වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ මුල්ම නගරාධිපතිනියට සරසවිය සුබපැතුම්

කොළඹ මුල්ම නගරාධිපතිනියට සරසවිය සුබපැතුම්

දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ නගරයේ මුල්ම පුරපතිනිය රෝසි සේනානායකට සරසවිය සුභාශිංෂණ ගෙන එයි. ඒ ඇය කොළඹ මුල්ම පුරපතිනිය පමණක් නොව, එම පුටුව ලද මුල්ම සිනමා නිළිය ද වන හෙයිනි.

ඇය 1983 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ රූ රැජින වශයෙන් අභිසෙස් ලැබුවාය. ප්‍රාර්ථනා, සුරදූතියෝ, ජය අපිටයි යන සිනමාපටයන්හි රෝසි රංගනයෙන් දායක විය.

එමෙන්ම කොළඹ ජනප්‍රිය සිනමා ශාලාවක්ව තිබූ ගාමිණී සිනමාහල අතීතයේ නැෂනල් රංගශාලාව ලෙස හිමිව තිබුණේ රෝසි සේනානායකගේ සැමියා අතුල සේනානායකගේ මුත්තනුවන් වූ සුපතල අධ්‍යාපනඥයකුවන පී ද එස්. කුලරත්න මහතාටය.

1866 ඇරඹි කොළඹ නගරසභාවේ මුල් පුටුව හිමිකරගත්තෝ අතර සිනමාවට සබැඳි අයද බොහෝය.

පළමුවතාවට එලෙස සිනමා ලොව කෙනෙකු කොළඹ නගරාධිපති වූයේ 1951 වසරේදීය ඒ චිත්‍රපට නිෂ්පාදක එස්. සෙල්ලමුත්තුය.

දෙවැනිවතාවට 1951 දි සිංහල සිනමාවේ මුල්ම නළුවා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා කොළඹ නගර සභාවේ මුල් පුටුව හිමිකරගත්තේය.

ඉන්පසුව සිනමා නිෂ්පාදකවරු සිව්දෙනෙක් නගරාධිපති තනතුර හෙබවීය. එම්. එච්. මොහොමඩ් (1960), ජබීර් ඒ. කාදර් (1966), ඒ. එච්. එම්. ෆවුසි (1974) හුසේන් මොහොමඩ් (1989) එම නිෂ්පාදකවරුන් විය.

එම සියලු වාර්තා අලුත්කරමින් රෝසි කොළඹ නගරාධිපතිනිය වූයේ ඉතිහාසයද අලුත් කරමිනි. පසුගිය වසරේ සරසවිය සම්මාන උළෙලේ සහ ජූරි සභිකයකුද වශයෙන් එතුමිය සිය දායකත්වය සැපයුවාය. ඇය මේ ලද දේශපාලන කිරුළ වෙනුවෙන් සරසවිය අප සුභපැතුම් එක්කරන්නේ ඉතසිතිනි.

චිත්‍රපට උලෙළක් සමඟ විජය ගී තරුව අද

'විජය ගී තරුව 2018' අවසාන මහා තරගය හා සම්මාන උලෙළ අද දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පස්වරු 5.00 ට පැවැත්වේ. මේ සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන්ගේ සොහොයුරිය රූපා කුමාරතුංග සහ කලාකරුවන්, විද්වතුන් රැසක් සහභාගි වේ.

මෙයට සමගාමීව විජය කුමාරතුංග සහෘද කලා සංසදය සංවිධානය කරනු ලබන විජය රඟපෑ චිත්‍රපට උලෙළක් ද අද දින සිට 25 දක්වා පැවැත්වේ. ඒ කඩුවෙල නිව් රේඛා සිනමා ශාලාවේදීය. පස්වරු 2.30 හා පස්වරු 6.30 යන දර්ශන වාර දෙකක් 22 වැනි දින සිට 25 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ. 22 වන දින ඔබටයි ප්‍රියේ ආදරේ, 23 සූරයන් අතර වීරයා, 24 අංජානා, 25 වරදට දඬුවම තිරගත වීමට නියමිතය.

සරත් හෙට්ටිආරච්චි පියතුමන් ස්වර්ගස්ථ වේ

ආගමික සහජීවනය උදෙසා මහඟු මෙහෙවරක් කළ දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා ස්වර්ගස්ථ විය. ගමටම නත්තල්, පන්සලයි පල්ලියයි, සිංහ දමිල අලුත් අවුරුද්දයි ආදී ආදර්ශවත් වැඩසටහන් ආරම්භකරමින් මෙරට හුදී ජනයාගේ සහජීවනය උදෙසා ක්‍රියා කළ උන්වහන්සේ ස්වර්ගස්ථවන තෙක්ම එකී මෙහෙවරයන් සිදුකළේය. පල්ලියත් පන්සලත් යාකරමින් සිදුකළා වූ වැඩසටහන් හේතුවෙන් සරත් පියතුමාහට බෞද්ධයන්ගෙන් ලැබුණේද ඉහළ පිළිගැනීමකි. ග්‍රන්ථ රැසක් රචනාකළ උන්වහන්සේ සංගීතයට ළැදි පියනමක් ලෙසටද ප්‍රසිද්ධය. දිගුකලක් රෝගිව සිටි සරත් පියතුමාගේ අවසන් කටයුතු ඉකුත්දා මොරටුමුල්ල මෙතෝදිස්ත පල්ලියේදී සිදු කෙරිණ.

කෝමාලි කිංග්ස් හෙට තිරයට

මෙරට නිෂ්පාදිත නවතම දෙමළ සිනමාපටයක් වන කෝමාලි කිංග්ස් සිනමාපටය මෙම මස 23 වැනිදා සිට රීගල් ප්‍රමුඛ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගතවේ. කිංග් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි තිරරචනයද අධ්‍යක්ෂවරයා විසින් රචනා කර තිබේ. කිං රත්නම්, රාජා ගනේෂන්, දර්ශන් ධර්මරාජ්, නිරංජනි ශන්මුගරාජා, ගජන් ගනේෂන්, සත්‍යප්‍රියා රත්නස්වාමි මෙහි චරිත මවති. කෝමාලි කිංග්ස් ගනේෂ් දේවනායගම්, ආර්. සෙල්වස්කන්දනි සහ දර්ශනි රාජසිංහම් නිෂ්පාදනය කොට තිබේ.

නිෂ්පාදකවරු හෙට රැස්වෙති

ටෙලිනාට්‍ය නිෂ්පාදක වරුන්ගේ සංසදයේ මීළග මහසභා රුස්විම මෙම මස 23 වන දා එනම් හෙට සවස 03.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි පැවත්වේ.ටෙලිනාට්‍ය විකාශනයේ සිදුවන අක්‍රමිකතා පිළිබද මෙහිදි මුලිකවම සාකච්ජා කරනු ලබයි.

ස්ටාර් ඔෆ් 70 ඩුබායි

ස්ටාර් ඔෆ් 70 ප්‍රසංග මාලාවේ තවත් අදියරක් එළඹෙන මාර්තු මස 02 වැනිදා ඩුබායි ශේක් රෂීඩ් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී අනෙස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, එරල් ප්‍රනාන්දු සහ ප්‍රියා සූරියසේන ගීතවත්වේ. සුපර් චයිමිස් සංගීත කණ්ඩායම සංගීතය මෙහෙයවන අතර කථනය විජය කොරෙයාගෙනි.

මධුර චාරිකා රටවටා ඇරඹීමට සූදානම්

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා පටය මධුර චාරිකා එළඹෙන මාර්තු මාසයේ සිට තිරගතවීමට නියමිතය. පැරැණි සිනමා රංගන ශිල්පියකු සහ ඔහුගේ සුරතල් මුණුපුරා පිළිබඳ ගෙති කතාවක් මේ සඳහා අන්තර්ගතව තිබේ. හේමසිරි ලියනගේ, සුදම් කටුකිතුලේ, නලීන් ප්‍රදීප් උඩුවෙල, මාධනි මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, ඩිල්මන් සිරිමාන්න ඇතුළු පිරිස මධුර චාරිකා සඳහා රංගනයෙන් දායකවී තිබේ. සහය නිෂ්පාදනය දයාවංශ ජයකොඩි සමඟ කුමාර මදුරැස්සගෙනි. චිත්‍රපටයේ කතාව, දෙබස්, තිරරචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි.