වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

වෙන් වූ තරු එක් වන තුරු

වෙන් වූ ජනප්‍රිය තරු යළිත් එක්වනු දැකීම ප්‍රේක්ෂකයන් ප්‍රිය කරන්නක්. රොබට් පැටින්සන් සහ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් කියන්නෙත් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලද හොලිවුඩයේ පෙමින් බැඳී සිටි ජනප්‍රිය යුවළක්. Twilight චිත්‍රපට මාලාවෙන් හමු වී ඒ සමඟින් වැඩුණු ඔවුන්ගේ ප්‍රේමය ටික කලකින් බිඳී ගියා. නමුත් වසර කිහිපයකට පසුව මෑතකදී මේ දෙදෙනා යළිත් අවස්ථා කිහිපයකදී එකට සිටිනු දකින්න ලැබුණු බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා.

රොබට් - ක්‍රිස්ටීන් ආදර කතාවේදී ක්‍රිස්ටීන්ගේ වංක වීම රොබට්හට දරා ගන්න අපහසු ඉතාම වේදනාබර එකක් වූ බවයි හොලිවුඩ් පුවත් ගෙන ආවේ. මේ වන විට කාලය සියල්ලට විසඳුම් දී ඇති බවත් දෙදෙනාම පසුගිය නරක සිදුවීම් සියල්ල අමතක කර දමා ඇති බවත් පෙනෙන බව අලුත්ම පුවත් ගෙන එනවා. කොහොම නමුත් මේ බැඳීම අතීතයේ ලෙසින් ආදර කතාවක් නොවුනත් හොඳ මිත්‍රත්වයක් හෝ ඇති වී තිබීම සුබ ආරංචියක් බවයි ඔවුන්ගේ ළඟම හිතවතුන් පවසන්නේ.


උස ප්‍රශ්නයක් නැති අයදුම් පත්‍රයක්

දීපිකා පදුකෝන් සහ කත්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපට දෙකකට ප්‍රධාන නළුවන් ලෙසින් ශහීඩ් කපූර් සහ අමීර් ඛාන් දායක වන බවත් මේ චිත්‍රපට දෙකේදීම නළුවන්ගේ උස පිළිබඳ ගැටලු මතු වී ඇති බවත් බොලිවුඩයේ කසුකුසුවක් ඇති වෙලා. මේ උස ප්‍රශ්නයට විසඳුමක් ලෙස තවත් නළුවෙක් තම ජීව දත්ත තොරතුරු සිය ට්විටර් පිටුවේ සඳහන් කර ඇති බවත් වාර්තා වෙනවා.

මේ විදියට තමන්ගේ නම, ගම, වයස, වෘත්තීය සුදුකම් සහ උස සඳහන් කර රැකියා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙන්නේ වෙන කවුරුත් නෙවෙයි බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් බච්චන් විසින්. "උස ඔබට කවදාවත් ගැටලුවක් වෙන්නේ නැහැ" අමිතාබ් විහිළුවට වගේ එහි පුංචි සටහනකුත් යොදලා.


ආදරණීය අම්මා

බොහොමක් ජනප්‍රිය නළු නිළියන්ගේ දරුවන්ටත් ලැබෙන්නේ ඉහළ ප්‍රසිද්ධියක්. නමුත් මේ අතරේ එතරම් ජනප්‍රිය නොවූ තරු දරුවන්ද සිටින බවයි හොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. ජනප්‍රිය නිළි ජුලියා රොබට්ස් සහ අධ්‍යක්ෂවරයකු වන ඩැනි මෝඩර්ගේ දරුවන් තිදෙනා ගැන විස්තර අහන්න නොලැබෙන තරම් කියලායි එම පුවත් ගෙන එන්නේ. එයට හේතුව නිරන්තරයෙන් මේ දරුවන් කැමරාවලින් දුරස් කර තැබීම බවත් එහි සඳහන්.

ඒ විතරක් නෙවෙයි ජුලියා කෙතරම් ජනප්‍රිය නිළියක වුවත් තම දරුවන් තිදෙනාට නිවෙසේ සිටින මවක ලෙසින් සිටීමට උපරිමයෙන් කැප වෙනවා කියලාත් බොහො දෙනා දන්නා කරුණක්. ඇය කලකට ඉහතදී පවසා තිබුණේ, නිවුන් දරුවන් වන හැසල් සහ ෆීනස් ද බාල පුතු හෙන්රි තමන්ගේ අම්මා ඔස්කාර් සම්මාන දිනූ ජනප්‍රිය හොලිවුඩ් නිළියක බව නොදන්නා බවයි. ලොව ඉහළම ආදායම් ලබන නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළින් සිටිය ද ජුලියා තම දරුවන්ගේ කටයුතුවලට මුල් තැන දී අනතුරුව තම රංගන කටයුතු වෙනුවෙන් වේලාව වෙන් කරන බවත් පවසන්නීය. තම මව 2017 වසරේදි ලොව සුන්දරම කාන්තාවන්ගේ ලැයිස්තුවේ සිටිනා බව දරුවන් පාසලේදී දැන ගෙන තිබූ බවත් ඇය පවසනවා.


ශාරුක් බන්සාලිගේ චිත්‍රපටය හැර ගියා ද ?

බොලිවුඩයේ කිං ඛාන් සංජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටයක රඟපාන්න නියමිත බවට කටකතා පැතිරුණේ මීට ටික කාලයකට කලින්. හැබැයි දැන් ආරංචි ගේන්නේ, කිව්වා වගේ මෙය සිදු වෙන පාටක් නම් නැහැ කියලයි. බන්සාලි තමන්ට තිරපිටපත් දෙකක් දුන් බව ශාරුක් වරෙක පවසා තිබුණා. එයින් එකක් අතීත කතාවක් ගෙන එකක් බවත් සඳහන්. ඒ වගේම බන්සාලි සහ ශාරුක් අතරේ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වුණු බවත් බොලිවුඩය පුරා පැතිරුණා.

ශාරුක් මේ චිත්‍රපට දෙකටම එකඟ නොවුණු බවයි පසුව කියවුණේ.

ඒ ඔහු ආනන්ද් එල්. රායිගේ චිත්‍රපටයක් වෙනුවෙන් කාලය වෙන් කළ නිසා බවත් ආරංචියි. රන්වීර් සිංට පෙර පද්මාවත් චිත්‍රපටයේ අලව්දීන් කිල්ජි චරිතය ශාරුක් විසින් ප්‍රතික්ෂේප කළ බවටත් කටකතා පැතිරුණා.

ඒ කොහොම වුණත් මේ වන විට බොලිවුඩ් රිදී තිරයේ ජනප්‍රියම පෙම් යුවළ ලෙසින් අභිෂේක ලබා සිටින්නේ දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං. මේ දෙදෙනාගේ රංගනයෙන් බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවත් චිත්‍රපටය බාධක අභියෝග රැසක් මධ්‍යයේ පසුගිය ජනවාරි මාසයේදී තිරගත කිරීම ආරම්භ කළේ බොක්ස් ඔෆිස් වාර්තා සමඟින්. එයින් පසුව බන්සාලි තවත් චිත්‍රපට තුනක් මේ අදරණිය යුවළ සමඟින් අත්සන් කර ඇති බවත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා.


ආලියාගේ අලුත්ම ආදර කතාව

වරුන් ධවාන්, ආලියා භාත් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා Student of the Year චිත්‍රපටය සමඟින් බොලිවුඩයට පෑයු තරු තුනක්. වරුන් සහ ආලියා අතර පෙම් සබඳකමක් ඇති වී තිබෙන බව චිත්‍රපටය රූගත කරුණු කාලයේදී පැතිරුණු කටකතාවක්. ඒ වුණත් එහි සිටිසිද්ධාර්ත් සමඟින් ආලියා පෙමින් බැඳී සිටින බව ප්‍රසිද්ධියට පත් වුණා. වසර කිහිපයකට පසුවත් වරුන් සහ ආලියා ගැන කටකතා පැතිරෙන විටදී ආලියා දුන් පිළිතුරු වලින් කියවුණේ සිද්ධාර්ත් සමඟින් ආදර කතාව තවමත් පවතින බවයි.

හැබැයි මේ වන විට මේ හැම කතාවකටම තිත තියලා ආලියා තවත් අලුත්ම ආදර කතාවක් ආරම්භ කරලා දෝ කියා කටකතා පැතිරෙනවා. මෙවර ඇගේ නම සම්බන්ධ වෙලා තියෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නමක් සමඟින්. ඔහු හයික් මැසෙන්ජර්හි නිර්මාතෘ කවීන් මිත්තාල්. කවීන් මිත්තාල් කියන්නේ සුප්‍රකට එයාර්ටෙල් සමාගමේ හිමිකරු වන සුනිල් මිත්තාල්ගේ පුතා. පසුගිය වසරේදී පැවති ලෝක ආර්ථික සංසදයේදී දෙදෙනා මුල්වරට හමු වූ බවත් කියවෙනවා.