වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




රින්ගින් ටෝන් ගීත රචකයාට සාධාරණයක්

රින්ගින් ටෝන් ගීත රචකයාට සාධාරණයක්

‘ඔයා නිසා හඬලා’ පද හිමිකරු අයෝධ්‍ය ප්‍රනාන්දු

රොෂාන් ප්‍රනාන්දු ගයන මේ ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ගීතයක්. ගුවන් විදුලි නාලිකාවල වගේම ජංගම දුරකථන තුළිනුත් නිතර ඇසෙන මේ ගීතය ගීත ඉල්ලීම්වල පෙරමුණටම ඇවිත් තියෙනවා. මෙසේ සුන්දර ආදර කතාවක විරහව අපූරුවට පදවැලකට අමුණලා තියෙන්නේ ඔහු. ඔහු අයෝධ්‍ය ප්‍රනාන්දු. ඒ ගීතය විතරක් නොවෙයි, අයෝධ්‍ය අතින් තවත් බොහෝ ගී පද රචනා වෙලා තියෙනවා. ඒ වගේම යොවුන් ගායකයන් රැසක් ඔහුගේ ගීත නිසා අද ජනප්‍රිය වෙලා ඉන්නවා.

මේ ඒ සොඳුරු ගී පද රචකයා අයෝධ්‍ය ප්‍රනාන්දු සරසවිය හමු වූ මොහොතක්.

ඔබ ලියූ ගීත ජනප්‍රිය වීම ගැන අයෝධ්‍යට මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. නිර්මාණයේ සාර්ථකත්වය මා ඒ තුළින් දකිනවා. ගීත රචකයකුගේ බලාපොරොත්තුවත් එයමයි. ගීතයක් නිතර ඇහෙනවා වගේම ප්‍රසිද්ධ වෙනවා වගේම එහි හොඳ නරක, අඩුපාඩු ගැනත් කතා කරන්න පුළුවන්.

ඔබේ ගී පද රචනාවල ඉලක්කය රොෂාන් ප්‍රනාන්දු විතරමද?

නැහැ. රොෂාන් ප්‍රනාන්දු නිසා තමයි මුලින්ම මට මේ අවස්ථාව ලැබුණේ. රොෂානුයි මමයි එකම ගමේ. ඔහු තමා මුලින්ම මේ හැකියාව හඳුනා ගත්තේ. ඔහු හරහා තමයි ක්ෂේත්‍රයට පැමිණ මට තවත් අය හඳුනා ගන්න අවස්ථාව ලැබුණේ. මුලින්ම මම ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ කිංස්ලි පීරිස් ගායනා කරන ‘මලේ මටත් හිතයි කරන්න ආදරේ’ ගීතය රචනා කළේ. රොෂාන් තමයි එය සංගිතවත් කළේ. අලුත් අයගේ ගීත භාර ගන්න ගොඩක් අය අකැමැති වුණත් රොෂාන් එය අභියෝගයක් ලෙස හිතුවේ නැහැ. ඊට පසුව සමන්ත පෙරේරා, ගිහාන් නිෂාන්, සුනෙත් කැලුම්, රදිෂ් වැන්දබෝනා සමඟත් කටයුතු කළා. ඒ ඔස්සේ තවත් නිර්මාණ රැසක් කළා.

ඒ ගැනත් කියමු නේද?

පළමු ගිතයෙන් පසුව රොෂාන් ප්‍රනාන්දු ගායනා කරන ‘ඔබ මලක් සුවඳ මලක්’, ‘කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ’, සතිෂ් පෙරේරා ගායනා කරන ‘සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම’, චාමර වීරසිංහ ගායනා කරන ‘පෙර සංසාරේ පැතුමන්’, දමිත් අසංක ගායනා කරන ‘සඳ වී හදේ’, කේ. සුජීවා ගායනා කරන ‘ජාති භේද ඕනෙ නෑ’, දොන් ෂර්මන් ගයන ‘උඩරට මැණිකෙට’ වගේම තවත් ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගීත නිර්මාණය කරලා තියෙනවා.

කොහොමද මේ වගේ සිංදු ලියන්නේ? මේ ඔබේ අත්දැකිම්ද?

හැම එකක්ම නෙවෙයි. මගේ පෞද්ගලික අත්දැකීම් වගේම සමාජයේ විවිධ සිදුවීම් හිතවත් අයගේ අත්දැකීමුත් තියෙනවා. සමහර ගීත ගායකයාගේ කැමැත්ත අනුව රචනා කරන්නටත් සිදු වුණා. ගොඩක්ම විරහව ගැන තමයි ගීත නිර්මාණය කරන්නට අවස්ථාව ලැබුණේ. එවැනි ගීතවලට අද සමාජයේ වැඩි ඉල්ලුමක් තියෙනවා.

රින්ගින් ටෝන් අද සංගීත ලෝකයේ ප්‍රධාන භූමිකාවක්. මේ මඟින් පද රචකයාට අත්වන දේ ගැන ඔබේ අදහස?

රින්ගින් ටෝන් මඟින් ගීත රචකයාට සාධාරණයක් වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයට පෙර ගීත රචකයාට ආර්ථික වාසි හිමි වුණේ නැහැ. ගීතයක් ජනප්‍රිය වෙනවා වගේම රින්ගින් ටෝන් නිසා එම ජනප්‍රියත්වයට මූල්‍යමය වාසි හිමි වෙනවා. ඒ හරහා හැමෝටම එය නිත්‍යානුකූලව බෙදී යනවා. මේතෙක් කල් ලංකාවේ පද රචකයාගේ පැත්තෙන් එහෙම දෙයක් ඉටු වුණේ නැහැ. නමුත් වෙනත් රටවල හොඳ ස්ථාවරයක් හදා ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ තත්ත්වය තුළ මෙරට පද රචකයාටත් මේ තුළින් සාධාරණයක් ඉටු වෙනවා කියල කියන්න පුළුවන්. එය හැමෝටම සාධාරණයක් ඉටු කරනවා.

නමුත් ගායක ගායිකාවන් සජීවි ප්‍රසංගවල ගීත ගායනා කර ලක්ෂ ගණන් මුදල් හම්බ කරනවා. මේ මඟින් පද රචකයාට අසාධාරණයක් වෙනවා නේද?

සජීවි ප්‍රසංගවලදී ගායකයාට ඕනෑම වාර ගණනක් ගීතය ගායනා කරන්න පුළුවන්. එහිදී පද රචකයාට වාසියක් අත්වෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරන්නේ නැහැ. රින්ගින් ටෝන්වලදී පමණයි එය සාධාරණය වෙන්නේ.

මෙවැනි තත්ත්වයක් මත සමහරුන් ගිවිසුම් ඇති කර ගන්නා මට්ටමට පෙළඹිලා ඉන්නවා. ඒ ගැන ඔබේ අදහස?

‘ඔයා නිසා හඬලා’ ජනතාව අතරට ගියා. මං මුලින්ම ගීත ලිව්වේ 98 දී විතර. මේ කාලය දක්වා විවිධ ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත රචනා කළා. ඒවා ජනප්‍රිය ගීත බවට පත් වෙලා තියෙනවා. ඒ අතර ලංකාවේ නව පරපුරේ ජනප්‍රිය ගායකයන්ට ගීත රචනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම රොෂාන් ප්‍රනාන්දුගේ, කේ. සුජීවාගේ පළමු ගීත එකතුවන් සඳහා වගේම සතිෂ් පෙරේරාගේ ස්වනිර්මාණ ඇතුළත් පළමු ගී එකතුව සඳහාත් මගේ ගීත ඇතුළත් වුණා. දොන් ෂර්මන්ගේ ප්‍රසංග සඳහා ගීත රචනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ගිවිසුම්වලට වඩා මට ලැබුණ ඒ අවස්ථා සුවිශේෂයි.

කලා ක්ෂේත්‍රයේ මේ දක්වා පැමිණි ගමන ගැන අයෝධ්‍යට මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රයට ආවේ අසීරු යුගයක. නමුත් එය බාධාවක් වුණේ නැහැ. මාධ්‍ය වගේම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ හොඳ සහයෝගයක් ලැබුණා. වසන්ත දුක්ගන්නාරාළ, කැලුම් ශ්‍රීමාල්, සංගීත් විජේසූරිය, නිල්වලා ආයතනය ගොඩක් උදව් කළා. ඇත්තටම මං අසීරු ගමනක් ආවේ නැහැ. රොෂාන් සමඟ තිබූ හිතවත්කම ඔහුගේ සහයෝගය සමඟින් මට නිදහසේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණා. ඒ වගේමයි ඉදිරියට ක්ෂේත්‍රයට එන අලුත් අයටත් මම මට හැකි අයුරින් සහයෝගය ලබා දෙනවා.

ගීත නිර්මාණවලට අමතරව ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට ක්ෂේත්‍රය පැත්තට යොමු වෙන්න අදහසක් එහෙම නැද්ද?

පාසල් කාලයේදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතුªª කළා. ඒ සඳහා පිටපත් රචනා කළා. පසුව ඒ සඳහා වැඩමුළුවලට පවා සහභාගි වුණා. යෞවන, රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් වුණා. මේ මඟින් විවිධ පළාත්වල අත්දැකීම් ලබන්නට අවස්ථාව ලැබුණා. දැනටත් පිටපත් රචනය සඳහා යොමු වෙන්න කැමැතියි. පොල් පර්යේෂණ ආයතනයේ රැකියාව සමඟින් ඒ සඳහා යොමු වෙන්නට කාලය බාධාවක් වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී ටෙලි නාට්‍ය පිටපතක් රචනා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. රොෂාන් ප්‍රනාන්දුගේ ජීවිත කතාව ඇසුරින් ‘සුදු මල් හැඬුවා’ නම් නවකතාව එළි දැක්වූවා. ඉදිරියේදී ලැබෙන අවස්ථාවන් අනුව මා අතින් නව නිර්මාණ බිහිවේවි.

අයෝධ්‍යගේ පවුලේ විස්තර ගැනත් කියමු නේද?

මගේ බිරිඳ තරුෂි. පවුලේ එකම දරුවා මම. අම්මා ඇනට් ප්‍රනාන්දු. තාත්තා හර්මන් ප්‍රනාන්දු. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. මගේ අම්මා තමයි මේ හැම දේම පිටුපස හිටියේ. අධ්‍යාපනයෙන් ඉදිරියට යවන්න ඇය ගොඩක් මහන්සි වුණා. ඒ වගේමයි මට මේ නිර්මාණ හැකියාව ලැබුණෙත් මගේ අම්මාගෙන් තමයි.

ළඟදීම එළිදකින්නට සූදානම් ගීත එහෙමත් ඇති නේද?

ග්ලැක්සීස් සංගීත කණ්ඩායමේ අජිත් පෙරේරා ගයන ‘හිනැහෙන්න දුන් වරම්’, චන්දන ලියනආරච්චි ගායනා කරන ‘මුළු ලොවට හොරෙන් නුඹට පෙම් කළා’ ගීතය වගේම අමල් පෙරේරා ගයන ‘මම තරුවක් ගාව නැවතිලා’ ගීත අසන්න ලැබේවි. ඒ වගේම සංගීත් විජේසූරියගේ අලුත් ගීත එකතුවක් සඳහා ඉන්දීය සංගීතවේදී රවීන් රාම්ජි සමඟ වැඩ කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ ගැන සතුටුයි. මිට අමතරව මගේම ගීත රචනා පොතක් එළි දක්වන්නට බලාපාරොත්තු වෙනවා. මෙතෙක් බිහිවුණ සාමාන්‍ය ගීත රචනා කෘතියකට වඩා එය වෙනස් වේවි.

අයෝධ්‍ය ප්‍රනාන්දු - 0777893509