වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සීන් එකේ ඉන්නේ ජෝතිපාලයි - මාලිනියි

සීන් එකේ ඉන්නේ ජෝතිපාලයි - මාලිනියි

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය.

අද එතැන් සිට...

වාහන අස්සෙන් කුරුල්ලෙකු මෙන් රිංගා ගිය ත්‍රි විලර් රථය තවත් රථයක වද්දා ගනිතියි බිනරි කිහිප වරක්ම සිතුවාය.එය එක් එක් පසෙකට හැරෙද්දී කිහිප වතාවක්ම ඩික්මන් ගේ සිරුරේ නොහැපී සිටින්නට ඇය උත්සාහ කළාය.ඩික්සන් පැමිණියේ නිවස අලුත් වැඩියාවටය.අලුතින් හදන නාන කාමරය සඳහා උපකරණ හා ටයිල් මිළයට ගන්නට ඔහු බිනරි හා එක්වූයේය.

‘හොඳ ටයිල් වගේම බාත් රූම් ෆිටිංග්ස් ගන්ඩ නාවල පාරටම යන්ඩ ඕනෑ.හැබැයි නොදැන ගියොත් අන්දනවා.’

ඔහු පැවසුවේය.

පසුගිය දවස් කිහිපයේ ඩික්සන් ගෙයි වැඩ සඳහා මහන්සි වුයේය.වසර කිහිපයකින් අලුත්වැඩියාවකින් තොරව තිබුණ නිවසට කළ යුතු දෑ බොහොමයකි.

‘ගේ හැදුවාට පස්සේ කෑල්ලක් කුලියට දෙන්ඩ පුළුවන්’

බිනරි අම්මාට යෝජනා කළාය.එයට උත්තර බඳීන්නට අම්මා කල්පනා නොකළාය.දුවගේ අනාගතය ගැන මහත් බියක් ඇයට ඇත.සියල්ල නිසි පරිදි ගලා ගියේ නම් ජීවිතය ගැටළු සහගත වන්නේ නැත.ඇය සුසුමක් හෙලුවේ දුක්ඛ දෝමනස්සයන් සේදියන්නට මෙනි.

ඩික්සන් නිවස අලුත් වැඩියාව කරට ගත්තේ තමන්ගේ කාරියක් වගේය.

ගෑස් ටැංකියක් ගෙනෙන්නට ගිය බිනරි අලුත් බාස් උන්නැහේ ගැන කඩේ මුදලාලි ට ස්තූති කළාය.

‘අපි තෝරලා දෙන්නේ හොඳම දේ තමයි’

මුදලාලි ඇසක් ගසා පැවසුවේය.ගෑස් කඩේ ළඟ ඉස්සර තිබුණේ දර මඩුවකි.දර මඩුවේ දර කිරන්නට පැමිණි කොලු ගැටයා දැන් ගෑස් ඒජන්තවරයාය.බිනරි ගෑස් මුදලාලි දෙස නොමනාපයෙන් බැලුවාය.

‘ආයේ ඉතාලි යනවාද ?’

ගෑස් මුදලාලි බිනරි ගේ නොමනාපය ගණං නොගන්නා ස්වරූපයෙන් පැවසුවේය.

‘ඔව්.මහත්තයා ඉන්නේ එහේනේ.මේ වැඩ ටික ඉවර කරල දාලාම යනවා’

බිනරි වහා හිතට නැගුණ වචන කියා දැම්මාය.

ඩික්සන් වැඩ කළේ තනිවමය.ඔහුගේ තනිය මකා දැම්මේ රේඩියෝවකි.නිතර දෙවේලේ එහි ගීත ප්‍රචාරය විය. මද්දහනේ කඩපිළට ගිය බිනරි පඩි පෙළ නැග උඩුමහලට නැංගේ ඩික්සන් ගේ වැඩ බලන්නටය.

ඔහු බිත්තියේ තිබුණ කඩතොලු ටික හදමින් උන්නේය.

‘සුසුදු රැල්ල වැල්ලේ පෙරලි ගීත ගයයි යළි යළි’

ජෝතිපාලයන්ගේ ගීතය රේඩියෝවේ විකාශය විය.ඩික්සන් වැඩ කරමින් සිටියේ ගිතය ද මුමුණමිනි.බිනරි ටික වේලාවක් ඩික්සන් දෙස බලා උන්නේ ඔහුට නොදැනෙමිනි.එකවරම තමා පසුපස කිසිවකු ඇතැයි දැනුනෙන්දෝ ඩික්සන් හැරී බැලවේය.

‘ඩික්සන්ට හොඳට සින්දු කියන්ඩ පුළුවන් නේ’

බිනරි සිනහසුනාය.

‘අපිටත් කවුරු හරි අත දුන්නා නම් සිංදු කියන්ඩ පුළුවන් කම තිබුණා.ඒකටත් පින තියෙන්ඩ ඕනෑ’

ඩික්සන් කියා පෑවේය.ඔහු බිම වැටුණු සිමෙන්ති ටිකක් සීරුවට යළි මේසන් හැන්දේ දවටා ගත්තේය..

‘මිස් සිංදු වලට ආස ද?’

ඔහු කරමින් සිටි කටයුත්ත අත නෑරම අසුවේය.බිනරි ගේ ගත ලූ විලවුන් සුවඳ ඩික්සන් ගේ නාස් පුඩු අතරින් කිඳා බැස තිබිණ.

‘නැතුව’.

ඇය අසල අසුනක වාඩිවුණාය.

‘බලාගෙන ඕවැයෙ දූවිල්ල’

ඩික්සන් අනතුරු ඇඟවූයේය.බිනරි ගණනකට ගත් වගක් පෙනුණේ නැත.

‘ඕක අබිරහස පික්චර් එකේ.ජෝතිපාල යි ඇන්ජලිනුයි කිව්වේ.සීන් එකේ ඉන්නේ ජෝතිපාලයි මාලිනියි’.

ඩික්සන් විස්තර කළේය.

‘පික්චර් එකේ හිටියේ විජය නේ.’

බිනරි ඩික්සන් ට සිහිපත් කළාය.

‘කොල්ලා විජය කෙල්ල ස්වර්ණා කහවිට.ඔය සිංදුවට විතරයි ජෝතිපාලයි මාලිනියි හිටියේ’

ඩික්සන් විස්තර කළේය.

‘ඩික්සන්ට පික්චර් කට පාඩම් නේ’

බිනරි ආරූඩ කර ගත් ස්වරයකින් පැවසුවාය.

ඩික්සන් හැරී බැලුවේය.බිනරි වාඩි වී සිටි ආකාරයට ඇයගේ ගවුම අසලින් වටොර දක්වා නිරාවරණය වී ඇති අයුරු ඔහු දුටුවේය.

‘ මං පිච්චර් අත අරින්නේ නෑ.ඉස්සර නම් ඉතින් ගෙදරින් බැණුම් අහලා කෙලවරක් නෑ.’

‘දැන් අපිට නම් බලන්ඩ යන්ඩ වෙලාවක් නෑ’

බිනරි පැවසුවාය.

‘රට ඉන්න කාලෙ නම් හොදට පික්චර් බලන්ඩ ඇති‘

ඩික්සන් පැවසුවේය.

‘ඒ කාලේ තමා පික්චර් බලන්ඩ් බැරි උනේ’

‘බිනරි පැවසුවේ විස්සෝප වෙමිනි.

‘කොහොමද ඩික්සන් දන්නේ මම රට හිටිය කියලා’

‘මට ගෑස් කඩේ ශාන්ත අය්යා තමා කිවිවේ’

ඩික්සන් වැඩ කළේ බිම වාඩි වී ගෙනය.

‘මිස් අලුතින් ටයිල් ටිකක් දැන්ම ගෙන්න ගත්තොත් තමා හොඳ’

ඩික්සන් යළිත් බිනරි වාඩි වී සිටි ආකාරය නැරඹුවාය.

‘හොඳයි හෙට නාවල පැත්තට යන්නං’

‘මිස් මාත් එන්න වේ ද ? මිස්ට තනියම කර ගන්ඩ පුළුවන් ද’

ඩික්සන් ඇසුවේ ය.

‘නෑ මට පුළුවන් වෙයි.

බිනරි අනුමාන කළාය.ඩික්සන් කරබා ගත්තේය.උන් නැනින් නැගිට ගත් බිනරි ඩික්සන් විසින් නිම කරන ලද වැඩ කොටස පිරික්සා බැලුවාය.

ඇය බිත්තිය දිගේ අත ගෑවාය.

අනතුරුව ඇය කාමරයට ගියාය.ඩික්සන් උන් තැනින් නැගිට්ටේ ඇය යන අයුරු බලන්නටය.අනතුරුව ඔහු රේඩියොවේ ගිය අලුත් ගීතය මුමුනනන්ට විය.

ඩික්සන් වැඩ කළ දවස් කුලියට නොවේ. ඔහු තම වැඩ කොටසටම ගාණක් පැවසුවේය.

‘ඩික්සන්ට මාත් එක්ක ටයිල් බලන්ඩ් ගියොත් පාඩු වෙයි නේද’

හැන්දෑවේ වැඩ නිමවා ඇඟ සෝදා ගෙන පැමිණි ඩික්සන් ගෙන් බිනරි විතාළොය.උණු තේ කෝප්පයක් ද මේසය මත තිබෙනු ඩික්සන් දැක්කේය.

‘නෑ මිස්’ . ‘ඒක හරියට තෝරා ගත්තාම වැඩේ ඉක්මන්.මං මිස් එක්ක එන්නම්’

ඩික්සන් පැවසුවේ තේ කෝප්පය අතට ගන්නා ගමන්ය.