වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




කන්දක් බහින්න නම් නගින්න ම ඕනෑ යැයි ගාමිණී ෆොන්සේකාට උපදෙස් දුන් හියුගෝ මාස්ටර්

කන්දක් බහින්න නම් නගින්න ම ඕනෑ යැයි ගාමිණී ෆොන්සේකාට උපදෙස් දුන් හියුගෝ මාස්ටර්

ජන්ම ශත සංවත්සරය

මුල්ම සිංහල චිත්‍රපටය කවරේදැයි විමසූ කළ එය කඩවුණ පොරොන්දුවයැයි නොකියා රාජකීය වික්‍රමය හෝ පළිගැනීම යැයි නම් කරන්නෙකුට එරෙහිව ඉතිහාසය විකෘති කළේයැයි නඩු පැවරිය නොහැක්කේය. එයට හේතුව එම චිත්‍රපට ද්විත්වයම එයට පෙර තිර ගත කළ බවට සාධක සොයා ගත හැකි බැවිනි.එහෙත් එහිදී මුල්ම සිංහල චිත්‍රපට ගීත රචකයා කවරෙකුදැයි විමසූ කළ එයට දිය හැකි එකම පිළිතුර නම් ඔහු කේ.හියුගෝ ප්‍රනාන්දු බවයි.

ඒ පිලිබඳ කිසිදු විවාදයක් නැත්තේ කඩවුණ පොරොන්දුව ට පෙර නිපද විණියැයි සැලකෙන් චිත්‍රපට ද්විත්වයම නිහඬ චිත්‍රපට ගොන්නෙහිලා ගණනය කළ හැකි බැවිනි. මුල්ම සිංහල චිත්‍රපට ගීත රචකයා මෙන්ම කඩවුණ පොරොන්දුව චිත්‍රපටයට සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා ගීතයට රුක්මණී දේවිය සමග ගායනයෙන් ද එහිම චෙට්ටියාර් ගේ චරිතය රඟමින් රංගනයට ද පිවිසි හෙතෙම එහි ම සංගීතය මෙහෙය වූ නාරායන අය්යර් ට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වූයේය.

එපමනක් නොව ඔහු බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා විය.ඒ අනුව ඔහු මෙරට චිත්‍රාගාරයක තැණුන මුල්ම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වන්නේය.ප්‍රේම තරගය චිත්‍රපටයේ දෙබස් රචකයා ඔහුය.පුදුම ලේලි ච්ත්‍රපටයේ කතා රචකයා ද ඔහුය.පිටිසර කෙල්ල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ද ඔහුය.එක් අතකින් ඔහු නාට්‍යකරුවකු ද වන්නේ 1950 වසරේ ගැහැනු හිත නාට්‍යයේ නිර්මාණකරුවා ඔහු බැවිනි.හියුගෝ මාස්ටර් යනුවෙන් සියල්ලන්ගේ ආදරයට පාත්‍රව ජීවත්ව සිටි ඔහු අද ජීවත් ව සිටියා නම් මේ සෙනසුරාදාට අති විශාල සාදයක් ලැහැස්ති වනු නොඅනුමානය.එයට හේතුව නම් මෙම ජූලි 14 වැනිදා ට ඔහු ට සිය වස සපිරෙන බැවිනි. සිනමාවේ පුරෝගාමි මහ මෙහෙවරක යෙදුන මේ මහා පුරුෂයාගේ ජීවිතය සියල්ලන්ගේ ආදර්ශයට ගත යුතු අන්දමේ එකකි

ඔහු උපන්නේ මීගමුවේ පෙරියමුල්ලේ දිළිඳු පවුලක වැඩිමහල් දරුවා හැටියටය.1912 වසරේ ජූලි 14 වැනි දින ශාන්ත ඌගෝ මුනිවරයාගේ පල්ලියේ දේව මංගල්‍ය බැවින් අලුත උපන් දරුවාට එකී මුනිවරයාගේ නම තැබිණ.කණුපුලගේ ඌගෝ සිංඥෝ ඔහුගේ මුල් නම විය.දළුපොත රෝමානු කතෝලික පල්ලියේ පාසලට ගිය ද ඌගෝ දරුවාට හත් වැනි පන්තියෙන් ඉහලට යන්නට නොහැකි වූයේ අග හිඟ කම් හේතුවෙනි.ඔහු මුලින් සේවය කළේ කොහුමෝලක ය. ඒ කම්කරුවකු හැටියටය.පෙදරේරුවකු වූ තාත්තා පලංචියකින් වැටී ඔත්පල වූ බැවින් පවුලේ ජීවන බර කරට ගත් ඔහු එහි රැකියාවට ගියේ සත විසි පහක් ලැබෙන නිසාය.

අනතුරුව ඔහු ධිවරයකු ලෙස ජීවිතය ගැට ගසා ගන්නට වෙර දැරුවේ කෝකිලායි පෙදෙසේය.එයින් පසු ජීවනෝපාය සඳහා විවිධ රැකියාවන් හි නිරත වුන ද ඒ සියල්ල කෙළවර වූයේ දුක යනු කවරෙක්දැයි ඔහුට අවබෝධ වන්නට ඉඩ ලබා දෙමිනි.ඔහු සත් වසරක් ම වෑයම් කළේ දක්ෂ පෙදරේරුවකු වන්නටය. ඒ සඳහා ඔහු මේසන් බාස්වරයෙක් ළඟ කැඹුරුවේය.එහෙත් මේසන්වරයා ඔහුට පැවරූ එකම රාජකාරිය නම් අත් උදව් දීම පමණී.ඒ හැරෙන්නට දිනපතා ඔහුට බත් උයන්නට ද සිදු විය.ඔහුට පසුව සේවයට පැමිණි බාස්ගේ නෑදෑ දරුවන්ගේ අතට ඉක්මනින් මේසන් හැන්ද ලැබුන ද එම කාලය ඇතුළත ඌගෝ ට නම් කිසි කලක මේසන් හැන්ද අල්ලන්නට අවසර නොලැබිණ.

මේ රැකියාව ඉවත් වූ ඔහු දෙමළ ජාතිකයකු ළඟ බත් උයන්නට ගියේය. ගුරුවරයකු වූ දෙමළ මහත්තයාට ඌගෝයැයි වහරනු බැරි විය. ඔහු කතා කළේ හියුගෝ යනුවෙනි.අන්තිමට හියුගෝ ප්‍රනාන්දු ලෙස කිත් පතල වූයේ ගුරුවරයාට වහරනු බැරි හෙයින් පට බැඳුණ නාමයයි.එහෙත් කවර දුෂ්කරතා මැද වුවද හියුගෝ තමා උපතින් ගෙනා සංගීතයට ප්‍රිය කළේය.දෙවැන්න ඉගෙනුමට ප්‍රිය කළේය.ඔහු ට සංගීතය ඉගැන්වූයේ මලතියස් මාස්ටර් නමින් පතල ව සිටි ඩබ්ලිව්.එම්.පෙරේරා යි.මේ ආභාෂය යටතේ ඔහු ඉක්මනින් පලාතේ සාජ්ජ වලට නැතිවම බැරි මවුත් ඕගන් සහ ජපන් මැන්ඩලින් වාදකයා විය.මේ තාලයේ ම රාජසිංහ ලීලා නම් ගුවන් විදුලි නාටකයට සංගීතයෙන් දායක විමට ඔහුට වරම් ලැබිණ.

මේ සමයේ නැගී එමින් තිබුණ මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ අවතාරය නාට්‍යයට ඔහු දායක වනුයේ සංගීත අධ්‍යක්ෂවරයා හැටියටය. හියූගෝ මාස්ටර් කෙනකු වුයේය . අවතාරය නිර්මාණය කරනුයේ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන්ය.පසු කලක මිනර්වා කණ්ඩායමේ අතිශය ජනප්‍රිය නාට්‍යය වූ කඩවුණ පොරොන්දුව 800 වරක් වේදිකා ගත වී අවසන් සිනමාවට නැගෙද්දී හියුගෝ මාස්ටර් ද එයට දායක වන්නට වරම් ලැබුවේය.එහෙත් ඔහු එහි නළුවකු වූයේ නම් අහම්බයක් හැටියටය.එහි චෙට්ටියාර් ගේ චරිතය රඟන්නට නියම්තව මුලින් ම ඉන්දියාවට ගියේ එඩී යාපාය. චිත්‍රපටයේ වැඩ හෙමින් හෙමින් කෙරෙනු දුටු එඩී යාපා යළි ලංකාවට පැමිණියේ වාර්ෂික චාරිත්‍රයක් ලෙස ඔහු අතින් ඉටු කෙරුණ මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වී ආපසු ඉන්දියාවේ මදුරයි නගරයට එන්නටය.එහෙත් ඒ දවස්වල මෙරට සිදු වූ දුම්රිය වර්ජනය නිසා යාපා ට ආපසු යන්නට කල් ගත විය.

ඒ වන විට චිත්‍රපටයේ චෙට්ටියාර්ගේ චරිතයට නළුවකු ආදේශ කරන්නට එහි අධ්‍යක්ෂ ජේ.සිංහ සහ නිෂ්පාදක නායගම් තීරණය කර තිබිණ, ඒ අනුව යාපාගේ ආදේශකයා වූයේ හියුගෝ ය.එහෙත් කඩවුණ පොරොන්දුව තිර ගත කොට ටික කලකින් ම හියුගෝ සහ බී.ඒ.ඩබ්ලිව් අතර අමනාපයක් ඇති විණ.ඒ වන විට හියුගෝ මාස්ටර් මීගමුවේ සමාගමක පෙට්ටි සකස් කරන්නෙකු විය.චිත්‍රපට නළුවකු වූ නිසා පැරණි රස්සාවට ද යන්නට නොහැක. හියුගෝ මාස්ටර් සිනමාව අත හැර ගෙදර ගියේය.ජයමාන්නලා සිය දෙවැනි චිත්‍රපටයට සිලෝන් තියටර්ස් වෙත යද්දී නායගම් සිය දෙවැනි නිෂ්පාදනය වූ බණ්ඩා නගරයට පැමිණීම සඳහා හියුගෝ මාස්ටර් සොයා ආවේය.එහි අධ්‍යක්ෂණයට මුලින් මෙරටට පැමිණි රාජා වහබ් කාශ්මීර් දෙමළ තියා ඉංග්‍රීසිවත් නොදැන ආපසු ගිය අතර අනතුරුව ඔහු වෙනුවට පැමිණි ඒ.බී.රාජ් සිංහල නොදත් නිසා මුල් දින දෙකේ දීම ඇණ ගත්තේය.ඔහු යාන්තම් කට ගා ගත් සිංහල වලින් නළු නිළියන්ට එන්නයැයි පැවසුවේ එන්න අප්පා යන ගෞරවයෙනි.

බිරිය එලිසබෙත් සමඟ

අප්පායැයි පැවසුවේ ආදරයටය. එහෙත් රාජ් ගේ එන්න අප්පා අපේ අය වටහා ගත්තේ එන්න එපා යනුවෙනි. මේ අකර තැබ්බය වටහා ගත් රාජ් චිත්‍රපටයේ රූප ගත කිරීම් ටික දවසකට කල් දමා සහාය අධ්‍යක්ෂ හියුගෝ මාස්ටර් ගෙන් සිංහල ඉගෙන ගත්තේය.මාස්ටර් ගේ සිංහල පාඩම කොයි තරම් හොඳ වී ද යත් ලංකාවේ රැඳී චිත්‍රපට කිහිපයක්ම තැනූ රාජ් එයින් පසු වසර හතලිහකට පසු ලංකාවට පැමිණි විටක මා සමග අමු සිංහලෙන් ස්වර්ණවාහිනිය වෙනුවෙන් සාකච්ඡාවක නිරත වූයේ මෙරට මුල්ම චිත්‍රාගාර භූමියේ දීය.

හියුගෝ මාස්ටර් ඉතා විශිෂ්ට ගීත රචකයකු විය.හොඳ හොඳම වේය ලොව,සන්ධ්‍යාවේ ශ්‍රීය,ලෝකය පෙරළෙයි,ගෙයක්ගානේ වැඩ පළ කර ඉඳලා. වැනි ගීත සිය ගණනක් හෙතෙම රචනා කළේය.චිත්‍රපට පනස් හතක විවිධ චරිත නිරූපණයකළේය.ඔහු අහංකාර ස්ත්‍රී සහ ප්‍රේම තරගය වැනි චිත්‍රපට යන්හි කළ රඟපෑම සමකාලීන විචාරකයන්ගේ ප්‍රශංසාවට බඳුන් විය.ඔහු රචනා කළ වඩාත්ම විශිෂ්ට චිත්‍රපට කතාව මාතලන් බව අවිවාදාත්මකය. මේ අවදියේ තිරනාටකය යන වදන සිංහල චිත්‍රපට නාමාවලියේ නොවීය.ඉතා ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු ජනකතාවක් පාදක කර ගනිමින් තැණුනු මාතලන් චිත්‍රපටයට අනුබලයක් වූ යේ මංගම්මා සබඳම් නම් එකල තිර ගත වූ දෙමළ චිත්‍රපටයයි.

එහෙත් මුල් චිත්‍රපටය පැත්තකට ලන හියුගෝ මාස්ටර් නව නළු රසයෙන් අනූන ඉතා සූර ලෙස ගොඩ නංවන චරිත සමූහයකින් යුත් මාතලන් කතා රචනය කර ඇත්තේ සිනමා රචකයකු සතු විය යුතු අති සූර කතා රචකයා ඉස්මතු කර ලමිනි.

සරසවිය සම්මානයට පාත්‍ර වූ මොහොත

ක්ලැරිස් ද සිල්වා,ඇන්තනි සී.පෙරේරා,තලතා ගුණසේකර,රවීන්ද්‍ර රූපසේන,විජිත මල්ලිකා,ඇන්ටන් ග්‍රෙගරි,ඇන්ඩෘ ජයමාන්න බර්නාඩ් රෙජිනෝල්ඩ් ඇතුළු පසුකලක සිනමාවේ නමක් දිනූ බොහොමයකට අත දුන්නේ හියුගෝ මාස්ටර් ය.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හියුගෝමාස්ටර් ජීවත්ව සිටියේ දී මාස්ටර් වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලක දී අපූරු මතකයක් ගෙන හැර පෑවේය. සංදේශය චිත්‍රපටයේ රඟපෑමට අමතරව නිෂ්පාදන කළමනාකාරිත්වය ඇතුළු බොහෝ කරුණු රැසකට උර දුන් ගාමිණී සිනමාව සම්බන්ධව වරක් උකටලී වූයේය.

එය කෙතරම් උග්‍ර වීද යත් ඔහු සියල්ල ගසා දමා වෙනත් රස්සාවකට යන්නට තීරණය කළේය. ඒ අදහස ඔහු එවකට සංදේශය නිපද වූ සිනමාස් සමාගමේ ලොකු තැනක සිටි එමෙන්ම චිත්‍රපටයේ රඟපෑමට ද දායක වූ හියුගෝ මාස්ටර් ට කියා සිටියේය. ටික වේලාවක් ගාමිණී දෙස බලා සිටි හියුගෝ මාස්ටර් ගාමිණීට මතක සිටින උපදේශයක් දුන්නේය."කොල්ලෝ කන්දක් බහින්න නම් ඒ කන්ද නගින්නම ඕනෑ"

දුන්උපදෙස් සිතට ගත් ගාමිණී කන්ද නගින්නට ගත්තේ සිනමා සක්විති යන විරුදාවලිය ද ලබමිනි. හියුගෝමාස්ටර් ගේ මුළු ජීවිතය පුරා ඔහු කතා කළේ බොහේ උපහැරණ සහිතවය. ඔහු චිත්‍රපට දෙබස රචනා කරන ලද්දේ පොදු ජන වහරට සමීපවය.

සිනමාවේ මෙන්ම ඔහු පෞද්ගලික ජීවිතයේ ද හොඳ වැඩිහිටියෙකු විය. ඔහු ගේ පවුල් ජීවිතය ඉතා සාමකාමී සහ නිරවුල් එකක් විය.එලිසබෙත් ඔහුගේ බිරිය විය.මේ යුවල දුකෙහි මෙන්ම සැපෙහි ද එකට සිටි ආදර්ශමත් පවුල් ජීවිතයකට උරුම කම් කීහ.ඔහු සිනමාවෙන් පොහොසතෙක් නොවුව ද දුප්පතකු නොවීය.මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වූ මාස්ටර් කිසි කලක තමන්ට වළ කැපූ කිසිවකු පිළිබඳ නුගුණ කියා පෑවේ නැත.ඔහු හැමවිටම තම දුක් විඳී අතීතය අභිමානයෙන් කියා පාන්නට මැළි වූයේ නැත.

සරසවිය රණතිසර සම්මානය දිනූ පසු හියුගෝ මාස්ටර් එවකට සරසවිය පුවත්පතේ සේවය කළ සුසිල් ජිනප්‍රිය,කර්තෘ ධුරය දැරූ ඒ.ඩී.රන්ජිත් කුමාර,අරුණ ගුණරත්න සහ ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල සමග

ඔහුට ශිල්පය නොදුන් මේසන් බාස් හමු වන හැම විටම ඔහුට උදව් කළේ ශිල්පය නොදීම පිළිබඳ කෘතවේදී වෙමිනි. චිත්‍රපට සංස්ථාව පිහිටවීමේ කාර්යයට ඔහු අත ගැසුවේ වෙනත් ශිල්පීන් මෙන් නොව සිනමාස් සමාගමේ එවකට ඉහල තැනක් දරමින් සිටියදීය. මුළු ජීවිතයම ඔහු අවංක වාමාංශිකයකු වූ බව ඔහුගේ අන්තිම කැමති පත්‍රය පෙන්නා දෙයි.

එහි අනුව දේහය තැන්පත් කළ යුත්තේ චාම් ලෑලි කිහිපයකින් යුත් පෙට්ටියකය.ගුණ ගායනා වලින් තොරව පැය 24ක් ඇතුළත අවමගුල් කටයුතු කළ යුතු ව තිබිණ.මරණය සිදු වූ මොහොතේ පටන් අවසන් කටයුතු සිදු කරන තුරු සංගීතය නොනවත්වා පැවැත්විය යුතුය.සැරසිලි කරන්නේ නම් ඒ ඉවත ලන ඇල්බීසියා වැනි ගස් වලින් පමණී.

මේ අන්තිම කැමැති පත්‍රය ලියා බොහෝ කල් බලා සිටින්නට හියුගෝ මාස්ටර් ට සිදු විය. ඔහුට වඩා වයසින් බාල අය මිය යද්දී ඒ අවමගුල් උත්සව වලට සහභාගී වන හියුගෝ මාස්ටර් පවසන සුපුරුදු කතාව නම් ඒ ටැලිග්‍රෑම් එක තමාට ලැබිය යුතු වුවත් එය මේ මිය ගිය තැනැත්තා විසින් ලබා ගත් බවය.ඒ අනුව රුක්මණී දේවි ඇන්තනී සී ආදි සියල්ලම ඔහුට කලින් ටැලිග්‍රෑම් ලබා ගත් වග ඒ කාලයේ හියුගෝ මාස්ටර් කියා සිටියේය.ඔහුගේ අවසන් කටයුතු අන්තිම කැමති පත්‍රයේ පරිදිම නිම කරන්නට නොහැකි වූයේ ඒ සදහා පැමිණි ජනීජනයා වැඩිවීමත් ඒ වනවිටත් විදේශයක සිටි එක් පුතෙකු ආපසු එනතුරුත් බල සිටින්නට සිදු වූ බැවිනි.හියුගෝ මාස්ටර් මිය ගියේ 87 වසරක් ආයු විඳ 1999 වසරේ අප්‍රේල් දොලොස් වැනිදා ය.

කැලෑකෙල්ල

අහංකාර ස්ත්‍රී

ධීවරයෝ

එඩී ජයමාන්න රුක්මණී දේවි සමඟ