වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




තුන් දෙනෙක් සිනමාපටය එළිදකී

තුන් දෙනෙක් සිනමාපටය එළිදකී

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ 'තුන්දෙනෙක්' සිනමාපටය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී මාධ්‍ය දර්ශනය තිරගත විය.

'වසර 30 ක පැවැති යුද්ධයෙන් පසු සිදුවන අනුවේදනීය සිදුවීම් කිහිපයක් අලළා 'තුන් දෙනෙක්' සිනමා සිත්තම අධ්‍යක්ෂණය කර ඇත. මෙම සිනමාපට තුනේ රංගනයේ යෙදෙන ප්‍රවීණයන් කිහිප දෙනෙකු හැරෙන්නට අන් සියලු චරිත සිනමාවට අලුතින්ම හඳුන්වා දීම විශේෂත්වයකි.

මෙහි එන ප්‍රසන්න විතානගේ ගේ 'ඈ' පළමු සිනමාපටය ද, විමුක්ති ජයසුන්දරගේ 'ඔහු' දෙවන සිනමා සිත්තම ද, හඳගමයන්ගේ 'අනෙකා' තුන්වන සිනමා සිත්තම ද ලෙස ඔවුන් තිදෙනා මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත. එකින් එකට බැඳී පවතින කතා සාරාංශයක් සමාජගත කිරීමට ඔවුන් තිදෙනා ගත් උත්සාහයක් ලෙස මෙම චිත්‍රපටය පෙන්වාදීමට හැකිය.

සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරුන් ද තිදෙනෙකි. ඒ එම්. ඩී. මහින්දපාල, ඊශිට් නාරායන්, චන්න දේශප්‍රියයි. මෙය නිෂ්පාදනය ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයයි. සංස්කරණය පිළිවෙලින් ශිකර් ප්‍රසාද්, සමන් ඇල්විටිගල, රවීන්ද්‍ර ගුරුගේයි. ප්‍රසන්න විතානගේ ගේ 'ඈ' සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ඉන්දීය ජාතික කේය.

අශෝක හඳගමයන්ගේ 'අනෙකා' සිනමාපටයේ කපිල හපුගලආරච්චි සංගීත අධ්‍යක්ෂවරයා වෙයි. මේ පසුගිය දින තරංගනී සිනමා ශාලාවේදී විශේෂ අවස්ථා කිහිපයක් 'සරසවිය' කැමරා ඇසට හසුකර ගත් අයුරුයි. සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න