වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




රෑ හදේ හීනෙකින් සීපද ඇහුණයි

දෙවසරකට පෙර අප අතරින් වෙන් වූ ආචාර්ය අජන්තා රණසිංහ වෙනුවෙනි

රෑ හදේ හීනෙකින් සීපද ඇහුණයි

රටට මහා ගීත රචකයකු වුව ද අපට අජන්තා අය්යාය.අය්යා පැවසුවේ වැඩි ආදරයටය. ඒ අජන්තා අය්යා ජිවිතයේ වැඩි කලක් සේවය කළේ පත්තර මහා ගෙදර හින්දාය.අප සරසවියට වන් කළ අසල්වැසි නවයුගය සඟරාවේ මහ පුටුව හෙබවූයේ අජන්තා අය්යාය. ඔහු පත්තර මහ ගෙදරට ගොඩ වැදී තිබුණේ මුලින්ම සරසවියටය.පසුව සිළුමිණ ට ද දිනමිණ ට ද එක්ව පුවත්පත් කලාවේ ඇසූ පිරූ තැන් ඇති කර ගත් අජන්තා රණසිංහයන් දිගු කලක් නවයුගයේ මුල් පුටුව හෙබවුයේය.ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රිස්යෙන් ද පෑන හැසිරවිමෙහි සමත්ය.එහෙත් ඔහුගේ ගී පද වැල් රචනා වූයේ සුමුදු සිංහල බස් වහරිනි.

අභාවප්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරයන් අජන්තා රණසිංහයන් ගැන කියා තිබුණේ මෙහෙමයි.

“අප රට මෑත ඉතිහාසයේ වැදගත්ම ජනකොටස හැටියට සටහන් වන පසුගිය දස වසර තුළ තරුණයන් වූ පරපුරේ චින්තනය හොදින් ප්‍රකට වූ ප්‍රකාශනය වන ගීතයේ පෙරළියක ආරම්භය සොයන්නකු නවතිනු ඇත්තේ අජන්තා රණසිංහගේ ගීත අතරය.ඒ ඉහතින් කී තරුණ පරපුරේ ලොකු අය්යා ඔහුයැයි සිතමි‘.

ආචාර්ය අජන්තා රණසිංහයන් ගැන එයට වඩා ටීකා ටිප්පණි ඇවැසි නැත

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණමය යුගය කවදාදැයි අසන කල එයට දෙන්නට තිබෙන්නේ එකම පිළිතුරකි.ඒ හැත්තෑව දශකයයි.ඒ කාලයේ ගීතය ශ්‍රාවකයා වෙත යවන ලද ප්‍රධාන මාධ්‍යය වූයේ රජයේ ගුවන් විදුලියයි.එය නිල නොවන මට්ටමින් ගීතයේ පරිපාලකයා විය.ඉඳ හිට ඇතැම් නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අවලං තීරණයක් දෙකක් ගනු ලැබුව ද සමස්තාර්ථයක් ලෙස ගත් කළ අපේ රස වින්දනය පුළුල් කිරීමට ගුවන් විදුලිය එකල මහත් සේවයක් කළ වග අවිවාදිතය.එයට වඩාත් විපුල ඵල නෙළන්නට හැකි වූයේ එයට ගෝචර වන තරුණ සංගිත අධ්‍යක්ෂවරුන් ගීත රචකයන් ගායකයන් ආදින් පෙළක් ද ඒ හරහා බිහි වීම හේතුවෙනි.අද මෙන් ඕනෑම කෙනෙකුට හිතන හිතන විධියට ගීතයක් ගයා එය විසූක දස්සන හරහා ලෝකයට ගෙන යා නොහැකි එකල ගීතයේ අපූර්ව පදමාලාවට ද තනුවට ද වාහකයා ලෙස ගායකයා ටද ඉහළ තැනක් තිබිණ.මේ පරම්පරාවේ පුරෝගාමි ගීත රචකයකු වූ ආචාර්ය අජන්තා රණසිංහයන් අප අතරින් වෙන්ව මෙම 27 වැනි දිනට දෑවුරුද්දක් පිරෙයි. ඔහු උපන්නේ 1940 වසරේ මැයි මස 30 වැනි දිනය.

රටට මහා ගීත රචකයකු වුව ද අපට අජන්තා අය්යාය.අය්යා පැවසුවේ වැඩි ආදරයටය. ඒ අජන්තා අය්යා ජිවිතයේ වැඩි කලක් සේවය කළේ පත්තර මහා ගෙදර හින්දාය.අප සරසවියට වන් කළ අසල්වැසි නවයුගය සඟරාවේ මහ පුටුව හෙබවූයේ අජන්තා අය්යාය. ඔහු පත්තර මහ ගෙදරට ගොඩ වැදී තිබුණේ මුලින්ම සරසවියටය.පසුව සිළුමිණ ට ද දිනමිණ ට ද එක්ව පුවත්පත් කලාවේ ඇසූ පිරූ තැන් ඇති කර ගත් අජන්තා රණසිංහයන් දිගු කලක් නවයුගයේ මුල් පුටුව හෙබවුයේය.ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසීයෙන් ද පෑන හැසිරවිමෙහි සමත්ය.එහෙත් ඔහුගේ ගී පද වැල් රචනා වූයේ සුමුදු සිංහල බස් වහරිනි. ඔහු ගේ ගීත උපයුක්ත බස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ඉංගී‍්‍රසි උගත්තෙකු නොව පන්නල රජයේ විදුහලේ ගැමියෙකු සිහිපත් කළේය.ඔහු කොළඹ එන්නේ කුලියාපිටියේ තලම්මැහැර ගම්මානයේ සිටය.පියා වෛද්‍යවරයෙකි.අම්මා මුලින් ගුරුවරියකි.පසුව තැපැල් ස්ථානාධිපතිවරියකි. දොස්තර තාත්තා ගේ බලාපොරොතුතව පවුලේ දෙවැනියාව ඉපැදුණු ලොකු පුතා තමා මෙන්ම දොස්තර වරයෙක් කරන්නටය.තාත්තා ගේ බලාපොරොතුව බිඳ වැටෙනුයේ අජන්තාට දෙවරක්ම මහ ගෙවල් දෙකකදී සරස්වතිය මුණ ගැසීමෙනි.පළමුව මුණ ගැසෙන්නේ ගුවන් විදුලි මහ ගෙදර වන ලංකා ගුවන් විදුලියේ දීය.ඒ සරස්වතී මණ්ඩපයයි.දෙවැනුව ලේක් හවුස් ආයතනයේ සරසවියයි.ඔහු ගී රචනා කලාවට අත්පොත් තබනුයේ ගුවන් විදුලියෙනි. ආචාර්ය නන්දා මාලිනියගේ මෙන්ම අජන්තා රණසිංහයන්ගේත් මුල්ම තැටියට නැගුණ ගීය බිහි වනුයේ එයිනි.

දුර පාවෙන මේකුළු ගුවනේ-
සුදු පාටට කොහොමද මැවුණේ එහි මුල් පදවැලයි

.පසුකලක සිය මුල්ම ගීත එකතුව අජන්තා අය්යා විකසිත පෙම් නමින් නම් කොට පිළිගන්වනු ලබනුයේ එකී ගීතයට සංගිතය නිර්මාණය කළ ඩී.ඩී.ඩැනී සංගිතවේදියාණන්ටය.සිය මුල්ම ගීතය බිහි වීමෙහිලා කරුණාරත්න අබේසේකර,චිත්‍රානන්ද අබේසේකර සහ සරත් විමලවීර යන ගීත රචකයන් තිදෙනාටම කෘතවේදිත්වය ඔහු එහිදී පිරි නමයි.

.එයින් දශකයන ඇවෑමෙන් ආචාර්ය අජන්තා රණසිංහයන් සිංහල ගීතයට නැතුවම බැරිවෙයි.ඔහු සිනමා ගී රචනයට වාසනා චිත්‍රපටය ඔස්සේ ද නාට්‍ය ගී රචනයට අංගාරා ගඟ ගලා බසී ඔස්සේ ද ටෙලිවිෂන ගීතයට ගැහැණු ළමයි ටෙලි වෘතාන්තය ඔස්සේ ද එක්වූයේය. එමෙන්ම වින්කල් බාස්,ක්‍රිස්තුනි කරුණා කළ මැනව,මට ළඳුනි වරම් නැත යන නවකතාවන් සමග අජන්තා නව කතා රචකයකු වෙයි.

කිසියම් විශේෂ අවශ්‍යතාවක් උදෙසා රචනා කරන ලද ගීත ගොන්න අත් හළ විට ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් නිර්මාණය කරන ලද හැම ගීතයකම ජිවිතය පෙරළා ඔහු ලද අත්දැකීම් නිර්ව්‍යාජව හෙළි කළ රචකයකු අපට මුණ ගැසෙයි.ඒ අතර ගැටවර වියේ පරාජිත තුරුණු පෙම්වතෙකු විද්‍යාමාන වෙයි.ඒ පෙම්වතා කිසි කලක සිය පෙම්වතියට නිය පිටින් හෝ උවැදුරක් වන්නට නොපතන නිර්ව්‍යාජ පෙම්වතෙකි. මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ බැරි වුණි කියා ගන්නට හිත බැඳී ආලේ යැයි වරක විස්සෝප වන රචකයා

හිතේ කඳුළු බිඳු රෑ තනියානේ
ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳීනා සද
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා යනුවෙන් තවත් වරක සද්භාවයෙන් ප්‍රාර්ථනා කරයි.

ඔහුගෙ මුහුණේ නළලට වැටෙන හැම විටම ඇති කෙස් රොද දඟකාර එකකි. මේ දඟකාර කෙස් රොද උරුම කර ගත් නිර්මාණකරුවන් දෙදෙනෙක් මගේ මතකයේ එයි.එක් අයෙක් අජන්තා රණසිංහයන්ය.අනික් තැනැත්තා කරුණාසේන ජයලත්ය.ජයලත් මහත්තයා ගේ කෙස් රොද පරාජිත පෙම්වතාගේ භූමිකාවට අනුරූප මැව් දිලිප් කුමාර් ගේ ආකර්ෂණය නිසා උරුම කොට ගත්ත එකක් යැයි කියා තිබිණ.අජන්තා අය්යා ගේ නළලට වැටෙන කෙස් රොදත් දිලිප් කුමාර් නිසා හදා ගත්තාදැයි මට කිසි කලක අසන්නට වූයේ නැත.එහෙත් අජන්තා අය්යා අතින් ලියැවුනු බොහෝ ගිතයන් පසුපස ඔහුගේ ජීවිතයේ සියලු සතුට දුක්ඛ දෝමනස්සයන් පිරි ඉතිරී ගිය නොරහසකි. එබඳු ගිතයන්ගේ ඇති නිර්ව්‍යාජ අත්දැකීම ඔහු අපට පෙරළා තිළිණ කළේය.එකල සරසවියත් නවයුගය සඟරාවත් තිබුණේ එකිනෙක යාබදවය.අජන්තා අය්යා ගිතයක් රචනා කරන අන්දම එකල අපට හුරු පුරුදුය.ඔහු ගිත රචනා කරන ලද්දේ තමන්ගේ නම සහිත කඩදාසියකය.හිසේ කෙස් අදිමින් ලියන්නට යන අජන්තා අය්යා ඒ සමග පුටුවේ පසුපසට වී මොහොතක් නිදි ගත් වතින් සිටියි.අනතුරුව යළිත් ලියන්නට පටන් ගනියි.කාර්යය අවසන් වන විට වට පිට බලන අජන්තා අය්යා මහත්මයා ඒ වැඩෙත් හරියැයි කාට හෝ ඇසෙන්නට කියයි.ඔහු කාටත් කතා කළේ මහත්මයා යනුවෙනි.දැන් මහත්මයා යැයි ආරම්භ වන කතාව දිවේ තොලේ නොගැවෙන රස කතාවක් බවට පරිවර්තනය වනුයේ හෙමිහිටය.

ඔහු ගේ ජිවිතය වටා හැමවිටම අතීතකාමයෙන් පෙළුණු මිනිසකු සිටිය වගක් මට හැඟෙයි.ඔහුගේ බොහෝ ගීතයන් හරහා ගම්‍ය වනුයේ මේ ලිපිය මුලින් සඳහන් කළ ආපසු ගමට යන්නට නොහැකි වූ මිනිසෙකු ගැනය.සත් කෝරලයෙන් කොළඹ පැමිණි අජන්තා අය්යා ජිවිතය දකින්නට උත්සාහ කරන ලද්දේ ඒ හරහාය.අවාසනාවට එම ගම්මානය අද අපට දකිනින්ට ඉතුරුව ඇත්තේ ද ඔහු විසින් රචනා කරන ලද ගීත ආශ්‍රයෙන් පමණී.රෑ පැල් රකින කුරහන් පැහෙනා ,බොල් වී අහුරු,රෑ දොලොස් පැයේ ,රෑ හදේ හිනෙකින් සීපද ඇහුණයි,විකසිත පෙම්, ආදි වු සිය ගණනක් ගීතාවලිය පවසන්නේ එයයි.ඒ ගීත මිනිසුන්ට ආදරයෙන් ලියන ලද ඒවාය.

අජන්තා රණසිංහයන්ගේ භාර්යාව සරෝජිනි අමාලි පුරෝගාමි ගායිකාවක් වන කෝකිල දේවි වීරතුංග ගේ දියණියකි.අජන්තා අය්යා අප අතහැර ගොස් අවුරුද්දක් ගත වනන්ට දින තුනකට මත්තෙන් එනම් පසුගිය වසරේ පෙබරවාරි 24 වැනි දින සරොජිනි අක්කා ද ඔහු සොයා ගියාය.ඇය එතරම්ම සිය සැමියාට ආදරය කළ වග නොරහසකි.

අප ළමා වියේ සිටිය දී අජන්තා අය්යා සිය දියණිය සාරංගා ප්‍රදීපණී වෙනුවෙන් අපූර්ව ගිතයක් ලිව්වාය. වික්ටර් රත්නායකයන් ගැයූ එම ගීතය පසුකලක සාරංගා ගේ දියණිය වෙනුවෙන් ද සෙත් කවක් විය.එපමණක් නොව ඒ දිනවල උපන් මගේ දියණියට ද එය සෙත් කවක් ලෙස මම සටහන් කළෙමි.එය මතු මතු ද මෙරට දැරියන්ට සෙත් කවක් වනු නියතය.

සිරිමා බෝ මැඩ මුනිදුන් වැඩ හිඳ
දස මර සේනා දිනූ බෙලෙන්
ජය පැන් කරඬුව දෝත දරා
නිදන්න දූ කුමරී