ෂෝන් කොනරි නැවතත්
නෙවර් සේ නෙවර් අගේන්
ෂෝන් කොනරි නැවතත්
ජේම්ස් බොන්ඩ් 007
නිල නොවන බොන්ඩ් චිත්‍රපටය
කැලිෆෝනියාවේ සුඛෝපභෝගී සුවිසල් හෝටලයක සම්බාහන කාමරය වෙත පැමිණෙන රූබර තරුණියකි.
දුටුවන් මන්මත් කරවන නාරි ලාලිත්‍යයකින් හෙබි ඇය ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපරික
මැක්සිමිලියන් ලාගෝ ගේ අවිවාහක යෙහෙළිය වෙයි. ඇඳ සිටි දුහුල් ගවුම ඉවත ලා සම්බාහන
යහන මත මුනින්තලාව වැතිරෙන ඇගේ යටිකය යන්තමින් ආවරණය වී ඇත්තේ කෙටි තුවායකින්
පමණකි. ඊළඟ මොහොතේ කාමරයට ඇතුළු වන දේහධාරී පුද්ගලයෙක් ඇගේ සුමුදු ගත සම්බාහනය
අරඹයි.
ඔහුගේ දසැඟිලි මෘදු ලෙසත් ක්රමාණුකූලවත් ඇගේ සිරුර පුරා දිව යද්දී ඉතා ප්‍රසන්න
කතාබහක යෙදෙමින් ඇගේ තොරතුරු දැනගැනීමට ඔහු සමත් වෙයි. පෙර නොලත් පහසකින් ගත සිත
කුල්මත් වෙද්දී ඇය අඩ නින්දකට පත්වෙයි. අවදිවන විට ඈ අසල සිටින්නේ වෙනත්
සහායිකාවකි. විමතියට පත්වන ඈ විමසන්නේ මෙතෙක් ඈ සමඟ සිටි පුද්ගලයා පිළිබඳවයි. එහෙත්
අතුරුදන් වූ ඒ අමුත්තා අන් කිසිවෙක් නොව සුපිරි රහස් ඔත්තුකරු වූ ජේම්ස් බොන්ඩ් බව
ඇයට දැනගන්න ලැබෙන්නේ බොහෝ කලකට පසුවයි.
1983 තිරයට ආ ‘නෙවර් සේ නෙවර් අගේන්’ චිත්‍රපටයට පාදක වන්නේ 1965 වසරේ තිරගත වූ
‘තන්ඩර්බෝල්’ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ කතා තේමාවයි. කලකට ඉහත දී කතා රචක ඉයන්
ෆ්ලෙමින්, කෙවින් මැක්ලෝරි සහ ජැක් විටින්හැම් හා එක් වී තිර කතාවක් සම්පාදනය කරන
ලදී. නිෂ්පාදනය නොවූ එම කතාව නම් කෙරුණේ ලොන්ගිටියුඩ් 78 වෙස්ට් යනුවෙනි.
1965
තන්ඩර්බෝල් නිෂ්පාදනය වෙද්දී ඉයන් ෆ්ලෙමින් ජීවතුන් අතර නොසිටි අතර කෙවින් මැක්ලෝරි
එහි තිර කතාවේ අයිතිය අරභයා ‘ඉඔන් ප්‍රඩක්ෂන්’ සමාගමට එරෙහිව ලන්ඩන් හි ඉහළ උසාවියේ
නඩුවක් ගොනු කළේය. එහිදී තන්ඩර්බෝල් තිර කතාවේ අයිතිය ෆ්ලෙමින් විසින් ඔහුට පවරා
ඇති බව ඔහු කියා සිටියෙන් එය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් බවට පත් විය.
අවසානයේ උසාවි තීන්දුවකට අනුව මැක්ලෝරි සහ විටින්හැම් චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ලෙස
නම් කිරීමට ඉඔන් ප්‍රඩක්ෂන් සමාගමට සිදු විය.
ඉන් වසර 17 කට පසුව ඉඔන් ප්‍රඩක්ෂන් සමාගම විසින් ’ඔක්ටොපුසි’ චිත්‍රපටයේ නිෂ්පාදන
කටයතු ආරම්භ කරද්දී මැක්ලෝරි ද ඔහුට අයිති තන්ඩර්බෝල් කතාව නවීකරණය කරමින් බොන්ඩ්
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් විය. ඔක්ටොපුසි හා තරඟ වදින චිත්‍රපටය
ජනප්‍රිය කිරීමේ උපක්‍රමය ලෙස ඔහු මුලින්ම කළේ වසර 12 ක් තිස්සේ බොන්ඩ් චරිතය
රඟපෑමෙන් සමුගෙන සිටි, ජේම්ස් බොන්ඩ් ප්‍රතිරූපය සිනමාවට ගෙනා ෂෝන් කොනරි යළි
බොන්ඩ් චරිතයේ රඟපෑමට කැමති කරවා ගැනීමයි. මෙම පුවත බොන්ඩ් සිනමා රසිකයින්
අමන්දානන්දයට පත් කළ හොලිවුඩ් සිනමාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.
නිෂ්පාදක කෙවින් මැක්ලෝරි ප්‍රථම වරට මෙම කතා පිටපත නිෂ්පාදනය කිරීමට උත්සාහ කළේ
1964 දී ජේම්ස් බොන්ඩ් ලෙස ප්‍රවීණ නළු රිචඩ් බර්ටන් යොදා ගනිමින්. එය අසාර්ථක වූ
අතර 1970 දී ඕර්සන් වේල්ස් සහ ට්රිවර් හොවාර්ඩ් රගනයෙන් ද, රිචඩ් ඇටෙන්බරෝ
අධ්‍යක්ෂණයෙන් ද දායක කර ගනිමින් ගත් උත්සාහය ද ව්‍යවර්ථ වී ගියා.
1978 වසරේදී ජේම්ස් බොන්ඩ් ඔෆ් ද සීක්රට් සර්විස් නමින් චිත්‍රපටයක් නිපදවීම සඳහා
කොනරි රඟපෑමෙන් දායක කර ගැනීමට දැරූ තැත ද කොනරිගේ අකමැති වීම හේතුවෙන් ව්‍යවර්ථ
වුණා. 1980 දී නිෂ්පාදක ජැක් ස්වාර්ට්ස්මන් ගේ ඉල්ලීම මත කොන්දේසි සහිතව එකඟ වීමට
කොනරි කැමැත්ත පළ කළා. ඩොලර් මිලියන 3 ක ගාස්තුවක් සහ චිත්‍රපටයෙන් උපයන මුළු
ආදායමින් යම් ප්රතිශකයක මුදලක් ද ගෙවීම එම කොන්දේසිවලට ඇතුළත්. චිත්‍රපටයේ
අධ්‍යක්ෂණය සඳහා පැරණි බොන්ඩ් සංස්කාරක, අධ්යක්ෂවරයකු වූ පීටර් ආර්. හන්ට් නම් කළ
නමුදු පසුව ‘එම්පයර් ස්ට්‍රයික්ස් බැක්’ වැනි ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ
අර්වින් කර්ෂ්නර් ට අධ්‍යක්ෂණය බාර කෙරුණා. 1981 තිරයට ආ අතිශය ජනප්‍රිය වූ
‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපටයේ සිනමා කාර්මික කණ්ඩායමේ සහාය අධ්‍යක්ෂක ඩේවිඩ්
ටොම්බ්ලින්, කැමරා ශිල්පී ඩග්ලස් ස්ලොකොම්බ්, නිෂ්පාදන සැලසුම් ශිල්පී පිලිප්
හැරිසන් සහ ස්ටීවන් ග්‍රිම්ස් වැනි අති දක්ෂ කාර්මික ශිල්පීන් රැසක් චිත්‍රපටය සඳහා
දායකත්වය ලබා දුන්නා.
චිත්‍රපටයේ නම ‘නෙවර් සේ නෙවර් අගේන්’ යනුවෙන් නිර්මාණය කළේ කොනරි ගේ බිරිඳ වූ
මිචෙලින් විසිනි. ප්‍රධාන නිළිය වූ කිම් බැසින්ජර් ඒ සඳහා නම් කළේ ද ඇයයි.
‘ඔක්ටොපොසි’ ප්‍රධාන නිළි චරිතය සඳහා ඉඔන් ප්රඩක්ෂන්ස් සමාගම විසින් තෝරා ගෙන
සිිටි අමෙරිකානු ‘ප්ලේබෝයි’ සඟරාවේ නිරුවත් නිරූපිකාවක් වන බාබරා කැරීරා ද මෙම
චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමට කෙවින් සමත් විය. ඈ රඟපෑවේ ප්‍රධාන ප්‍රතිවාදී නිළි
චරිතය වන පාතිමා බ්ලෂ් ලෙසිනි. ඈ එම චරිතයට පණ දුන්නේ ඉතා දක්ෂ අයුරිනිි. එය ඉතා
ක්‍රියාශීලී කැපී පෙනෙන චරිතයක් විය. ක්ලාවුස් මාරියා බ්රැන්ඩෝවර් ප්‍රධාන
ප්‍රතිවාදියා වූ සිමි මැක්සිමිලියන් ලාගෝ ලෙස රඟපෑවේය. බොන්ඩ් ගේ සහායක සී. අයි. ඒ
නියෝජිත ෆීලික්ස්ගේ චරිතය සඳහා කළු ජාතික නළුවකු යොදා ගැනීමට ෂෝන් කොනරි යෝජනා කළ
හෙයින් බර්නි කේසී එම චරිතය සඳහා තෝරා ගන්නා ලදී.
බ්ලොෆෙල්ඩ් ලෙස මැක්ස්වොන් සිඩෝ ද
එඩ්වඩ් ෆොක්ස් බ්‍රිගේඩියර් ‘එම්’ ලෙස ද මිස්ටර් ‘කිව්’ ලෙස ඇලෙක්ස් මැකොවන් ද මිස්
මනිපෙනි ලෙස පැමෙලා සලෙම් ද චරිත නිරූපණය කළ අතර වැලරි ලියොන්, සස්කියා කෝහන් සහ
පෘනෙල්ලා ගී සෙසු බොන්ඩ් සුරතලියන් ලෙස චරිත නිරූපණයේ යෙදුණා. ජනප්‍රිය විකට නළුවකු
වූ රොවෙන් ඇට්කින්සන් හෙවත් ‘මිස්ටර් බීන්’ ද මෙහි සැලකිය යුතු චරිතයක් රඟපෑවා.
1982 සැප්තැම්බර් 27 දා ප්‍රංශ රිවීරා හිදී ඇරඹුණු රූගත කිරීම් නොවැම්බර් වන විට
තර්ඩල්බෝල් රූගත කෙරුණු නැසෝ සහ බහමාස් හි ක්ලිෆ්ටන් සුමුද්‍ර පරය දක්වා සංක්‍රමණය
වුණා.ප්‍රතිවාදී ලාගෝ ගේ බලකොටුව රූගත කෙරුණ් ස්පාඤ්ඤයේ අල්මේරියා හි සැබෑ බලකොටුවක
පසුතලයක් උපයෝගි කරගෙනයි.
ලාගෝ විසින් පාවිච්චි කරන ලද ‘ෆලයින් සෝසර්’ නම් කුඩා නෞකාව සෞදි අරාබියේ
සුල්තතාන්වරයකුගේ ‘නාබිලා’ නම් සුඛෝපභෝගී මුහුදු යාත්රාවකි. එහි නව අයිතිකරු වන්නේ
සෞදියේ අල් වලිඩ් බින් තලාල් කුමරුයි. මාස තුනක් මුළුල්ලේ එල්ස්ට්රී චිත්‍රාගාරය
තුළ ඉදි කෙරුණු විශාල තටාකයක් තුළ දිය යට සමීප දර්ශන රූගත කිරීමෙන් අනතුරුව මූලික
දර්ශන ගැනීම් සියල්ල හමාර කෙරුණා.
අනෙක් සෑම බොන්ඩ් චිත්‍රපටයකම ආරම්භයේ දක්නට ලැබෙන ‘ගන් බැරල්’ ලෝගෝව බොන්ඩ් තේමා
සංගීතය සහ අනෙකුත් ආවේණික ලක්ෂණ කිසිවක් මෙහි ඇතුළත් කර නොමැත්තේ ඉඔන් ප්රඩක්ෂන්ස්
සමාගම විසින් පනවා ඇති නීතිමය සම්බාධක හේතුවෙනි.
චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ මයිකල් ලී ග්‍රෑන්ඩ් විසිනි. තේමා ගීත රචනය ඇලන් සහ
මැරිලින් බර්ග්මන්ගේය. ඔවුන් තිදෙනා ඇකඩමි සම්මානලාභී ‘ව්න්ඩ්මිල්ස් ඔෆ් යුවර්
මයින්ඩ්’ ගීතයේ නිර්මාතෘවරුද වෙති. ගීතය ගායනය කළේ සුප්‍රකට ගායිකා ලානි හෝල්
විසිනි.
1983 ඔක්තේබර් 7 දා නිව්යෝර්ක් හිදී පූර්ව දර්ශනය ආරම්භ විය. ප්‍රථම සති අන්තයේදී
එහි ආදායම ඩොලර් මිලියන 9.72 කි. එය ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් මුල් සතියේදී ලත්
ඉහළම ආදායම ලෙස වාර්තාගත වෙයි. අමෙරිකාවේ සිනමාහල් 1500 ක් පුරා තිරගත වූ චිත්‍රපටය
ආදායම් අතින් ඒ වන විටත් තිරගත වෙමින් පැවති රොජර් මුවර් බොන්ඩ් චරිතය රඟපාන
‘ඔක්ටොපුසි’ චිත්‍රපටයේ ආදායමට වඩා ඩොලර් මිලියනයක් ඉදිරියෙන් සිටියේය.
ලන්ඩනයේ පූර්ව දර්ශනය පැවැත්වුණේ 1983 ඔක්තෝබර් 14 දා ලිසිස්ටර් චතුරස්රයේ වෝනර්
වෙස්ට් එන්ඩ් සිනමා ශාලාවේදීයි. ඩොලර් මිලියන 36 ක පිරිවැයක් දරා නිෂ්පාදනය කළ
චිත්‍රපටය ලැබූ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 160 කි. වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට
සමාගම විසින් ලෝ පුරා බෙදා හරින ලද ‘නෙවර් සේ නෙවර් අගේන්’ චිත්‍රපටය 1984 දී
වීඩියෝ පටයටත් 2001 දී ඩී. වී. ඩී. තැටියටත් නංවා බෙදා හරින ලදී.
චිත්‍රපටය ලත් විචාරක ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක පැවතිණි. බෙහෝ විචාරකයින්ගේ නොමඳ
පැසසුමට ලක් වූයේ ෂෝන් කොනරිගේ නැවත ආගමනය සහ ජේම්ස් බොන්ඩ් ලෙස ඔහු දැක් වූ රංග
ප්රතිභාවයි. ඔහු තරම් හොඳින් බොන්ඩ් චරිතය නිරූපණය කිරීමට අන් සමතෙක් තවත් නැති බව
ඔවුන්ගේ මතය වුණා. ඇතැම් විචාරකයින් අදහස් කළේ කොනරි ඊට වසර දොළහකට ඉහත දී බොන්ඩ්
චරිතය වෙතින් ප්‍රකට කළ විශ්වසනීයත්වය සහ තාත්වික බව ඔහුගේ පණස් දෙවැනි වියේදීත්
නොඅඩුව විදහා දැක් වූ බවයි. ඒ වන විට ඔහු ‘ඩයමන්ඩ්ස් ආ ෆො එවර්’ චිත්‍රපටයෙන් පසු
බොන්ඩ් චරිතය රඟපෑමෙන් ඉවත් වී වසර දොළහකි.
චිත්‍රපටයේ ප්‍රතිවාදී චරිතය නිිරූපණය කළ ක්ලාවුස් මාරියා බ්රැන්ඩෝවර් ද නොමඳ
විචාරක පැසසුමට ලක්වුණා. ඔහුගේ රඟපෑමට හිමි වුණේ ඉතා සුබවාදී විවේචනයි. ප්‍රතිවාදී
මැක්සිමිලියන් ලාගෝගේ සහායිකා ෆාතිමා බ්ලෂ් ගේ චරිතය රඟපෑ ජැමෙයිකානු රූ රැජිනක වූ
බාබරා කැරීරා ද විචාරකයින්ගේ වර්ණනාවට ලක් වුණා.
1990 දී යළිත් වරක් ‘තන්ඩබෝල්’ නවකතාව පාදක කොට ගෙන වෝහෙඩ් 2000 ඒ. ඩී. යනුවෙන්
තිමති ඩෝල්ටන් ජේම්ස් බොන්ඩ් ලෙස රඟන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මැක්ලෝරි කටයුතු
සූදානම් කළ මුත් එම උත්සාහය සිනමා සමාගම් විසින් පනවන ලද නොයෙකුත් නීතිමය සම්බාධක
නිසා ව්‍යවර්ථ වී ගියා. මැක්ලෝරි 2006 දී මෙලොවින් සමුගෙන යෑමත් සමඟ ජේම්ස් බොන්ඩ්
ඉතිහාසයේ මැක්ලෝරි භීතිකාව එතෙකින් අවසන් වුණා.
බොන්ඩ් සිනමාවලියේ
15 වන චිත්‍රපටය වන
‘අ විව් ටු අ කිල්’
චිත්‍රපටයත් සමඟ ලබන සතියේ හමු වෙමු.
- ආනන්ද දිසානායක
|