|
පිය සෙනෙහස සොයා ගිය මිනිසකුගේ කතාව පිළිකඩතුරාව
බේබි නෝනාගේ පෙරැත්ත මත අවසානයේ ක්‍රිස්ටීන් උඩතැන්න ළමාතැනී විවාහයක් ගැන සිතන්නට පටන් ගත්තාය. පරම්පරාවේ අවසන් පුරුක වූ ඈ නිරතුරුවම බටහිර පන්නයේ දිවියක් ගත කිරීමට ප්‍රිය කළාය. තමාගේ ජීවිතයට විවාහය සීමාවන් පනවනවා යයි සිතූ ක්‍රිස්ටීන් බේබි නෝනාගේ පෙරැත්ත මත තම අදහස බලෙන් යටපත් කර ගත්තාය. කුඩා කල සිටම තමාට මෙහෙකාරියකට වඩා විශ්වාසවන්ත වැඩිහිටියකු ලෙස සේවය කළ බේබි නෝනා අයහපතක් වන දෙයකට තමා පොළඹවා නොගන්නා වග ක්‍රිස්ටීන් දැන උන්නාය. ගැහැනියක් වුවහොත් විවාහයක් විය යුතුම යයි බේබි නෝනා නිතර කී කතාව ක්‍රිස්ටීන් පිළිගත්තේ අකමැත්තෙනි.
ඒ අනුව ක්‍රිස්ටීන් තමන්ට හිමි විශාල කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කාර්මික ශිල්පියා තමාගේ අනාගත සහකරු ලෙස නිතරගයෙන් තෝරා ගත්තාය. ජෝර්ජ් නම් වූ ඔහු කඩවසම් තරුණයකු වූ හෙයින් ක්‍රිස්ටීන් විවාහය පිළිබඳ දෙවරක් නොසිතුවාය. මෙපමණ කලක් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කාර්මික ශිල්පියා වූ ජෝර්ජ් ක්‍රිස්ටීන්ගේ නීත්‍යානුකූල සැමියා බවට පත් වූයේ ජෝර්ජ් හාමු ලෙස නම් ලබමිනි. දෙදෙනාගේ විවාහ දිවිය දින කිහිපයක් සාමකාමීව ගලා ගියේය. නාමික විවාහයක් ගැන පමණක් සිතූ ක්‍රිස්ටීන් තමන්ගේ සල්ලාල, නිදහස් ජීවිතය විවාහයෙන් පසු අත නොහැරියේය. මේ ක්‍රියා කලාපය නිසාම දෙදෙනා අතර ක්‍රමයෙන් අඬදබර උපන්නේය. ජෝර්ජ් හාමුට අවශ්‍යව තිබුණේ ඉක්මනින්ම පියකු වීමටය. නමුදු කලක් ඇවෑමෙන් ද ක්‍රිස්ටීන්ගෙන් ඒ උත්තරීතර බලාපොරොත්තුව ඉටු නොවන වග ජෝර්ජ් හාමු දැන ගත්තේය. ක්‍රිස්ටීන්ගේ සෙවණැල්ල ලෙස සිටි අචලා ජෝර්ගේ නෙතට හසුවන්නේ මේ අතරතුරය. වලව්වේ කලක් වැඩ කළ සේවකයකුගේ දියණිය වූ අචලා සමඟ පෙමින් බැඳෙන ජෝර්ජ් තමාගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට ඈ තෝරා ගත්තේය. ඒ අනුව ජෝර්ජ්ට දාව අචලා ගැබ්බර වෙයි. ක්‍රිස්ටීන් සහ ජෝර්ජ් ගැටුම උත්සන්න වුව ද ක්‍රිස්ටීන් මේ මොහොතේ උපක්‍රමශීලී කාන්තාවක බවට පත් වෙයි. ජොර්ජ් සහ අචලා තව තවත් පෙමින් වෙළෙයි. ‘ගැහැනියකගේ අගය මට දැනුණේ උඹෙන්. ආදරෙත් එක්ක ආසාවල් ඇති වෙනවා. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක් වෙන්නැති.’ ජෝර්ජ් නිතර අචලා සමඟ පෙමින් වෙළෙනු ක්‍රිස්ටීන් බලා උන්නේ දැඩි කෝපයෙනි. මේ සියල්ල අතර අචලා නොසැලී උන්නේ තමාට පැමිණෙන අභියෝග දරා ගනිමිනි. ‘මමත් ගැහැනියෙක් ඉස්සරහට මටත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම අඬන්නෙත් නෑ වැලපෙන්නෙත් නෑ. අචලා නිතර උන්නේ සතුටිනි. ගැබිනියක වූ අචලා දෙස ක්‍රිස්ටීන් බලා උන්නේ වෙනස්ම අයුරකිනි. උඩතැන්න වලව්වේ ගෞරවය රැක ගැනීමේ මෙහෙයුම ක්‍රිස්ටීන් දියත් කරන්නේ අචලා තමාට නතු කර ගනිමිනි. ‘අචලා . . . උඹ මේ වලව්වේ හැදුණෙ වැඩුණෙ මගේම සහෝදරියක් වගේ. දරුව හම්බ වුණාම මගේ නමට රෙජිස්ටර් කරමු. මේ දරුව වලව්වේ පුංචි හාමු හරි පුංචි නෝන හරි වෙන්න ඕනෑ.’ ක්‍රිස්ටීන් අචලාට ගෙන ආවේ අමුතුම යෝජනාවකි. සමාජ බුද්ධියෙන් පරිණත අචලා මේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළේ මානුෂීය හැඟීම ඉදිරියේ තබමිනි. ‘මං කොහොමද මගේ දරුව වෙන කෙනෙකුට අම්ම කියනව අහන් ඉන්නේ’. මේ යෝජනාවේ පීඩනය එන්න එන්නම තදබල විය. අචලාට වලව්වේ සිටින්නට බැරි තරමට ක්‍රිස්ටීන්ගේ බලපෑම ප්‍රබල වූ තැන අචලා වලව්ව හැරදා යෑමට තීරණය කළාය. එක් දිනක අචලා වලව්ව අතහැර අතුරුදන් වූවාය. තමාගේ ප්‍රේමවන්තිය මෙන්ම බලාපොරොත්තුව අතුරුදන් වීමෙන් ජෝර්ජ් හාමු දැඩි ලෙස කෝපාවිෂ්ට විය. ඒ කෝපය මැඩ පවත්වා ගැනීමට නොහැකි වූ තැන ජෝර්ජ් දැඩි තිරණයකට එළඹියේය. එහි ප්‍රතිඵලක් ලෙස ජෝර්ජ්ගේ පහරකින් ක්‍රිස්ටීන් අවසන් ගමන් යන්නට ගියාය. අසීමිත දරු සෙනෙහස නිසා ක්‍රිස්ටීන් මැරූ ජෝර්ජ් හිරගත කෙරිණි. හිර ගෙදර බිත්ති අතරට මැදි වී ජෝර්ජ් තමාගේ දරුවා ගැන මිස වෙනත් කිසිදු කරුණක් පිළිබඳ නොසිතුවේය. උඩතැන්න වලව්වේ සමීපතම මිත්‍රයකු වූ හිරගෙදර මහත්තයාට හදිසිියේ හමු වූ අචලාට දැනගන්නට ලැබුණේ ජෝර්ජ් සිරගත වූ ප්රවෘත්තියයි. ඒ අනුව හිර ගෙදර අමුත්තන් හමුවන කුටියේදී ජෝර්ජ් හා අචලා හමුවන්නේ වසර ගණනකට පසුය. ‘කෝ මගේ දරුවා’ ජෝර්ජ්ගේ පළමු පැනය වූයේ තමන්ගේ දරුවා පිළිබඳවයි. එක් කෙනෙක් නෙවෙයි දෙන්නයි. නිවුන්නු දුවයි පුතයි. මින් පසුව සිදුවන කුතුහලය දනවන සිද්ධි මාලාව ඔබට දැක ගත හැකි වන්නේ පිළිකඩතුරාව චිත්‍රපටයෙනි. ඩැනී ඩබ්ලිව්. පතිරණගේ නිර්මාණයක් වන පිළිකඩතුරාව ප්‍රවීණයන් රැසකගේ රැ¼ගුමෙන් වර්ණවත් වූවකි.
නළු නිළි පිරිස: රවීන්ද්‍ර රන්දෙණිය, සංගීතා වීරරත්න, ඇන්ජලා සෙනෙවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, ඉන්ද්‍රජිත් නාවින්න, රත්නාවලී කැකුණාවල, දමිතා අබේරත්න, සමන් වීරසිංහ, එඩ්වඩ් ගුණවර්ධන කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සංගීතය – නවරත්න ගමගේ සංස්කරණය – එල්මෝ හැලිඩේ සම නිෂ්පාදනය – මහේෂ් පැස්කුවෙල්, අශෝක ගොඩකන්ද නිෂ්පාදනය, කැමරා අධ්‍යක්ෂණය හා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ කතාව - ලාල් දේවරත්න |