වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මනෝරත්න තුන් සීයා වෙලා

මනෝරත්න තුන් සීයා වෙලා

දිගු කලකට පසු පුතු ගෙදර ඇවිත්

කොහෝ... කොහෝ... කොහෝ...

නිවෙසේ ඉදිරිපසින් ඇසුණු කොහාගේ ඒ ස්වරයට එළියට දිව්වේ තිලෝ දූ. ඈ මනෝරත්න පවුලේ නව පරම්පරාවේ වැඩිමලා.

සීයේ... සීයේ... සීයේ...

හෙමිහිට සිහින් ස්වරයෙන් ඈ කතා කළේ සීයාට. ඒ කියන්නේ ඔබ කවුරුත් නම කිව්ව පමණින් දන්න ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නට. කොහාගේ මිහිරි ස්වරය ඇසුණු සැණින් තිලෝ දූට සිහිපත් වුණේ සීයා කලින් දවසේ කියලා දුන්න කොහාගේ කතාව ගැන. ඇගේ කෑ ගැසීම ඉබේටම වගේ නැවතුණා. ඇසිපිය නොසොල්වා තිලෝ දූ බලාගෙන සිටියේ අසල නිවෙසේ විසල්ව වැවුණු කඩදාසි මල් පඳුරේ ඉන්න කොහා දෙස ම. උගේ ඇඟේ ම තිත්.

“තිත් කොහා බොහොම ලස්සනයි”

තිලෝ දූට සිතුණා. ඒත් එක්කම එතැනට ආවේ යශී හා තාදි කියන අනෙක් දියණියන් දෙදෙනා. තුන්දෙනත් එක්කම කොහා දෙස බලාගෙන සිටි ඔවුන්ගේ නෙත්වලට හසුවුණේ තිත් කොහාලා ජෝඩුවක් ම. ඒ අතර එතැනට පැමිණියේ දියණියන් තිදෙනාගේ සීයා. ජයලත් මනෝරත්න. ඔහුත් මිනිබිරියන් අතරට එකතුවුණේ තිත්කොහා දෙස බලන ගමන්ම. ඔවුන් අතර ඒ සෙනෙහෙ ගඟ ගලන අතරදියි මමත්, තිලක් අයියත් ඔවුන්ගේ නිවහනට පිවිසියේ. ඒ කාලයකට පස්සේ පැමිණි මේ නිවහනේ ඔවුන්ගේ සුවදුක් බලන්න සිතාගෙන

“දූලා තුන්දෙනා ම සත්තුන්ට, පරිසරයට බොහොම ආදරෙයි”

ජයලත් මනෝරත්න පැවසුවේ ඔහුගේ මිනිබිරියන් තුන්දෙනා ගැන. ඒ ඇසිල්ලේ එතැනට දුවගෙන ආවේ ජයලත් මනෝරත්නගේ පුතා භානුක හා ඔහුගේ ලේලි හිරන්‍යා. ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින ඔවුන්, සිය පවුලේ සියලුදෙනාත් සමඟ ම උපන් මව්බිමට පැමිණියේ වසර දහයකට පස්සේ. භානුකට ඉන්නේ දියණියන් ම තුන්දෙනෙක්. ඒ අනුව මේ වනවිට ජයලත් මනෝරත්න කියන්නේ මිනිබිරියන් තුන්දෙනෙකුගේ සීයා කෙනෙක්. කාලෙකට පස්සේ පැමිණි සිය මිනිබිරියන් අතර ගෙවුණු ඒ කාලය ඔහුගේ හදවතට ගෙනාවේ බොහොම සුන්දරත්වයක්. මේ මාස කිහිපයේ ඔහු කිසිම වැඩක් භාර නොගත්තෙත් සිය මිනිබිරියන් සමඟ කාලය ගත කරන්න වුවමනා නිසා.

“පුතා හා ලේලිය ඇතුළු මිනිබිරියන් පැමිණෙන්නේ කාලයකට පස්සේ”

මා විමසුවේ ඔවුන්ගේ පැමිණීම නිසා සතුටට පත්වී සිටින ජයලත් මනෝරත්නයන්ගෙන්.

“පුතා හා ලේලි වගේම මිනිබිරියන් සමඟ කාලය ගත කරන්නට ලැබීම මගේ ජීවිතයේ මා ලද අසිරිමත් අවස්ථාවක්. විශේෂයෙන්ම මිනිබිරියන් එක්ක. භානුක මුල් කාලයේදි නම් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒත් අධ්‍යාපන කටයුතුවලින් පස්සේ රැකියාවත් එක්ක, ඔහුගේ පවුලේ කටයුතුත් එක්ක ඔහු ඒ කටයුතුවල නිරත වෙන්නේ අඩුවෙන්. ඔවුන්ගේ පැමිණීම මටත් බිරියටත් බොහොම ශක්තියක් වුණා. ජීවිතේ අලුතින් පටන් ගත්ත වගේයි අපට දැනුණේ. දුව ඉන්නේ ලංකාවේ. ඇයත්, පුතාත්, සියලු දෙනාත් එක්කම එකතු වී මේ මාස කිහිපය ගතකළේ බොහෝ කාලයකට පස්සේ. මොකද අපි හැමෝම කාර්යබහුල පිරිසක්. ඒ සියලුදෙනා ම එකට එකතු වෙනවා කියන්නේ බොහොම අහම්බයෙන් සිදුවන දෙයක්. ඒ අහම්බයෙන් සිදුවුණු සිදුවීම මට දැනෙන්නේ ජීවිතයේ තවත් දිගු කාලයක් ජීවත්වීමට තරම් ඔක්සිජයන් ටිකක් ලැබුණා වගේ කියලා. ඒ හරහා සිතේ ඇතිවුණු සතුට මේ යැයි වචනවලට නඟන්නට බැහැ.”

පුතාවත්, දුවවත් විවාහ කරලා දුන්නට පස්සේ දිගු කාලයක් ජයලත් මනෝරත්නත්, බිරියත් විසු‍වේ තනියම. ඒ අතර දියණිය වරින්වර ඇවිත් ගියත්, කලකට පෙර වගේ පවුලේ සියලුදෙනාම එකතු වුණේ කාලයකට පස්සේ.

“ඒත් වරින්වර භානුක නම් මව්බිමට ඇවිත් යනවා නේද?”

“මම වැඩ කරන්නේ ගණකාධිකාරවරයකු විදියටයි. ඒ ඔස්ට්‍රේලියාවේ තිබෙන රැකියා ආයතනයේ සහය කාර්යාලය තිබෙන්නේ කොල්ලුපිටියේ. එහි තිබෙන සමහර කටයුතුවලට මට වසර දෙකකට වරක් පමණ ලංකාවට එන්න සිදුවෙනවා. මෙවර පැමිණිය ගමනට මා බිරියත්, දරුවන් තිදෙනාත් එකතු කර ගත්තා. ඔවුන්ට අපේ රට පෙන්නන්නත්, බිරියට සිය මව්බිමට පිවිසෙන්නටත් වුවමනාව තිබුණා. ඒ නිසා වසර දහයකට පමණ පසුව අපි සියලුදෙනා ම ලංකාවට පිවිසුණා.”

භානුක මනෝරත්න හැදී වැඩුණේ සිය පියාගේ සෙවණේ. කුඩා කාලයේ පටන් විදේශ ගතවනතුරු ම ඔහු බොහෝ නිර්මාණවලට රංගනයෙන් වගේ ම සංගීතයෙන් දායක වුණු තරුණයෙක්.

“මේ වනවිට භානුක කලා කටයුතුවලින් ඈත්වෙලා ද ඉන්නේ?”

“2007 වසරේ විදේශ ගතවන විට ඒ සියලු කටයුතු අතහැරලයි මා විදේශ ගතවන්නේ. ඒත් 2009 වසර දක්වා එහිදි සිදුවුණු වේදිකා නිර්මාණ සඳහා ලංකාවෙන් යන ප්‍රසංගවලට මගේ දායකත්වය ලබාදීමට මට හැකියාව ලැබුණා. එහෙම කළත් ඊට පසුව මගේ ලොකු දූ ලැබුණත් සමඟම හා රැකියාවේ කටයුතුත් සමඟ මට බොහෝ සේ කාලයත් එක්ක තරග කරන්නට සිදුවුණා. ඒ නිසා ප්‍රාසංගික පැත්ත අතහැරියත්, කලාවට තිබෙන ආසාව නිසාම මේ වනවිට මා ප්‍රසංග කළමනාකාරිත්වය පිළිබඳ ආයතනයක් පවත්වාගෙන යනවා. එහි සිදුවන බොහෝ ප්‍රසංග සඳහා ඒ අංශයෙන් දායක වීමත් සමඟ මා ඒ හරහා බොහෝ තෘප්තියක් ලබනවා. මේ නිසා කලා කටයුතුවලට දායක නොවුණා යැයි මට හැඟෙන්නේ නැහැ.”

භානුකගේ අත ගන්නේ හිරන්‍යා දුලාශිනී ගමආරිය. මුලින් ම භානුකත් හිරන්‍යාත් මුණ ගැසෙන්නේ බොහොම පුංචි කාලයේ. ඒ ලයනල් රන්වලයන්ගේ ජන ගී කණ්ඩායමේදි. ඊට පස්සේ භානුක රඟපාන ‘පුංචි පැටව්’ ටෙලි නාට්‍යයේ හිරන්‍යාත් ගීතයක් ගයනවා. ඕ ලෙවල් කරන කාලයේදියි ඔවුන් දෙදෙනා යළිත් මුණ ගැසෙන්නේ. ඒ භක්ති ගීත ගැයීම සඳහා ගායිකාවක් සොයන අවස්ථාවකදියි භානුකට ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල ඊට හිරන්‍යාව යොමුකරන්නේ. කොහොම නමුත් ඒ හඳුනා ගැනීම හරහායි ඔවුන් අතර ආදරයක් දලුලන්නේ. ඒ ආදරය අද මල්ඵල ගැන්විලා. ඈ දියණියන් තිදෙනෙකුගේ මවක්. ටෙලි නාට්‍ය පසුබිම් ගායනාවලට වගේ ම ටෙලි නාට්‍ය ගීත ගැයුව, ගයන්න දක්ෂ හිරන්‍යා ඒ සියලු කටයුතු අතහැරලයි භානුකත් සමඟ විදෙස් ගතවන්නේ.

“ඒ ගැන ඔබගේ සිතේ තිබෙන්නේ දුකක්ද?”

“මම ලංකාවට එන්නේ වසර දහයකට විතර පස්සේ. ඒ රටේ සිටියත් මා බොහෝවිට කලා කටයුතුවලින් ඈත් වුණේ නැහැ. ඒ කාලය අතරතුර මා ගීත ගැයුවා. ඒ සහයෝගය නම් ලබාදුන්නේ භානුකගේ තාත්තා. මගේ දක්ෂතා හඳුනාගත් තාත්තා තමයි කලා කටයුතුවලින් මා ඈත් වනවිට ලංකාවේ ඉඳගෙන ගීත පටිගත කරලා මට යළි යළිත් ගයන්න ඉඩකඩ නිර්මාණය කර දුන්නේ. ඒ අනුව ඉදිරියේදි විකාශය වීමට නියමිත ‘සූර්ය කුසුම’ ටෙලි නාට්‍යයේ පසුබිම් ගීතය ගැයුවා. ලංකාවට පැමිණි පසුවත් බොහෝ නිර්මාණ රැසකටම දායක වීමට මට අවස්ථාව සලසා තිබුණා. ‘සිහිනයකි රෑ’ වැඩසටහනට ඉදිරිපත් වීමත් සමඟ මට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේ ම ගුණදාස කපුගේ වෙනුවෙන් ගීයක් ගයන්නටත් මට හැකියාව ලැබුණා. ඉදිරියේදි ඒ ගීතය ඔබ අතරට පැමිණීමට නියමිතයි. ඒ වගේ ම මා ගැයූ ගීත දාහතරක් ඇතුළත් සංගත තැටියක් එළිදැක්වීමටත් මගේ අදහසක් තිබෙනවා. ඉදිරි කාලයේදි සිදු කරන්නට අදහස් කරගෙන සිටින ඒ කටයුත්ත කෙරෙන්නේ ලංකාවේදි. ඒ වෙනුවෙන් යළිත් මව්බිමට පැමිණීමටයි මා අදහස් කරගෙන ඉන්නේ.”

භානුක, හිරන්‍යා වගේ ම දියණියන් තිදෙනාත් කලාවට බොහොම ළැදි අය. ඔවුන් තිදෙනාම ඉපදුණේ ඔස්ට්‍රේලියාවේ. එහෙම වුණත් සීයා ඔස්ට්‍රේලියාවට ආවාට පස්සේ වැඩිමහල් දියණිය තිලෝ යි වේදිකා නාට්‍ය ගීත අහන්නත් බොහොම ප්‍රිය බවක් දක්වන්නේ.

“ඔවුන් අනාගතයේදි කලාව පැත්තෙන් ඉදිරියට ගමන් කරාවිද?”

“සීයා ඒ රටට ආවාට පස්සේ ලොකුදුව සීයත් එක්ක එකතු වෙලා වේදිකා නාට්‍ය ගීත වගේ ම ‘සින්දු බින්දු’ ටෙලි නාට්‍යයේ සින්දු බින්දු ගීතයත් නිතරම ගයනවා. ඈ සීයා රඟපෑ ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේ ම වේදිකා නාට්‍යත් නරඹන දියණියක්. නිතරම වගේ ‘හෝ ගානා පොකුණ’ ගීතය අහන්න දූවරු තුන්දෙනාම කැමැතියි. ලොකුදුව දැනට ඉගෙන ගන්නේ 4 පන්තියේ. ඈ හිපොප් ඩාන්ස්වලටයි කැමැත්තක් දක්වන්නේ. පාසලේ ගායන වෘන්දයේ සාමාජිකාවක්. ඒ වගේ ම වයලින් වාදනයටත් ඈ කැමැතියි. ක්‍රීඩාවලටත් බොහොම දක්ෂයි. දෙවැනියා 1 පන්තියේ. ඈ රඟපෑමට දක්ෂ බවයි පෙනෙන්නේ. මොකද බොහෝ අවස්ථාවලදි බොහෝ දේවල් අනුකරණය කරන්න ඈ දක්ෂයි. මෙහේදි වුණත් අම්මා බස්තම ඇන ඇන යන විදිය ඈ අපූරුවට අනුකරණය කරලා පෙන්වනවා. තුන්වැනියාට තවම අවුරුදු 3යි. ඒ නිසා අපි ඔවුන් තිදෙනාටම ඉහළින් ම අධ්‍යාපනය ලබාදෙනවා. යා යුතු මඟ ඔවුන් තීරණය කරාවි.”

මේ මාස කිහිපයේ ගත කළ කාලයේ ඔවුන් ක‍ළේ පවුලේ සියලුදෙනාත් සමඟ ම රට වටේ ම ඇවිදීමයි. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, බණ්ඩාරවෙල වගේ ම රුහුණු ප්‍රදේශයේ විශේෂ ස්ථාන නරඹන්නත් අමතක නොකළ ඔවුන් මේ 23 වැනිදා යළිත් විදෙස් ගතවීමටයි අදහස් කරගෙන සිටින්නේ.

“මේ රටේ සියලු ම ස්ථාන මගේ දියණියන්ට නරඹන්නට හැකියාව ලැබුණා. ඒ ස්ථාන, පරිසරය වෙනදාට වඩා වෙනස් වී තිබෙන අයුරුත් අප දුටුවා. ඇත්තටම මේ සිටි කාලය ඇතුළේ ගෙවුණු කාලය බොහොම සුන්දරයි. මා නම් වරින්වර ලංකාවට පැමිණ යාවි. අපේ පදිංචිය සඳහා නම් තෝරාගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවයි. යම් කාලයක දරුවන් ඇති දැඩි වී ඔවුන්ගේ ජීවිතය ඔවුන් ගෙවනා කාලයක අප දෙදෙනා යළිත් ලංකාවට පැමිණීමටත් සිතාගෙන සිටින බවත් කිව යුතුයි.”

භානුක පැවසුවේ සිය ජීවිතය යම් තීන්දු තීරණ පිළිබඳ. හිරන්‍යාත් ඔහුගේ අදහසට මඳහස පෑවා. තිලෝ, යශී, තාදි දියණියන් තිදෙනාම සීයාත්, ආච්චිත් එක්ක දිගු කතාබහක. ඒ කතාබහ අතර අප ඔවුන්ගෙන් සමුගත්තේ බළිත් විදෙස් ගත වීමට සිටින ඔවුන්ට සුබ පතමින්.