|
||
මාතලෙන් වේදිකාවට පෑයූ හේෂාන් සහ සුමුදු
මෙවර මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේ හොඳම නළුවා සහ නිළිය. පසුගිය දවසක මේ දෙදෙනාම සරසවියට පැමිණියා. මාතලේ සිට පැමිණි හේෂාන් - සුමුදු සරසවිය සමඟ කළ ඒ කෙටි පිළිසඳරයි මේ.
මුලින්ම මේ ලැබූ සම්මාන ගැන කියමු නේද? හේෂාන් - මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙල වෙනුවෙන් මා අධ්‍යක්ෂණය කළ ‘අන්තිම සාක්ෂිය’ නම් නාට්‍යයේ ජනනාත් මනරංජන නම් චරිතය වෙනුවෙන් තමයි මට මේ සම්මානය හිමි වුණේ. මේ වෙනුවෙන් මා ගොඩක් කැප වෙලා කටයුතු කළා. ඒ වෙනුවෙන් ලද මේ සම්මානය ගැන ගොඩක් සතුටුයි. සුමුදු - සිසිර කොඩිකාර අධ්‍යක්ෂණය කළ ‘තරු තිබුණු තැන නැත’ නාට්‍යයේ සමන්ති මැණිකේ චරිතය වෙනුවෙන් තමයි මට මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේ හොඳම නිළියට හිමි මේ සම්මානය ලැබුණේ. විවිධ දුෂ්කරතා තිබුණත් දැන් මට ඉදිරියට එන්න අවස්ථාව ලැබුණා. මේ ලද ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. එය තවත් දියුණු කර ගනිමින් ඉදිරියට යන්න ආසාවෙන් ඉන්නවා. පාසල් කාලයේ පටන්ම වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද? සුමුදු - මම අධ්‍යාපනය ලැබුවේ මාතලේ බණ්ඩාරපොළ මහා විද්‍යාලය සහ සංඝමිත්තා ජාතික පාසලෙන්. පාසල් කාලයේදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ප්‍රතිභා නාට්‍ය උළෙල, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා සහභාගි වුණා. මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලට සම්බන්ධ වුණේ ප්‍රථම වතාවටයි. කමල් පී. අලහකෝන් මහතා යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. දැන් මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය හදාරනවා. හේෂාන් - මම අධ්‍යාපනය ලැබුවේ මාතලේ විජය විද්‍යාලයෙන්. පාසලේදී දර්ශි පණ්ඩිතරත්න ගුරුතමිය යටතේත් ඊට පසු කමල් පී. අලහකෝන් මහතා යටතේත් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පාසලේදී වේදිකා නාට්‍ය සඳහා සහභාගි වුණා. ප්‍රතිභා කෙටි නාට්‍ය උළෙල, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා සහභාගි වෙන්නත් අවස්ථාව ලැබුණා. 2009 වසරේදී මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේදී කුසලතා සහතිකයක් හිමි වුණා. දැනට මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව බාහිර ඩිප්ලෝමාව හදාරමින් සිටිනවා. දෙදෙනාගේම ඉදිරි ගමන ගැනත් කියමු නේද? හේෂාන් - වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ ඉදිරියට යන්න තමයි එකම බලාපොරොත්තුව. රංගනය වගේම අධ්‍යක්ෂණය ගැනත් හොඳින් හදාරනවා. දෙඅංශයෙන්ම මගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්න උපරිම උත්සාහයෙන් කටයුතු කරනවා. ක්ෂේත්රයේ බොහෝ ප්‍රවීණයන්ගෙන් අපට හොඳ උපදෙස් ලැබෙනවා. කුඩා කාලේ පටන් ඇඟට දැනුනේ වේදිකාව තමයි. එකම අරමුණ අනාගතයේදී වේදිකාවේ විශේෂ යමක් කිරීමයි. සුමුදු - කලා ක්ෂේත්රයේ ඉදිරියට යන්න තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ. මේ දිනවල ඒ පිළිබඳ වැඩිදුරටත් හදාරනවා. රංගනයෙන් ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටවලටත් දායක වෙන්න කැමැත්තක් තියෙනවා. නමුත් වේදිකාවට තමයි මුල්තැන දෙන්නේ.
|
||