|
|
||||
50 ස්වර්ණ ජයන්තිය අබිමුව
නිසදැසට සදැස් විරෝධයසරසවිය හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් වික්‍රමසිංහ
පසුගිය සතියෙන් ....
මා හට එහිදී බොහෝ විට බාර වූයේ පුවත්පතේ වැඩ කටයුතුය. සාමුහිකව කවුරුත් කර්තෘ මණ්ඩලයේ වැඩ බෙදා ගෙන කිරීම සිරිතක් විය. ඒ සියලු වැඩ කටයුතුවල අධීක්ෂණයන් සිදු වූයේ විමලසිරි පෙරේරාට අවශ්‍ය අයුරිනි. නවසිය හැටේ දශකය අග භාගයේ හැත්තෑව දශකයේ මුල් භාගයේ සරසවිය සම්මාන උළෙල සංවිධානය වූ ආකාරය මගේ මතකයට නැඟේ. සම්මාන උළෙලේ පෙර පුහුණුවීම් බොහෝ විට පැවතුණේ නව රඟහලේ, එල්ෆින්ස්ටන් රඟහලේ හෝ රීගල් සිනමා ශාලාවේය. බොහෝ විට මේ සඳහා දායක වූයේ එවක සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතාය. ලේක්හවුස් ආයතනයේ සාමුහික ප්‍රයත්නය සඳහා කාගෙනුත් සහයෝගයක් ලැබිණි. දිනක් පුහුණුවීම්වලදී අමරදේවයන්ගේ සරස්වතී ගීතයට නිසි ආකාරයේ දායකත්වයක් අන් අයගෙන් නොලැබුණ හේතුව මත රිහසල් නතර කල බවද, උළෙලේ අංගයන් සඳහා අනෙකුත් විචිත්‍ර අංග නිසි ලෙස සකසා නොතිබුණු බවද ආදී වශයෙන් විමලසිරි වෙත චෝදනා ගලා ආවද ඒ සැමට නොබියව මුහුණ දෙමින් අවසන් සම්මාන රාත්‍රිය විචිත්‍රවත් කිරීමට විමලසිරි මහතා කළ කැප කිරීම සුවිශේෂ විය. සරස්වතී අභිනන්දන පූජාව පවත්වමින් පහන්සිලු අතැතිව සරස්වතී දේවි පිළිරුව අභියස නාට්‍යාංගනාවන් පෙළහර පාද්දී අමරදේවයන් මධුර හඬින් සරස්වතී ගීතය ගායනා කරන මොහොත් අප කැන්දා ගෙන ගියේ අමුතුම ලෝකයකටය. මහා බරක් ඔලුවේ තබාගෙන සරසවිය සම්මාන උළෙල සංවිධාන කටයුතු කළ අපට මේ ගීත ඛණ්ඩය කණ වැකෙන විට සිත ගතට ආවේ පුදුම ආශ්වාදයකි. ඒ ගීතයෙන් මා ලැබූ වින්දනය වචනයට පෙරළිය නොහැකිය. නූටාන්, මීනා කුමාරි ශෂිකලා ෆිල්ම් ෆෙයාර් කර්තෘ කරංජියා ආදීන් සම්මාන උළෙල වෙනුවෙන් ගෙන්වා ගැනිීම ගැන මෙරට සමහර නළු නිළියන් තුළ තිබුණේ අප්‍රසාදයකි. සමහරු අකමැති වුණද තව කොටසක් එයට කැමති විය. මෙවැනි කටයුතුවලින් එකිනෙකා අතර සුහදත්වය ඇතිවීමට ලොකු ශක්තියක් විය. ඉන්දියානු නළු නිළි සාකච්ඡාවට ගියේ මාත් ආර්. ඩී.ත්ය. සරසවිය පුවත්පතේ පිටු සැකසීම දින දෙකක් පුරා පැවතුණි. ලේක්හවුස් කාර්මික අංශයේ සරසවිය පත්තරයේ එවකට පිටු හදන බාස්වරු සමග සුහදත්වයෙන් කටයුතු කිරීම ද අප තුළ තිබූ තවත් ගුණාංගයක් විය. සරසවිය භාරව තිබුණේ කර්තේලිස් බාස්ටය. සිළුමිණ භාරව තිබුණේ රෝගුස් බාස්ටය. සිල්වා අතින් හෙඩින්වල බ්ලොක් කැපීම සිදු කෙරිණි. ඇතැම් අවස්ථාවල හෙඩිමක් වෙනස් කළ විට සිල්වා අපිට දෙස් දොවාල් තියන්න පටන් ගනී. ඒ අප සමඟ තරහට නොව එම කාර්යයේ තිබෙන අපහසුතාවය නිසාය. සරසවියේ වැඩවලදී කර්තේලිස් බාස්ට, රෝගුස් බාස්ගෙන්ද සපෝට් එකක් ලැබුණේ පත්තරයේ විශේෂ අතිරේක අවස්ථාවලදීය. ඔවුන් පුවත්පතේ යම් යම් දේවල් හදිසියේ වෙනස් කරන්න යාමේදී ගාණක් ඕනේ යැයි තම කර්තව්‍යය අගය කරති.
අපි ද වැඩ කටයුත්ත යාප්පුවෙන් කර ගනිමු. සමහර අවස්ථාවල කීයක් හෝ ඔවුන් අතේ තැබීමට ද අපි මැලි නොවෙමු. සමහරු ඉක්මනින් කර දීමට නම් සැර බීම ටිකක් ලැබුණොත් හොඳ යයි පවසයි. සතියකට වරක් පළ වන පුවත්පත්වලට වඩා දිනපතා පල වන දිනමිණ, ඩේලිනිව්ස් ආදී පුවත්පත් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ඔවුනට සිදු වෙයි. නිමල් පෙරේරා අපගේ ඡායාරූප කර්තෘවරයා විය. මා ඔහුත් සමඟ නිතර පත්තරයේ හරය පිළිබඳ සාකච්ඡා කළෙමු. සරසවිය පත්තරයේ පළ වූ සෑම ඡායාරූපයක්ම පාහේ තෝරනු ලැබුවේ නිමල් පෙරේරාය. විශේෂයෙන් මුල් පිටුවේ ඡායාරූප පල කිරීමේදී ඔහුගෙන් ලැබුණේ ද සුවිශේෂ දායකත්වයකි. එවක ලේක්හවුස් සභාපතිවරයා වූ රංජිත් විජයවර්ධන මහතා කිසි විටෙකත් පත්තරයේ තම පින්තූරය පල වනවාට කැමති නොවීය. එසේ සිදු කළහොත් එය වැරැද්දක් ලෙස දඬුවම් ලැබීමට ද තමන් සූදානම්ව සිටිය යුතු විය. නළු නිළි ක්‍රිකට් තරඟයන් ද අපි සංවිධානය කළෙමු. පත්තරය හරහා නළු නිළියන් ජනප්‍රිය වීම සඳහා ප්‍රචාරයක් දෙන අතරේ ඔවුන්ගේ ජනප්‍රියත්වය හරහා සමාජයට සේවයක් ලබා ගැනීමටත් අපි උත්සාහ කළෙමු. නළු නිළියන් සම්බන්ධ කර ගනිමින් ගංවතුර ආධාර එකතු කිරීම මෙවැන්නකට හොඳම උදාහරණයකි. විමලසිරි පෙරේරා සමඟ නිතර කතා කිරීමේදී මට ඔහුගේ අදහස් උදහස් සිතුම් පැතුම් ආදිය හොඳින් තේරුම් ගැනීමට හැකි විය. ඒ අදහස් උදහස් අනුව මම පත්තරයේ සංස්කරණ කටයුතු සිදු කළෙමි. අපි අවංක විය යුතුයි. නිහතමානී විය යුතුයි. කාටත් අඩු වැඩි නොවන අයුරින් ප්‍රචාරයක් ලබා දිය යුතුයි . විමලසිරි මට කියූ දෙයකි. සමහරු විමලසිරි පෙරේරා ළඟට විත් ලිපි බාර දුන්නේය. ඔවුන් සතුටු කිරීමට ඒ වෙලාවේ එම ලිපි භාර ගන්නා විමලසිරි ඔහු ගිය පසු එම ලිපි මා අත තබනුයේ හොඳ නම් විතරක් පල කරන්න යනුවෙනි. කවුරුවත් අපහසුවට පත් නොවන ලෙසින් අනවශ්‍ය ප්‍රචාරයක් නොවන අයුරින් තීන්දු තීරණ ගැනීමට මට නිතර බල කළේ විමලසිරි පෙරේරාය. කොටුවේ නැෂනල් රෙස්ටොරන්ට් හා ලෝඩ් ආපන ශාලාව, රෝහල් වීදියේ යාපනයේ ආපන ශාලාව අපි කෑමට බීමට යන ස්ථාන විය. ඒ අවධියේ පුවත්පත් කලාවේදීන්ගෙන් බහුතරයක් දැවැන්තයෝ ද ඇතුළුව මධු පානය අත්‍යාවශ්‍ය චර්යාවක් බවට පත්කර ගෙන සිටියහ. පුවත්පත් කලාවේදියෙක් වීමට අත්‍යාවශ්‍ය සුදුසුකමක් ලෙස මධු පානය පිළිගැනීමට තරම් මෙම සිරිත ඔවුන් අතර ප්‍රචලිත විය. විමලසිරි පෙරේරා මධු පානයෙන් තොර විය. සමහර විටෙක ඉඳහිට මත්පැන් ගත් මා වැනි තරුණයෙක් එවැන්නකට ඇබ්බැහි වීම වැළැක්වීමට මට අවවාද පවා ලබා දුන්නේ එයින් මා විනාශයක් කර ගනීය යන පවිත්‍ර අදහසිනි. සරසවිය පත්තරයේ සෑහෙන පිරිසක් ප්‍රධාන කර්තෘවරයා අනුගමනය කරමින් මධු පානයෙන් වැළකී සිටියහ. කර්තෘ මණ්ඩලයේ ඇතැම් සමාජිකයන් යම් යම් අවස්ථාවල මත්පැනට තදින් ඇබ්බැහි වීම නිසා රාජකාරි අතපසු කර විමලසිරිගෙන් බැනුම් ඇසූ අවස්ථා ද මේ අතර නැතුවා නොවේ. විමලසිරි පෙරේරා මහතා අගනුවර තරුණ කවි සමාජයේ පිළිගැනීමට ලක් වී සිටි නායකයකු වූ බැවින් කවි පිටුව සදැස් කවි සඳහා ප්‍රධාන තැනක් ලබා දී තිබුණි. ඔය අතරේ මම එහි නිසදැස් කවි ද පළ කළෙමි. එයට සමහර සදැස් කවියන් විරෝධය පල කළ අවස්ථාද තිබුණි. මා මෙවැන්නක් කළේ සරසවියට පත්වීම් ලබා කලක් ගත වූවාට පසුවය. ඒ වන විට විමලසිරි පෙරේරා මහතාත් මාත් අතර දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබූ කාල වකවානුවක් විය. එසේ මා කළේ කවි පිටුවට විවිධත්වයක් ගෙන ඒමට විනා සදැස් කවියට නිසදැස් කවියෙන් අභියෝග කිරීමට නොවේ.
පේරාදෙණිය ගුරු කුලය මඟින් කොළඹ කවි සම්ප්‍රදාය අල්පකරණය කිරීම නොඉවසූ විමලසිරි පෙරේරා තුළ නිසදැස් සඳහා ව්‍යාකූල බවක් හට ගැනීමට හේතුව වූයේ මෙම මත ගැටුම බව පසක් කර ගෙන තිබිණි. කෙතරම් මත ගැටුම් තිබුණ ද සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටය ප්‍රදර්ශනය වූවාට පසු ඔහු හමු වී මා මීට විශේෂාංග ලිපියක් පවා සකස් කර සරසවියේ පල කිරීමට භාර දුන්නේ ද විමලසිරි පෙරේරා මහතාය. සරසවිය ක්‍රම ක්‍රමයෙක් සතිපතා අලෙවිය වැඩි විය. හැත්තෑව දශකය වන විට විශාල අලෙවියක් පුවත්පතට ඇති වී තිබුණි. මට මතක හැටියට හැත්තෑ තුනේදී පමණ සරසවිය ලක්ෂය ඉක්මවා අලෙවි විය. එය සරසවියේ අපි හැමෝටම ආඩම්බරයට කාරණයක් විය. මේ නිමිත්තෙන් අපි හැමෝටම විමලසිරි පෙරේරා මහතාගේ නිවෙසේ භෝජන සංග්‍රහයක් ද ලැබිණි. එදා සරසවිය ලක්ෂය ඉක්ම වූ විට මගේ මතකයේ හැටියට එක් ලක්ෂ දස දහසකින් හෝ විසි දහසකින් පිටපත් සීමා කළ යුතු බව නිෂ්පාදන අංශය අපට දන්වා සිටියේය. එසේ සීමා නොකළහොත් ඊට වඩා අධික පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට යාමේදී විශාල පාඩුවක් සිදු වන බව අපට පැවසූ හෙයින් ඉල්ලුම තිබුණ ද එය නිෂ්පාදන අංශයේ සීමාව ඉක්ම නොවීමට කටයුතු කළෙමු. 1974 දී මා ලේක්හවුස් ආයතනයෙන් ඉවත් විය. එදා මා සරසවියෙන් යනවාට විමලසිරි පෙරේරා කොහෙත්ම කැමති වූයේ නැත. සිවිල් සේවයට බැඳීමේ ලොකුආශාවක් මට තිබිණි. ඒ අශාව නිසාමත් මා හට වැඩි වැටුපක් ලැබීමත් ඊට හේතු විය. මුලින්ම මා මැණික් සංස්ථාවේ ප්‍රචාරක නිලධාරියෙක් ලෙසින් වැඩ කටයුතුª කිරීම සඳහා ලේක්හවුස් ආයතනයෙන් සමු ගතිමි. ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් සේවයේ රාජකාරී සඳහා මා සම්බන්ධ වීමි. ලේක්හවුස් ආයතනයෙන් ඉවත්වීමත් සමඟ මා ඇසුරු කළ බොහෝ කලාකරුවන්ගෙන් ඈත් වන්නට මට සිදු වූයේ විදේශ ගතවීමට සිදුවීමත් නිසාය. එදා සරසවිය මැහුම් ගෙතුම්වලින්, ජ්‍යෝතිෂයෙන්, ළමා පිටුවෙන් මේ හැමෝගෙන්ම පිරි පුවත්පතක් විය. මේ සියල්ලන්ගෙන්ම පිරි සරසවිය සරසවියක් කිරීමට හැකි වූයේ එහි වැඩ කළ කවුරුත් සහෝදරයන් සේ වැඩ කිරීම නිසා යැයි මට හැඟේ. මම සරසවියේ ගත කළ කාලය තුළ ජීවිතය පිළිබඳ විශාල අත්දැකීම සම්භාරයක් ලැබුවෙමි. නොයෙක් ජන කොට්ඨාශයන් සමඟ වැඩ කිරීම, විවිධ සමාජ තලයන් හි වෙසෙන පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමෙන් මා මගේ ජීවිතයට ලබා ගත්තේ අමකක කළ නොහැකි ජීවිත අත්දැකීම් සමුදායකි. එදා මට ජීවන ගමනේ සරසවියක් වූ සරසවිය පුවත්පත චිරාත් කාලයක් වැජඹේවායි ප්‍රාර්ථනය කරමි.
|
||||



මා හට සරසවිය සම්මාන
උළෙලකට සහභාගි වීමට
ලැබෙන්නේ දෙවැනි සරසවිය
සම්මාන උළෙල පටන්ය.
ලේක්හවුස් ආයතනයේ
පුවත්පත්වල සහෝදර කතුවරුන්ගේ
දැන්වීම් හා බෙදා හැරීම් අංශවල ප්‍රධානීන්ගේ එකමුතුවෙන් සංවිධානය වන
සරසවිය සම්මාන උළෙල සඳහා මාස දෙක
තුනක පටන් සූදානම් වෙති. 
