වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට කතා, විචාර, නිළි තොරතුරු කවියෙන් ලියූ  ‘නිළිය’ සඟරාව

චිත්‍රපට කතා, විචාර, නිළි තොරතුරු කවියෙන් ලියූ  ‘නිළිය’ සඟරාව

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

1926 නොවැම්බර් 20 වෙනිදා ගලිගමුවේ කොබ්බෑවල උපත ලැබූ රණසිංහ කවියා මීට දස වසරකට පමණ පෙර මට යළි හමු විය. එහෙත් ඔහු එනම් ‘රණසිංහ මාමා’ මට මුලින්ම දැකගන්නට ලැබුණේ, කිලිටු බිංදුවක් නැති සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී අපේ නිවසේම පිහිටි අච්චු කන්තෝරුවේදී මගේ පියා හමුවන්නට ආ අවස්ථාවලදීය.

චිත්‍ර ශිල්පී ගුණරත්න රත්නායකගේ ශිර්ෂ පාඨයකින් සැරසී එළි දුටු මේ සඟරාවේ මුල් පිටුව සැරසී තිබුණේ ජනප්‍රිය නිළියන්ගේ ඡායාරූපවලිනි. ඒ අතර රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත්, අයේෂා වීරකෝන්, රීටා රත්නායක, ජෙමිනි කාන්තා, මේබල් බ්ලයිත්, රීටා රත්නායක මෙන්ම නර්ගීස්, නිම්මි, පී. භානුමතී, සුරයියා ආදී හින්දි හා දෙමළ නිළියන් වෙති. කැලෑහඳ, සුජාතා, දුලාරි ආදී චිත්‍රපට විචාර මුල් කලාප කිහිපයෙන් කවියෙන් පළ වී තිබුණි. එකල ජොසී බබා ලෙස ප්‍රකටව සිටි ජෙමිනි කාන්තා ගැන ලියූ කවි පෙළක කවියේ මෙසේ සඳහන්ව තිබුණි.

සිනමා ලොවේ රස තොරතුරු කවි බසින් ඉදිරිපත් කරමින් ප්‍රකාශයට පත් කළ මුල්ම කවි සඟරාව බිහි වූයේ මීට වසර 66 කට එපිට 1952 වසරේදීය. මේ සඟරාව සංස්කරණය කළේ කොබ්බෑවල රණසිංහ කවියා විසිනි. එහි මුල් කලාපය 1952 සැප්තැම්බර් හා ඔක්තෝබර් කලාපය වශයෙන් නිකුත් වී ඇත. මෙහි චිත්‍රපට තොරතුරු ද, චිත්‍රපට විචාර ද කවියෙන් පළ වූ ප්‍රථම අවස්ථාව මෙය විය. එහි මුල් කලාපය සැරසී තිබුණේ ඒ වන විට චිත්‍රපට ගත කළ ‘කැලෑහඳ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රුක්මණී දේවියගේ ඡායාරූපයකිනි.

චිත්‍ර ශිල්පී ගුණරත්න රත්නායකගේ ශිර්ෂ පාඨයකින් සැරසී එළි දුටු මේ සඟරාවේ මුල් පිටුව සැරසී තිබුණේ ජනප්‍රිය නිළියන්ගේ ඡායාරූපවලිනි. ඒ අතර රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත්, අයේෂා වීරකෝන්, රීටා රත්නායක, ජෙමිනි කාන්තා, මේබල් බ්ලයිත්, රීටා රත්නායක මෙන්ම නර්ගීස්, නිම්මි, පී. භානුමතී, සුරයියා ආදී හින්දි හා දෙමළ නිළියන් වෙති. කැලෑහඳ, සුජාතා, දුලාරි ආදී චිත්‍රපට විචාර මුල් කලාප කිහිපයෙන් කවියෙන් පළ වී තිබුණි. එකල ජොසී බබා ලෙස ප්‍රකටව සිටි ජෙමිනි කාන්තා ගැන ලියූ කවි පෙළක කවියේ මෙසේ සඳහන්ව තිබුණි.

පළමු සිංහල චිත්තර පටියෙහි විකට රජු හට රැජන වී මේ
ලැබූ පිනෙන් ඇය විකට නිළියන් අතර විදු සුවඳ දූ මේ
තවත් කෙනෙකුට දෙවන නොම වන විලස හැම විට රසික නා මේ
උස් තැනක මත තබා ඇත! අදහසින් යළි පහළකට නේ මේ

‘කැලෑහඳ’ චිත්‍රපටය මඟ එන බව 1953 මාර්තු - අප්‍රේල් කලාපයේ කතුවැකියේ මෙසේ සඳහන් විය.

විකට බයිලා දෙබස් පෙම් ජවනිකා ගනිමින් නිසරු පන්නේ
සිංහල සිනමාපට මෙතෙක් කල් දියුණුවෙන් පහළකය උන්නේ
එයට පිළියම් යොදන්නට මෙන් පැහැර ගත් සිත රසිකයින්ගේ
රිදී තිරයට කැලෑහඳ එන පුවත දැන් හැම කෙනෙකු දන්නේ

‘කැලෑහඳ’ චිත්‍රපටය 1953 මැයි 27 තිරගතවීමෙන් පසු ‘නිළිය’ සඟරාවේ ඒ චිත්‍රපටය ගැන විචාරයක් විල්සන් නුුගේගොඩ කවියා ලියා තිබුණි. එහි පැදි දෙකකි මේ.

ගීත කෝකිල රුක්මණී මාලිනී මෙන් සිතුවමේ මුල් තැන
රඟන්නී තම කොටස ගම්බද ළමස්සියකගේ සිරිය ඇර ගෙන
ඇඩා ජයපාලගේ චරිතය මවන නිළියගෙ නුදුරු වත්මන
රිදී තරුවකි සිහල සිනමාවට නව පණක් ගෙන දෙන

මිසී අන්දා රඟන අමතර කොටස නළුවට මහඟු රසයක්
එකතු කළ මුදු තිබේ සමහර තැනක මතු වී අඳුරු කැළයක්
ජෝන් ජයපාලගේ චරිතෙට සහජ හැකි කම් තිබෙන නළුවෙක්
යෙදෙව්වේ නම් ‘කැලෑහඳ’ අද දිලෙන රන්මය විදුලි බුබුලක්

1953 අප්‍රේල් 26 වෙනිදා තිරගත වූ ‘සුජාතා’ චිත්‍රපටය ගැන ලියන කවි විචාරයේ කවි දෙකකි මේ. ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ‘සුජාතා’ බඩී බෙහෙන් හින්දි චිත්‍රපටය අනුකරණය කොට තැනූ හැටි ද මෙහි විස්තර වෙයි.

සිංහල සිනමා රිදී තිරයෙහි නවෝදයක පළමු පියවර
මනා ආඩම්බරයකින් මෙන් තැබූ හැටි අගය කර කර
කලා ඇස හුරු පුරුදු දසුනට ඇතත් සිතිවිලි පොකුරු තවදුර
‘සුජාතා’වෙන් නැළවුණෙමි හින්දියෙහි බස බෙහෙන් සිහි කර

සුන්දරත්වය අතින් ‘මන රංජනිය ලංකා’යෙන් පසුබිම
සිහින පොදිය පරිදි සිත්කලු විය සිංහල රටෙහි සිරියම
‘සුජාතා’ මෙන් පෙනෙන ‘ප්ලොරිඩා’ රඟද්දී අබිබවා සෙසු හැම
‘රුක්මණි දේවිය’ගෙ තරමින් අගය මැන්නත් වරද වෙද කිම

1953 මාර්තු 27 තිරගත වූ ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයේ වල්පොල රාළහාමි ලෙස රඟපෑ හියුගෝ ප්‍රනාන්දුගේ මුවින් නිතර රැඳුණ කියමන් දෙකක් මුළු චිත්‍රපටයේම දක්නට ලැබිණ. පුදුමයට, විස්මයට පත්වන හැම විටම ඔහු ‘අලි වැඩේ’ කියයි. විපතක්, අලාභයක් වන විට ‘පණ ගියා’ කියයි. මේ කියුම් දෙක එකල ප්‍රේක්ෂකයින්ගේ දෙතොලේ නිතර රැව් දුන්හ. නිළිය සඟරාවේ ‘අලි වැඩේ’ මැයෙන් මිනිපුර ජයසේන (පසුව ප්‍රකට විරිදු ගායකයෙක් විය) ද, ‘පණ ගියා’ නමින් දළුපිටියේ සෝමපාල රණවීර (පසුව ‘චලන චිත්‍ර’ හා ‘ලංකා චලන චිත්‍ර’ සිනමා පත්‍රවල කර්තෘවරයා විය) ද සිනාරස පිරි පද්‍ය රචනා දෙකක් ලියා තිබුණි. ජනප්‍රිය චිත්‍රපට නිළිය ලෙස නිළි රැජින වු රුක්මණී දේවි ගැන ලියූ පද්‍ය රචනයක එක් කවකි මේ.

සිනමා නිළි දළ රළ කිරිගරුඬ ගලේ
කඩවුණු පොරොන්දුව ඇතුළත් ඉහළ පෙළේ
හැම සිතුවක්ම මළකඩ නොමැතිවම දිලේ
ඔබගේ අතිනි එහි හැම කැටයමක් කළේ

මේ කව ෆ්ලෝරිඩා ජයලත් ගැන ලියූ ගද්‍ය සංකල්පනාවකි.

සිහල සිනමා රිදී තිරයෙ පළමු තැන රුක්මණී නාමෙන්
මෙවන තෙක් ඒ වෙන්ව ගොස් ඇත තවත් කිසිවකු ළං නොවීමෙන්
එහෙත් ‘ෆ්ලෝරිඩා’ ඇයට නෙදෙවෙනි වනසෙ පළමුවර රැඟීමෙන්
‘සුජාතා’ බබළවා ඇත තම සහජ හැකිකම් මතු කිරීමෙන්

‘කැලෑහඳ’ චිත්‍රපටයේ ඩේසි අත්තනායක ලෙස රඟපෑ නවක නිළිය රීටා රත්නායක ගැන ද අගනා පද්‍ය සංකල්පයක් ‘නිළිය’ සඟරවේ පළ වී තිබුණි.

කැලෑහඳ සිතුවමෙන් සිංහල රිදී තිරයට පළමු ඒමෙන්
මාගේ හැම සහජ හැකිකම් පෙන්වන්නට වර ලැබීමෙන්
රීටා රත්නායකගෙ නාමය අතින් සිනමා තාරකා මෙන්
බැබළවෙන බව දනිමි සිනමා රසිකයන් හැම දෙනම මා මෙන්

මේබල් බ්ලයිත් නම් නිළිය සිනමාවට පිවිසයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයෙනි. ඇය ‘කැලෑහඳ’ චිත්‍රපටයේ මිසී වූ අතර මනප්පුවා ලෙස රඟපෑ එඩී ජයමාන්නගේ පෙම්වතිය ලෙස රඟපාමින් ගීත ද ගැයුවාය. ඇය ගැන ලියූ කවි අටක් ‘නිළිය’ සඟරවේ පළ වී ඇත.

කටුක බාධක නමැති වල්බිහි කරුණු දළ කටු පඳුරු අස්සෙන්
‘උමතු විශ්වාසේ’ නිළියක පරිදි සිනමා ලොවට බැස්සෙන්
ඔබේ සමහර දුබලකම් ඇති නමුදු දියුණුවේ සෙවන පස්සෙන්
ඔබත් දත යුතු මහල් තැනුමට බට කොළින් වට කැරුණු මැස්සෙන්

‘නිළිය’ සඟරවේ චිත්‍රපට තොරතුරු මෙන්ම චිත්‍රපට විචාර ද චිත්‍රපට කතා ද කවියෙන් ලියුවේ විල්සන් නුගේගොඩය. (ඔහු සිනමා රසිකයකු හා ඡායාරූප ශිල්පී ව්ල්සන් ලියනගේදැයි මට සැකයක් උපදී. මෙහි සත්‍ය දන්නා කෙනෙකු සරසවිය කර්තෘට දන්වන්නේ නම් මැනවි).

1954 ලංකාවේ තිරගත වූ ‘දුලාරි’ හින්දි චිත්‍රපටයේ කතාව ද එකල ගීත මෙන්ම ප්‍රකට විය. මධුබාලා ගීතාබාලි සුරේෂ් රඟපෑ මේ චිත්‍රපටයෙන් සොර මුලකට හසු වූ අහිංසක තරුණියකගේ ජීවිතයෙන් බිහි වූ පිරිසුදු ආලයේ චමත්කාරය මතු කරමින් ‘දුලාරි’ චිත්‍රපට කතාව කවි සංකල්පනාවකින් අවසන් කර ඇත්තේ මේ කවෙනි.

සටනින් පරදවා මරණය වැලඳ ගෙන
අන්තිම නින්ද ඔහු නිදියන ලකුණු දැන
ඇයගේ සුරත ඔහුගේ ගෙල දෙසට පැන
විවරණයක යෙදෙයි ආලයෙ මහිම ගැන

සිනමා නිළියන්ගේ හා සිනමා විචාර කවියෙන් ඉදිරිපත් කරමින් මුල්ම සිනමා සඟරාව සංස්කරණය කළ කොබ්බෑවල රණසිංහ අනූ දෙවැනි වසර පසු කරමින් අද නුගේගොඩ, පාගොඩ පාරේ, අංක 117/2 නිවසේ පදිංචිව සිටී. ඔහු ‘නිළිය’ සඟරාව සංස්කරණය කොට ප්‍රකාශයට පත් කරන විට ඔහුගේ වයස අවුරුදු 25 ක් පමණ ඇත. එදා ‘නිළිය’ සඟරාවට විශේෂ කවි, ලිපි, වාර්තා ලියුවේ වික්ටර් පී. ලියනගේ කවියාය. මේ සඟරාව මුද්‍රණය කළේ කොළඹ 14 ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ (කොස්ගස් හන්දියේ) අංක 285 දරන ඇඩ්මන් සහ සමාගම අයිති මගේ පියා (ඒ. ඩී. ඇඩ්මන්) විසිනි.

‘නිළිය ‘ සඟරාවට කවි ලියූ මාතර නාලිනී රාජපක්ෂ කිවිඳිය පසුව රණසිංහ කවියාගේ බිරිඳ වූවාය. ඇය මීට කලකට පෙර මිය ගියාය. රණසිංහ යුවළගේ එකම දියණිය චම්පිකා දීපානි රණසිංහ ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස කටයුතු කරන්නීය.

1926 නොවැම්බර් 20 වෙනිදා ගලිගමුවේ කොබ්බෑවල උපත ලැබූ රණසිංහ කවියා මීට දස වසරකට පමණ පෙර මට යළි හමු විය. එහෙත් ඔහු එනම් ‘රණසිංහ මාමා’ මට මුලින්ම දැකගන්නට ලැබුණේ, කිලිටු බිංදුවක් නැති සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී අපේ නිවසේම පිහිටි අච්චු කන්තෝරුවේදී මගේ පියා හමුවන්නට ආ අවස්ථාවලදීය. එවකට මම පස් හැවිරිදි වියේ පසුවීමි. මට ප්‍රථම වරට චිත්‍රපට නිළියන්ගේ පින්තූර මුල්වරට දැක ගන්නට ලැබුණේ රණසිංහ කවියාත්, වික්ටර් පී. ලියනගේ හා විල්සන් නුගේගොඩ සමඟ සඟරාවේ සෝදුපත් බලන අවස්ථාවේදී බව යාන්තමට මතකය. මට චිත්‍රපට පත්තර උණ ගැනෙන්නට මූල බීජය දැමූ රණසිංහ කවියාට මම ගෞරවය පිරිනමමි. ඔහුට දිගාසිරි පතමි. චිරං ජයතු!