වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




කිහිප වතාවක්ම මං තේ නෑවා

කිහිප වතාවක්ම මං තේ නෑවා

- දුලී ප්‍රනාන්දු

ඔබේ නම?

දුලී ප්‍රනාන්දු.

වෘත්තීය රංගනය?

ඔව්.

මේ දිනවල ඔබ ඉන්නා ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා නේද?

ඒකේ නම හිතුවක්කාරයා. එය ෂර්ලි පී. දෙලංකාවලගේ අධ්‍යක්ෂණයක්.

හිතුවක්කාරයා නාට්‍යයේ ඔබේ චරිතය?

මං එහි සෙනුරි.

රඟපාන්න ප්‍රිය කළේ කොයි කාලේ ඉඳලද?

පුංචි කාලේ පටන් මගේ තිබුණු සිහිනයක් තමයි නිළියක් වීම. එතකොට මගේ රූපය මිනිසුන් අතර තියේවි කියන ආසාවත් මසිතෙහි තිබුණා. කාලයක් අවස්ථා හොයමිනුත් හිටියා. ඒත් ලැබුණේ නැහැ.

කොහොමද හිතුවක්කාරයා සඳහා ඔබ එකතු වන්නේ?

ෂර්ලි සර් තමයි මාව තෝර ගත්තේ. ඔහු මං ගැන ලොකු විශ්වාසයක් තියාගෙනයි මේ නිර්මාණයට මට කතා කළේ.

ඔබ ඒ විශ්වාසය එලෙසින්ම අරක්ෂා කළාද?

අනිවාර්යයෙන්ම.

පළමු දර්ශනය රඟපෑ අන්දම මතකද?

ඔව්. ඒ මොහොත කවදාවත්ම අමතක වන්නේ නැහැ. එදා මං ගොඩක් බයෙන් හිටියේ. ඒත් හොඳට රඟපෑවා.

හිතුවක්කාරයා නාට්‍යයේ රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මං ඊළඟට අහන්නේ?

කෙනෙක් මගේ ඇඟට තේ එකක් විසි කරන දර්ශනයක් තිබුණා. ඒක නම් අමතකම වෙන්නේ නැහැ. කිහිප අවස්ථාකදීම මං තේ නෑවා. දර්ශනය ඉවර වෙනකොට මං තේ කොළ ෆැක්ට්‍රියක් වාගේ.

සෙනුරි සඳහා ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

මගේ යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි මට ගොඩක් වටින්නේ. සෑහෙන පිරිසක් මං හින්දා නාට්‍ය බලනවා. ඒ යාළුවො මට කතා කර කර කියනවා දුලී ඔන්න ඔයා හින්දා මං නාට්‍ය නරඹනවා කියලා. එහෙම බලලා බොහොම හොඳ ප්‍රතිචාර මට දක්වනවා. සෙනුරි ගැන කියලා බයිට් කරන අයත් ඉන්නවා.

ගෙදර අය සතුටු ද ඔබ රඟපාන එක ගැන?

ඔව්. එයාලගේ සහාය මට නිතැතින්ම තියෙනවා.

දුලී රංගනය හදාරනවාද?

මං නිතරම චිත්‍රපට නරඹනවා. ඒවා හරහා මං රංගනය ඉගෙන ගන්නවා. ඒ හැර තැනකට ගිහින් ඉගෙන ගැනීමක් කරන්නේ නැහැ.

දුලී ඉගෙන ගත් පාසල?

කොච්චිකඩේ මහ විදුහල.

ගම් පළාත එහෙම කොහොමද?

මගේ ගම මිගමුව කොච්චිකඩේ.

උපන් දිනය?

1993. 10. 19.

දිගටම රංගනයේ යෙදෙන්නද කල්පනාව?

ඔව්. රංගනය තමයි මගේ ජීවිතය.

මේ වනවිට පෙම්වතියක්ද?

ඒකට තවම පිළිතුරක් දෙන්න බැහැ.

ඔබ ගැන කෙටියෙන් හඳුවන්න බලන්න?

හරිම සරල කෙනෙක්.