඕන. ඒ පැරැණි දේවලින් අලුත් අලුත් නිර්මාණ කරන්නට ඕන තමයි. අලුත් දේත් මුසු කර ගත යුතු තමයි. ඒ අපේ හද ගැහෙනා රිද්මය අවබෝධ කරගෙන. අපේකමට ආදරය කරනා ගමන් මම නැති දවසක මේ කරුණු කාරණා ඔයාට ප්‍රයෝජනවත් වේවි.’ අනතුරුව ඔබ මා අසලට පැමිණ කීවේ සොඳුරු අනාගත පැතුමක් හදවත පුරවාගෙන බව මම දනිමි. ඔබත්, මමත් අතර වූ වයස් පරතරය දුර වුවද ඔබ හදවතෙහි රැඳුණු තාරුණ්‍යයට, ජවයට අපට ළං විය හැකිදැයි මා සිතට උපදින්නේ සැකයකි. එපමණක් නොව එකල ඔබ දැරූ නැවුම් අදහස් පිළිබඳ ජීවිතයෙහි ආපස්සට හැරී විමසද්දී ඒවා කෙතරම් අපගේ ජීවිතයට අදාළ කරගත හැකිදැයි මගේ සිතට දැනෙන්නේ පුදුමයකි. ඒ පිළිබඳ සිතුවිල්ලෙන් පසුවන මේ මොහොතෙහි වරෙක ඔබ හමුවට පැමිණි ඔබගේ ශිෂ්‍යාවක් ඉදිරිපත් කළ ගැටලුවකදී ක්‍රියා කළ ආකාරයේ නැවුම් මතකයන් මා අභිමුව දිස්වේ. ‘සර් මගේ ප්‍රේම සම්බන්ධයට අපේ ගෙදරින් කැමැති නෑ.’ ඒ ශිෂ්‍යාව ඔබට පවසන්නේ සැබෑම පශ්චත්තාපයෙනි. ඇගේ ගැටලුව ඔබගේ ගැටලුවක් කර ගනිමින් ඇගේ හදවත සොරා ගත් ඔහු ඇයට සුදුසු නම් එකම කැදැල්ලකට එක් කිරීමේ වගකීම භාර ගැනීමට තරම් ඔබ සැලකිලිමත් වේ. නොගැළපෙන හාදකමකදී එය මුහුණටම කියන්නට ද ඔබ පසුබට නොවන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ආදරයට ඔබ කෙතරම් ආදරය කලේ ද යත් මේ සිදුවීම සිදු වූයේ සන්ධ්‍යාවකදී ඔබ රූපවාහිනිය නැරැඹූ මොහොතකය. එදින එහි වාදයකට බඳුන් වූයේ විහාර මහාදේවි උද්‍යානයට පිවිසෙන ආදරවන්තයින් පිළිබඳ බව මට මතකය. ‘පෙම්වතුන් එලෙස හමුවීම ප්‍රේමයෙන් බැඳීම වරදක්දැයි’ එක්වරම අසුනින් නැගි ඔබ දුරකථනය අතට ගෙන විමසුවේ අප ද පුදුමයට පත් කරමිනි. ඒ ඔබ ආදරයට ආදරය කළ බැවිනි. නොසැලෙන ගුණයෙන් යුක්ත වු සොඳුරු හදවතක් හිමි ඔබගේ හදවතෙහි වූ සොඳුරු සිතුවිලි නිවෙසෙහි කොතැන සැඟ වී ඇත්දැයි මම තවමත් සොයමි. ඒ සොඳුරු සිතුවිලි ඔබ හදවතෙහි රජ කළ නිසාමදෝ ඔබට මිනිසුන්ගේ ආදරය නොඅඩුව ලැබිණි. පාසලෙහි විදුහල්පතිවරයාගේ පටන් මාවත අමදින්නාට ද ඔබ සිතෙහි වූ ගෞරවය, සුහද බව මා හදවත පුරා අරක් ගත්තේ ඔබ නිසා බව කියමි. ‘උස් තැන් දැන හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ’ ඒ කියුම ජීවිතයට බොහොම වැදගත් කියමනක් පුතා’ ඔබ දිනෙක කීවේ මම ද උගත යුතු පාඩමක් යැයි පවසමිනි. ඒ කියූ වදන මේ මොහොතෙහි ද ඔබ පැමිණ මගේ දෙසවනට මුමුණන්නේ යැයි මට සිතේ. නිහතමානී බව පිරුණු, කුලුණුබර හදවතකට හිමිකම් කී පියාණෙනි, ඔබගේ ජීවිතයෙන් දායාද වූ බොහෝ දේ පියකු ලෙස අභිසෙස් ලබා සිටිනා මෙවන් මොහොතක මට කෙතරම් සොඳුරුදැයි සිතෙන්නේ ඉබේමය. ඒ සිතුම මත්තේ සිතුවිලි අතර සැරිසරමින් මා මේ සූදානම් වන්නේ ඔබගේ හැත්තෑ තුන්වැනි ජන්ම දිනය සමරන්නටය. ඔබගේ මතකය ආවර්ජනය කරමින් ‘රන් සලකුණ’ නම් ජන සංගීතමය අත්දැකීම් ඔබ නමට පුදන්නටය. ඔබ ඉපදී හැදී වැඩුණු කළුබෝවිල ග්‍රාමයේ සිට ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔබගේ මියුරු ස්වරයෙන් ලද පන්නරය කරළියට රැගෙන එන්නයි. මීට දස වසරකට පෙර ඔබ ගැයූ ගීතයක මියුරු ස්වරය පළමුවරට ජනගත කරන්නටයි. ඒ මේ ඉල් මාසයේ 27 වැනිදා සැන්දෑවේ රාත්‍රී 6.30 ට ආනන්ද කුලරත්න ශාලාවේදීය. ඒ සොඳුරු මොහොතට ඔබ නොපැමිණිය ද ඔබට ආදරය කරනා බොහෝ දෙනා පැමිණීමට නියමිතය. එහෙත් ඒ අසිරිමත් මොහොතේ ගලන ජන ගඟ අතර ඔබ ඇත්දැයි මම සොයමි. ඔබ නොපැමිණිය ද එදින ඔබගේ සුවඳින් මුළු කරළියම සුවඳවත් වන වග මට රහසක් නොවේ. ඔබගේ සුවඳ මා අසල සැරිසරන බව මට පුදුමයක් නොවේ.
මීට, ආදරණීය පුතු සහන් රන්වල |