වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ළමයින්ට හැදූ වැඩිහිටියන්ට ගැළපෙන චිත්‍රපටයක්

ළමයින්ට හැදූ වැඩිහිටියන්ට ගැළපෙන චිත්‍රපටයක්

විල් ග්ලූක් අධ්‍යක්ෂණයක්

මේ දිනවල රිදී තිරයේ...
කැරැලි ගසන හොර හාවෙක්

මේ දිනවල හොලිවුඩයේ අවධානය දිනා ගන්න කැරැලි ගසන හොර හාවෙක් සමත් වෙලා. මේ හාවාගේ නම පීටර්. ගොවියෙකුගේ එළවළු වත්තකට හොරෙන් රිංගලා එහි සරුවට වැවිලා තියෙන එළවළු කැඩීම පීටර් නැමති මේ හාවාගේ පුරුද්දක්.

පීටර් තම මස්සිනා සහ තුන් නිවුන් සහෝදරියන් වන ෆ්ලොප්සි, මුප්සි සහ කොට්න්ටේල් සමඟින් දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ, මැක්ග්‍රොගර්ගේ වත්තේ එළවළු සොරකම් කරමින්. බේ නම් කාන්තාව ඔවුන් සමඟන් බෙහෙවින් මිතුරුයි. මොකද කියනවා නම් ඇය, ස්වභාව සෞන්දර්යය වගේම හාවන්ගේ ද චිත්‍ර බොහොම අපූරුවට අඳීන සිත්තරාවියක් නිසා. ඇත්තටම ඇය අම්මා සහ තාත්තා අහිමි පීටර් ඇතුලු හාවන්ට අම්මා කෙනෙක් වගේ.

දිනක් මැක්ග්‍රෙගර්ගේ වත්තට යන පීටර් යළි පැමිණෙන්නේ තම කබාය වත්තේ අමතක කරලා. යළිත් එය රැගෙන එන්න යන පීටර් අල්ලා ගන්නවාත් සමඟින් හෘද්‍යාබාධයකට ලක්වන මැක්ග්‍රෙගර් මරණයට පත් වෙනවා. පීටර් තමන්ගේ මිතුරන් සියලු දෙනාටම ආරාධනා කර මැක්ග්‍රෙගර්ගේ නිවසේ සාදයක් පවත්වන්නේ තමන් ලද සතුට සැමරීම නිමිත්තෙන්. මේ අතර තම ආතයනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටින මැක්ග්‍රෙගර්ගේ ඥාති පුත්‍රයකු වන තෝමස්හට තම මාමාගේ මරණයත් සමඟින් ආයතනයෙන් තමන්ට හිමිවන වරප්‍රසාද සියල්ල අහිමිවන බව දැනේ.

මැක්ග්‍රෙගර්ගේ නිවස බෙහෙවින් වටිනා නිවෙසක් බව තේරුම් වන්නා තෝමස් එහි යාමට තීරණය කරන්නේ එය යළි ප්‍රතිසංස්කරණය කර විකිණීමේ බලාපොරොත්තුවෙන්. දැන් තෝමස් වෙත එල්ල වී තිබෙන විශාලතම අභියෝගය වන්නේ පීටර් ඇතුළු මිතුරන් පිරිස එළවා දැමීමයි. මේ සඳහා තෝමස් විවිධාකාර උපායන් යෙදුවද පීටර් ද තම සටන අතහරින්නට තීරණය නොකරයි. මේ දිනවල රිදී තිරයේ දිගහැරී ඇති Peter Rabbit චිත්‍රපටය ගෙන එන්නේ එම අපූරු කතා පුවතයි.

විල් ග්ලූක් විසින් අධ්‍යක්ෂණය කළ Peter Rabbit චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ, බියෙට්‍රික්ස් පොටර් විසින් රචිත ළමා කෘතිවල එන Peter Rabbit චරිතය යි. මෙහි ඩොමිනෝල් ග්ලීසන්, තෝමස් මැක්ග්‍රෙගර් ලෙසත් රෝස් බේර්න්, බේ ලෙසත් සෑම් නේල්, මැක්ග්‍රෙගර් ලෙසත් පණ පොවන අතර ජේම්ස් කෝඩ්න්, ඩේසි රිඩ්ලි, මාග්‍රට් රොබී, එළිසබෙත් ඩෙබ්කි, ඩොමිනෝල් ග්ලීසන් සහ සෑම් නේල් ඇතුළු පිරිසක් හඬ කැවීමෙන් දායක වී ඇත.

Peter Rabbit ඔස්සේ බියෙට්‍රික්ස් පොටර් කලකට පෙර නිර්මාණය කළ චරිත යාවත්කාලීන කර වර්ණවත්ව චිත්‍රපටයක් බවට පත්කර ඇති බව විචාරක අදහයි. නමුත් එහි පීටර් චරිතය නම් අපිරිසිදු කර ඇති බව හැඟි යා හැකි බවත් පොදු විචාරක මතය යි. මෙය ළමයින් වෙනුවෙන් කළ නිර්මාණයක් වුවද වැඩිහිටියන්ට පවා තම තමන් පිළිබඳව ද හිතන්න යම් මඟක් මේ ඔස්සේ පෙන්නුම් කරන බවත් ඔවුහු පෙන්වා දෙති.