වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මට වැරැදුනු තැන් ගොඩක් තිබුනා

මට වැරැදුනු තැන් ගොඩක් තිබුනා

ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර

සුන්දර රූ සපුවක් හිමි ඇය මේ වන විට කලා ක්ෂේත්‍රයට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි. සිංහල සිනමාවේ විශිෂ්ට නිර්මාණයක් වූ ගඟ අද්දර චිත්‍රපටය ටෙලි සිතුවමට නඟමින් නිෂ්පාදනයට පැමිණි ඇය සුධර්මා නෙත්තිකුමාර.

මේ දිනවල භාර්යාවෝ ටෙලි වෘතාන්තය ඔබට තිළිණ කරන ඇය ඉදිරියේදී තවත් අලුත්ම ටෙලි සිත්තමක් ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කරන්නත් සූදානම්. ඒ වගේම රඟපාන්න ආස ඔබට සුභ ආරංචියකුත් අරගෙනයි ඈ මේ පිටුවට පැමිණෙන්නේ.

ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබෙන මේ අලුත් නිර්මාණය ගැන කියමුද?

සුන්දර කතාවක් රැගත් අලුත් ටෙලි නිර්මාණයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් මම අලුත්ම මුහුණක් මේ දවස්වල හොයනවා. සරසවිය පාඨක ඔබටත් ඒ සඳහා අවස්ථාව තියෙන බව මුලින්ම කියන්න කැමතියි.

ඒ ගැන විස්තර ටිකක් සරසවිය පාඨකයන්ට කියන්න?

මේ වන විට සෑම රූපවාහිනි නාලිකාවකම බොහෝ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ හැම එකකින්ම අපි දකින්නේ නිතරම දකින නළු නිළියන්. ඒ නිසා මගේ නවතම ටෙලි නාට්‍යයට නවක කෙනෙක් හොයනවා. සරසවිය පාඨක ඔබට කියන්න කැමතියි අවුරුදු 18 ත් 23 ත් අතර තරුණියන්ට මේ සඳහා ඉල්ලුම් කරන්න කියලා.

ඔබගේ පළමු නිර්මාණය ගඟ අද්දර. ඒ ගැන ඔබේ අදහස?

ගඟ අද්දර කියන්නේ ගොඩක් දෙනා ආදරය කරපු චිත්‍රපටයක්. අවුරුදු 22 ට පසුව ඒක ටෙලි සිත්තමකට නැ¼ගුවොත් හොඳයි කියලා හිතුවා. ඇත්තටම ඒක උසස් විදියට නිෂ්පාදනය කළා. නමුත් එහි බොහෝ අඩු පාඩු තිබුණා.

ඔබ හිතන පරිදි ගඟ අද්දර ටෙලි නාට්‍යයට අසාධාරණයක් වුණාද?

ගඟ අද්දර ටෙලි නාට්‍යයේ අඩුපාඩු තිබුණා. ඒක ගොඩාක් උසස් තාක්ෂණයෙන් යුතුව ආරම්භ කළත් අවසානය පිළිබඳ මම තෘප්තිමත් නැහැ. මගේ අනුදැනුමක් නැතිව එහි යම් යම් වෙනස්නම් වෙලා තිබුණා. ඒකට මගේ දුර්වලකම් තමයි බලපෑවේ. ඇත්තටම මම ඒ ගැන හොයලා බැලුවා මදි. නමුත් ඒ මඟින් මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. මගේ මීළඟ නිර්මාණය එහෙම වෙන්නේ නැතුව නිෂ්පාදනය කරන්න මම බලාපොරොත්තු වෙනවා.

භාර්යාවෝ ටෙලි සිත්තමට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

භාර්යාවෝ ටෙලි නාට්‍යයටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. එහි කතාවෙන් කියවෙන්නේ අද සමාජයේ තියෙන ප්‍රශ්නවල එක් පැතිකඩක් පමණයි. ඒ වගේම ඒ තුළින් විපාක හොඳ නරක කියවෙනවා. එහි සාර්ථකත්වයට හේතුව වුණේ නළු නිළියන් ඇතුළු සියලු දෙනාගේම කැපවීමයි.

ඔබ හිතන පරිදි කාන්තාවක් ලෙස ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වීම අභියෝගයක්ද?

කාන්තාවක් විදිහට මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදන කාර්යය මට අභියෝගයක් වුණේ නෑ. මුල් නිෂ්පාදනයේ යම් යම් අඩුපාඩු වුණත් ඒවා හදාගෙන මම ඉදිරියට ආවා. කරන දේ හරියට කළොත් වරදන්නේ නැහැ. නිසි කළමනාකරණයක් ඇතිව පිළිවෙලට වැඩ කරන්න ඕනෑ. එතකොට ඕනෑම අභියෝගයකට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒක කාන්තාවක් කියලා විශේෂ වෙන්නේ නැහැ.

ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් විදියට ක්ෂේත්‍රය පිළිබඳ අද පවතින තත්ත්වය ගැන ඔබගේ අදහස?

ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් වේවා එහි නිෂ්පාදනයට හැමෝගෙම සහයෝගය තියෙන්න ඕනෑ. නිෂ්පාදකයන් නැති වුණොත් මෙම කර්මාන්තය අඩාල වෙනවා. ඒ නිසා ඔවුන් රැක ගන්න ඕනෑ. නිෂ්පාදකයන් වියදම් කරන දේට සාධාරණයක් ඉටු කළේ නැත්නම් නිර්මාණ සාර්ථක වෙන්නේ නැහැ. අද බොහෝ නිර්මාණ මුදලාලි ක්‍රමයටයි කෙරෙන්නේ. එය එම නිර්මාණවල ගුණාත්මක බව නැති වෙන්න බලපාල තියෙනවා. මම මගේ නිර්මාණවලට එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ.

මේ ගමන සඳහා ඔබට ක්ෂේත්‍රයෙන් ලැබුණ සහාය?

ඇත්තටම ප්‍රවීණයන්ගෙන් ගොඩක් ලොකු සහායක් ලැබුණා. සුමිත්‍රා පීරිස් සහ සිරස ආයතනයට ස්තුති කරන්න ඕනෑ. සුමිත්‍රා පීරිස්ගෙන් වටිනා උපදෙස් රැසක් ලැබුණා. මේ ගමනට ඒ උපදෙස් විශාල ශක්තියක් වුණා. ඒ වගේම සිරස ආයතනය දුන් සහායත් විශාලයි. ඔවුන් මගේ නිර්මාණවලට හොඳ මිලක් ලබා දුන්නා. ඒ නිසා පළමු නිර්මාණයෙන් පසුව දෙවන නිර්මාණය කරල වැරැදි හදාගෙන ඉදිරියට යන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේමයි මෙම නිර්මාණ සඳහා දායක වුණු නළු නිළියන් පවා විශේෂ කැපවීමකින් කටයුතු කළ බවත් සඳහන් කරන්න ඕනෑ.

ඔබේ පවුලේ විස්තර?

මගේ සැමියා ගාමිණී නෙත්තිකුමාර. ඔහු ව්‍යාපාරිකයෙක්. දරුවෝ තුන් දෙනාගෙන් වැඩිමහල් දුවයි පුතයි ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. කලා කටයුතු සඳහා ඔවුන්ගේ සම්බන්ධයක් නැහැ.

අනාගත බලාපොරොත්තු?

හැම අම්මා කෙනෙක් වගේම දරුවෝ හොඳ තැනකට එනව දකින්න ආසයි. ඉදිරියේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ මේ ලබන අත්දැකීම් තුළින් වඩා හොඳ නිර්මාණයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.


මේ වාසනාවන්තිය ඔබ ද?

සුධර්මා නෙත්තිකුමාර නිපදවන අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය ලෙස රංගන තරුවක් වීමට සරසවිය පාඨක තරුණියකට මහඟු අවස්ථාවක් උදා වී තිබේ.

එම අවස්ථාවේ හිමිකාරි මේ ලිපිය කියවන ඔබ විය හැකියි. ඔබත් අවුරුදු 18 ත් 23 ත් අතර රඟපෑමට උනන්දුවක් දක්වන යෞවනියක නම් මෙම ප්‍රවෘත්තිය සඳහන් කොටුව කපා ඔබ විසින් සකස් කර ගත් අයදුම්පතක් මෑතකදී ලබාගත් පැහැදිලි ඡායාරූපයක් සමඟ අපට යොමු කරන්න. ඔබත්, සුධර්මාත් එක් කරන සහෘදත්වයේ පාලම වන්නට හැමදාමත් ඔබට ළෙංගතු සරසවිය සූදානම්. ඔබේ අයදුම්පත යොමු කරන්න මෙම ලිපිනයට. අලුත් නිළිය, සරසවිය, ලේක්හවුස්, කොළඹ.