|
|
මම ද 'ස' පිපාසයෙන් පෙලුණෙමි
මීන නුවන් යුගින් රත්නායකයන් කලකට ඉහත යාපනයේ වීරසිංහම් ශාලාවේ දී ගයනු මම සිතින් මවා ගත්තෙමි.මේ ලිපිය ලියන්නට මා මුල පුරනුයේ වෙනදා මෙන් කොළඹ දී නොවේ. එයට වඩා බෙහෙවින් දුර යාපනයේ සිටය. වික්ටර් රත්නායකයන් ද නිරංජලා සරෝජනී ද එකල මේ ගීයට මුල පුරනු මම අසා ඇත්තෙමි.දශක තුනක් ඇදී ගිය යුද්ධය මගින් බිඳ වැටුණු ලෝකය ට පෙරාතුව මේ ගිය ඇසූ යාපනයේ සිටි බොහෝ දෙනා එයට වසඟවූයේ යැයි මම අසා ඇත්තෙමි.
නමින් එය සරුංගලයයි.තැනුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයයි.හිටපු සරසවිය කතුවර තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් රචනා කරන ලද එම ගීතය ඇරඹෙනුයේ ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි යනුවෙනි. මේ සා දුර සිට ඒ ගී මට සිහියට නැඟෙනුයේ ඇයි? වික්ටර් රත්නායකයන් සිය ස ප්‍රසංගය අතරමග නවතාලන්නේ යැයි යන තීරණයදැනෙනා විටය.ලොව කිසිවක් නිත්‍ය නැති බව ඇත්තය.මෙයට පෙර ලොව පැවැති බොහෝ ප්‍රසංගයන් අතරමග නතරව ඇත.මෙරට වැජඹුණු බොහෝ ප්‍රසංග ද නතර වු බව ඇත්තය.එහෙත් වසර 39 ක් අඛන්ඩව පවත්වා ගෙන යන ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ලොව තිබිණදැයි මම නොදනිමි. ස නතර වනුයේ එයට ඇති ඉල්ලුම අඩු විමෙන් වත් එය කල් ඉකුත් වී නම් නොවේ. සැබැවින් ම ස යනු නොව පැරණි වන රමණී වර්ගයේ ප්‍රසංගයකි.එක් අතකින් අද බහුතරය ඇසෙන තුප්පහි ගීත නිර්මාණ වෙනුවට හොඳ රසඥතාවක් ඇති පිරිසක් මෙරට ඇති බැව් පෙන්වා දිය හැකි එක් අවස්ථාවක් වනුයේ ස ප්‍රසංගයයි. එය නතර කරලීමට වික්ටර් රත්නායකයන් තීරණය ගනුයේ එය අත්‍යවශයය සමයක බැව් පමණක් සටහන් කරලීමට මම කැමැත්තෙමි.එහෙත් වික්ටර් ගේ තීරණයට මා එකග එය වෙනත් බොහෝ දෙනාට පූර්වාදර්ශයක් වන බැවිනි.වික්ටර් රත්නායකයන්ට තවමත් හොඳ අපූරුවට තොටුපල අයිනේ හෝ හෝපළු වන පෙත ගයන්නට හැක. එහෙත් තමා විසින්ම බිහි කළ ගී තමන් විසින් ම වයසත් සමග අනුභව කරන ගායකයන් සිටිනා ලොවක වික්ටර් කාලයට ඉඩ දී එසේ ස්වයං සමුගැන්මක යෙදීම වෙනත් බොහෝ දෙනෙකුට පූර්වාදර්ශයක් වන්නේමය. මට ස ප්‍රසංගය පිළිබඳ මුල්ම අත්දැකිම ඇත්තේ ඉතා බාල වියේදීය. මා ස නම් ප්‍රසංගයක් තිබෙන බවත් වික්ටර් රත්නායක නම් ගායකයකු විසින් එහි ගී ගයන බවත් මුල් වරට අසා දැන ගත්තේ මුල්ම යුගයේ එය නැරඹූ මගේ නැන්දනියකගෙනි. ඒ දවස්වල මා සිටියේ ගමේ පාසලේ සිව් වන පංතියේ විය යුතුය. ඇය අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ ඉගෙනුම ලැබුවාය.ඇය ස ගැන අනේක විධ විස්තරයක් කළාය.ගීත කොයි හැටි වෙතත් මගේ සිත ඇදී ගියේ වික්ටර් රත්නායකයන් දෙව්රම් වෙහෙරේ ගීතය ගයද්දී බුදු රජානන් වහන්සේගේ හස්තය තිරයේ මැවෙනවායැයි කී කතාවටය.කෙසේ වෙතත් මට වුවමනා පරිදි ඒ ගැන කියන්නට ඇය අපොහොසත් වූයෙන් මා සිතුවේ ඇය පට්ටපල් ගජබින්නයක් අත අරින බවටය.ඇරත් ගීතයක් ගැයෙද්දී බුදු රජානන් වහන්සේ ගේ හස්තය මැවෙන්නේ කෙසේ ද? එය මට වටහා ගත නොහැකි දෙයක් විය. එහෙත් ඇය පැවසූ වික්ටර් ගේ ගී රසය මා මුලින් අවබෝධ කර ගත්තේ මඩොල්දූව චිත්‍රපටයට ඔහු ගැයූ කොහේද කොහේද අපේ ලොවක් ගීතය සමගය. එමෙන්ම එයින් වසර කිහිපයක් ගත වද්දී නැන්දනිය බොරු නොකිව් වග මා වටහා ගත්තේ ස ප්‍රසංගය නැරඹීමේ අවස්ථාව මුල් වරට උදා වූ හෙයිනි. ඒ වන විට මම කොළඹ ආනන්දයේ සිසුවකු වීමි.ප්‍රසංගය පැවැත්වූයේ ආනන්දයේ කුලරත්න ශාලාවේය. එහි විශේෂත්වයක් තිබුනේ එදා එහි ගැයුණු ගී සියල්ල ආදි ආනන්දියන් විසින් රචනා කර තිබීමය. දයානන්ද ගුණවර්ධන,බණ්ඩාර කේ.විජයතුංග,ප්‍රේමකීර්ති ද අල්විස්,කුලරත්න ආරියවංශ, වැනි කීර්තිමත් ආදි ආනන්දියන් රචනා කළ ගී රැසක් එදා වික්ටර් රත්නායකයන් විසින් ගයනු ලැබිණ.නැන්දනිය පැවසූ පරිදි දෙව්රම් වෙහෙරේ ගීතය ගැයෙද්දී බුදු රජානන්ගේ හස්තය මැවෙන අයුරු එදා මම දැක ගතිමි. එවර ස ප්‍රසංගයේ සමරු කලාපයේ අකුරු සිත්තම් කළේ තවත් ආදි සිසුවකු වූ ඒ.ඩී.රන්ජිත් කුමාර යන්ය. කෙසේ හෝ වේවා ස නැරඹු අප ස පිපාසයෙන් පෙලෙන්නට ගති.සැබැවින්ම සුභාවිත ගීතය අප සිත් තුළට කේන්ද්‍ර ගත වන්නට ස මහත් බලපෑමක් කළේය යන්න මගේ විශ්වාසයයි.මේ අවදිය අප ළමාවියෙන් ගැටවරවියට එළැඹෙමින් තිබුණ අවදියයි.ස අපේ බොහෝ දෙනාගේ විලාසිතාවක් වන්නට පටන් ගත්තේය. වික්ටර් රත්නායකයන් මෙන් කොණ්ඩය වවන්නට ගිය අපේ ඇතැම් සගයෙකට පාසල් නීතිය නිසාම ඒ විලාසිතාව තහනම් වී සෙස්සන්ගේ සමච්චලයට ලක් වන්නට සිදු විය.අද මෙන් එස්.එම්.එස් සෙල් ලිපි නොමැති එකල අපේ කොල්ලන් මුල් වතාවට පෙම් හසුන් වල ගී උපුටන ලීවේ වික්ටර් රත්නායකයන්ගේ හෝ මිල්ටන් මල්ලවආරච්චි ගේ ගීතයන්ය. මේ අතරින් ද වික්ටර් ගේ ගී හුදු ජනප්‍රියත්වය ඉක්මවා ලූ සුභාවිත ලකුණු පළ කළෙන් අපේ රස විනිස වැඩූ බොහෝ ගුරු මව්පියවරු අපට අනුබල දුන්නේ වික්ටර් රත්නායකයන් ශ්‍රවණය කරන්නටය.අධ්‍යාපන චාරිකාවක වික්ටර් ගේ ගී ගායනයක් අනිවාර්ය අංගයක් විය.වික්ටර් යනු අපේ කාලයේ ජනප්‍රිය සුභාවිත ගීතයේ ලකුණ විය.සිනමාව පිළිබඳ මගේ අවධානය වැඩිවත්ම මා වික්ටර් රත්නායකයන්ට වඩාත් ඇලුම් කළේ ඔහු නිර්මාණය කළ චිත්‍රපට ගී බහුතරය නිසාවෙනි.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වික්ටර් ට කෙතරම් ඇළුම් කළේ ද යත් ඔහුගේ කාමරයේ ද වික්ටර් ගේ ඡායාරූපයක් විය. පසුකලක මම වික්ටර් රත්නායකයන් ළඟ සංගීතය ඉගෙන ගන්නට ගියෙමි. ජීවිතේටම සෘතියට ගී ගයන්නට මට නොහැකි වග වික්ටර් රත්නායකයන් අවබෝධ කර දුන් හෙයින් ගී ගැයීම පැත්තකට දමා මම ගෙදර ගියෙමි. එහෙත් පසුකලක ස පිළිබඳ මගේ දැනුම් පොත පිරෙන්නට පටන් ගත්තේ ස පිපාසයෙන් පෙලුණ කෙනෙකු මගේ සමීප හිතවතකු බවට පත් වූ පසුය.ඔහු ආනන්ද බස්නායකය. එකල කලාකරුවන් නිතර රැස්වන තැනක් වූ කොල්ලුපිටියේ තිබුන ඩ්‍රෙස්සෙන්ස් ආයතනයේ හිමිකරුව සිටි ආනන්ද අය්යා ස පිපාසයෙන් කෙතරම් පෙලුනේ ද යත් ප්‍රසංගය පැවැත්වෙන බොහෝ තැන් කරා ගොස් තිබුණේ ස පිරිවර සමගය.ඒ ව්‍යාපාරික කටයුතු ද තරමකට අමතක කරලමිනි.ස පිළිබඳ බොහෝ රසකතා මා දැන ගත්තේ ඔහුගෙනි. කෙසේ වෙතත් වසර 39 ක් පුරා පැවැතුන ස නතර කරලන්නට වික්ටර් රත්නායකයන් තීරණය කොට අවසන්ය. පසුගිය 30 වැනිදා මම මහරගම යොවුන් රගහලේ දී නැවතත් ස නැරඹුවෙමි.ස නැවතත් අලුතව තිබිණ.වික්ටර් රත්නායකයන් රසිකයකුගේ ඉල්ලීමට ගොළු මුහුදේ මුතු ඇටේ ගීතයේ පද කිහිපයක් ගායනා කළේය. කිහිප විටක්ම ස නරඹා තිබූ මම මෙවර එය නරඹා නික්ම ගියේ වෙනදාමෙන්ම මහත් ප්‍රහර්ශයෙනි.එහෙත් කියා ගත නොහැකි දුකක් වැනි යමක් මසිත පෙළන්නට පටන් ගනී.වික්ටර් ගේ ස සමග නතරවනුයේ පොදුවේ ගත් කළ අපේ හොඳ ගීතය පිළිබඳ ඉතිහාස කතාවක් බව ඇත්තය.එයටත් වඩා අපේ ළමා වියේ ද ගැටවර වියේ ද හැඟිම් එකිනෙක පෑහූ මතක මංපෙතක් අහිමි වන්නට පටන් ගෙන තිබේ .එය අපේ මැදි විය දක්වාම සිහින් හුයක් මෙන් ඇදී ගොස් ඇත්තේය.ඒ මතක මංපෙත අපේ මතකයේ සදාකාලික එක් පිටුවක් ඉතුරු කර ඇත.
|



මම තල් රුප්පාවක සෙවන ලබමින් යළි ගීතය මනසට රුවා ගනිමි. වික්ටර් රත්නායකයන්ගේ මියුරු
ස්වරයෙන් අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජනී ගයන ගීයක් එමෙන්ම හොඳීන් මා මනසේ
මැවෙන්නේ ගාමිණී ෆොන්සේකා සහ වීණා ජයකොඩි සමගය.