වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසන්න විතානගේ සිනමා විමර්ශනය -2

ප්‍රසන්න විතානගේ සිනමා විමර්ශනය -2

තෝල්ස්තෝයිගේ ලාංකික ප්‍රවේශය

ජෝන් විජේසිංහ මැදිවියද ඉක්මවූ වැදගත් පෙනුමැති පුද්ගලයෙකි. මැදිවිය ඉක්මවුවද,ජෝන් ගේ ජවය නම් පිරිහී තිබුනේ නැත. පියුමි නම් ගණිකාවගේ පහස විදින්නට ජෝන් ඇයව කුඩා හෝටල් කාමරයකට ගෙන ගියේය. නමුත් ඔහුට පියුමි ඉල්ලන සම්පූර්ණ මුදල දීමට නොහැකි වූවද, ඔහු ඔහුගේ කාර්ය නිම කළේය. තම සම්පූර්ණ මුදල නොලැබෙන බව දැනගත් පියුම්, තම සේවාදායකයා වූ ජෝන් විජේසිංහ නාන කාමරයට ගිය සැනින්, ඔහුගේ මත් පැන් වීදුරුවට නිදි පෙති කලවම් කළාය.

ජෝන් නාන කාමරයෙන් පැමිණි වහාම ඉතිරිවූ මත් පැන් සියල්ල පානය කර පියුමි සමඟම නින්දට පිවිසීය. මිනිත්තු කිහිපයකින් ජෝන් ගොර අදින්නට විය. පියුමි වහා නැගිට ජෝන්ගේ පසුම්බිය ඇර එහි තිබු මුදල් නෝට්ටු සියල්ල රැගෙන කාමරයෙන් පිටවිය. මත් පැන් වලට වැඩි පුර නිදිපෙති ප්‍රමාණයක් මිශ්‍ර වීමෙන්, ජෝන් විජේසිංහ ගේ නින්ද සදාතනික නින්දකට පරිවර්තන විය. පියුමි ඒ බව දැනගත්තේ, සොරකම් හා මිනීමැරීමේ චෝදනාවට පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගත් පසුවය.

"රෙසෙරෙක්ෂන්" යනු ලියෝ ටෝල්ස්ටෝයි ගේ අවසන් නවකථාවය. ප්‍රසන්න විතානගේ තම ඊළග සිනමා ප්‍රකාශනය තම සිතැගි ලෙස ඉදිරිපත් කරන්නට වටපිටාව සකසා ගත්තේ ආයෝජන කාර්යට අත ගසමිනි .නිෂ්පාදනය තමන් සතු වූ පසු නිර්මාණය නිදහස්ව බලපෑමකින් තොරව නිදහස්ව කර ගත හැක.

ප්‍රසන්න ලියෝ ටෝල්ස්ටෝයිගේ "රෙසෙරෙක්ෂන්" කෘතියට සිත යොමු කළේ එහි දුටු ගැඹුරත්වය නිසා වන්නට ඇත. "අනන්ත රාත්‍රිය" ප්‍රතිරූ වූයේ , "රෙසෙරෙක්ෂන්" කෘතිය වුවද, ප්‍රසන්න එය ඔහුට ආවේණික ලෙස සකස් කර ගති. කතාන්දර කීමේ කලාව ප්‍රසන්නගේ ඉදිරිපත් කිරීම තුල නැති වූවද ,"අනන්ත රාත්‍රිය තුළ කතාන්දර ස්වරූපය ගැබ්වී තිබුණි. එය සම්ප්‍රදායානුකූලව ගෙතුණු තවත් කතාන්දරයකි.

"යොවුන් වියේ සිටි දුප්පත් තරුණියක්, ප්‍රභූවරයෙක්ගේ අතින් අනාථ වේ. ප්‍රභූවරයා පොරොන්දු දුන් ලෙසම ඇයව ඔහු කෙදිනක හෝ විවාහ කරගනු ඇතැයි ඇය විශ්වාස කර ගෙන සිටින අතර ,ඔහුගේ සම්බන්ධය අරභයා ඇය දරුවෙකුද කුස දරා ඔහු එනතෙක් බලා සිටියි. මෙය හැමදාම සම්ප්‍රදායනුකුලව ගලා යන කථාසාරයකි. ප්‍රභූ වරයා ඇයව අමතක කර ඔහුගේ ප්‍රභූ පංතියටම එක්විම ., .අර දුප්පත් තරුණිය දරුවෙකුත් සමග තනිවීම, ඉන්පසු ජීවත් වීමට මගක් නැතිවීම, සහ අවසානයේ ඇය ගණිකා වෘත්තියට වැටීම, වැනි ශෛලානුගති ලක්ෂණ මෙම කථාව තුල ගැබ්වී තිබුණි.

අන් අතකට පිරිමියෙකුගෙන් අනාථ වන ගැහැනියකට ජීවත් වීම සදහා ගණිකා වෘත්තිය හැරෙන්නට වෙන රැකියාවක් නොමැත්තේද .අවම වශයෙන් වෙරළු අච්චාරු වත් විකිණීමට ඇයට නොහැකි වන්නේ ඇයි ? ඒ වූ කලි යථාර්ථයයි. නමුත් යථාර්ථයේ කොනක මායාව ගැටෙන තැන සිනමාව යැයි හදුන්වන විට ප්‍රසන්න ගේ "අනන්ත රාත්‍රියේ" පියුමිත් ලියෝ ටෝල්ස්ටෝයි ගේ "රෙසෙරෙක්ෂන්"කෘතියෙහි හී මස්ලෝවාත් ගණිකාවන් වන්නේ නිර්මාණය තුල සිදුවීම් රැසක් බිහිකිරීමටය.

සුවිසාල් ගේ නැන්දා ගේ නිවසේ වැඩ කල මෙහෙකාරිය වූ පියුමිගේ රූමත් කමට, ඔහුගේ සිත ඇදී යෑම සාමාන්‍ය සිදුවීමකි. ඇයව යහළු කර ගැන්ම, ඇයට පොරොන්දු රාශියක් දීම, ඉන්පසු ඇය සමග නිදියෑම,ලිංගීකව හැසිරීම ඒවාද සාමාන්‍ය සිදුවීමකි. ඇයගේ කුසට දරුවෙක් ලැබීම, ,ඔහු පැමිණ ඇයව විවාහ කර ගනු ඇතැයි ඇය සිතීම ද සාමාන්‍ය සිදුවීම්ය.

ඇයගේ කුසට දරුවෙකු ලැබූ බව දැනගත් පසු සුවිසාල් ඇය සමග තිබු සම්බන්ධය සම්පූර්ණයෙන්ම නතර කර ඇයට ඔහුව කිසිසේත් සොයා ගැන්මට නොහැකි ලෙස ස්ථාන වෙනස් කිරීම ද අතීශයෙන්ම සාමන්‍යය.

ඉන්පසු සුවිසාල් ව පියුමිට හමුවීමට සැහෙන කලක් ගතවේ . ඒ සිදුවීම ,ඒ හමුවීම විශ්මජනකයයි කිවහොත් වැරදි නැත. ලියෝ ටෝල්ස්ටෝයි ගේ "රෙසෙරෙක්ෂන්"කෘතියෙහි දිමිත්‍රිට , මස්ලෝවා යලි මුණගැසෙන්නෙත් මෙමවිශ්මිත රාමුව තුලමය.

ටෝල්ස්ටෝයි ගේ "රෙසෙරෙක්ෂන්"කෘතිය කියවන විට පාඨකයෙක් ලෙස දිම්ත්රි වෙනුවෙන් ඇතිවන පිළිකුල,ද්වේශය එමෙන්ම මස්ලෝවා ගැන ඇතිවන අනුකම්පාව ප්‍රසන්නගේ "අනන්ත රාත්‍රිය" සිනමා පටයේදී සුවිසාල් වෙත ඇතිවුනේ නැත.

පිළිකුල ද්වේශය වෙනුවට මොකක් හෝ දෙයක් ඇතිවේයැයි සිතුවද එසේ වුයේ නැත. ප්‍රසන්නට ඒ ද්වේශය ප්‍රේක්ෂකයාට දීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත. දිම්ත්රි හා මස්ලෝවාගේ රූපකාය අප දුටුවේ නැත. හැගුනා පමණි .එහෙයින් දිමිත්‍රි වෙත පිළිකුලද ද්වේෂයද ,එසේම මස්ලෝවා ගැන අනුකම්පාවද හිතට දැනුනි. නමුත් සුවිසාල් හා පියුමිව අප දෑසින් දකිනෙමු.

ප්‍රසන්න එය මනාව තේරුම් ගෙන තිබුණි. පාඨකයා හා ප්‍රේක්ෂකයා අතර තියෙන පරතරය නොඑසේනම් වෙනස ඔහු එලෙස තේරුම් ගත් නිසා සුවිසාල්ගේ චරිතය තුළ සමතුලිතාවය ඇතිකිරීමට ඔහු සමත් විය. එහෙයින් පාඨකයා දිමිත්‍රි සමග ඇති කරගන්නා නොසන්සුන් බව ප්‍රේක්ෂකයා, සුවිසාල් සමග ඇතිනොකර ගැනීමේ හික්මීම ප්‍රසන්න තම සිනමා කෘතියෙන් ඇති කෙරීය. එය කදිම දක්ෂතාවයකි.. පියුමිට වුවද ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව ලබා ගැනීමේ ප්‍රවනතාවය අඩුය . නමුත් සුවිසාල් ට වඩා ප්‍රේක්ෂකයෝ ප්‍රිය කලේ පියුමිටය.

"අක්කර පහ" පොත කියවා චිත්‍රපටය නැරඹු විට පොත හොදයැයි සිතේ. "ගොළු හදවත" පොත කියවා චිත්‍රපටය නැරඹු විට දෙකම හොදයැයි සිතේ . "නිධානය" කෙටි කථාව කියවා චිත්‍රපටය නැරඹු විට චිත්‍රපටය හොද යැයි සිතේ. එහෙත් ටෝල්ස්ටෝයි ගේ "රෙසෙරෙක්ෂන් කියවා ප්‍රසන්න ගේ "අනන්ත රාත්‍රිය" නැරඹු විට කුමක් කියන්නටදැයි නොවැටහෙයි . පොත හොදද , චිත්‍රපටය හොදද කියා තෝරා බේරා ගත නොහැකිය.

පියුමිගේ නඩුව විභාගයට ගන්නට පටන් ගති . සුවිසාල් ජූරි සභිකයෙක් විය. 1වන දින අවසන් විය. ඒ වන විට සුවිසාල් ඇයව හදුනාගෙන තිබුණි. 2වන දින නඩුව ඇසීමට පෙර සුවිසාල් තම හිතමිත්‍ර නීතිවරයාවූ විකී ව හමුවී ඇත්තම කථාව කීය. පියුමිව හදුනන්නේ කෙසේද?,ඔහු අතින් ඇය අනාථ වූ වග, මේ සා විස්තර, ඔහුට පැවසුවේ මෙම නඩුවට ඔහුගෙන් උපකාරයක් ගැනීමට හැකි වේයැයි සිතමිනි.

එහෙත් විකී සුවිසාල්ට කීවේ ඇය හදුනන්නැති අයුරින්ම සිටින ලෙසය .අවසානයේ දී සුවිසාල් පියුමිව නොහදුනන ලෙස සිටියා පමණක් නොව ,ජුරියේදී ඇය වරද කාරියක් ලෙස තම අත උස්සා තහවරු කළේය. පියුමි සොරකම හා මිනීමැරුම යන වරද යටතේ අවුරුදු 10 යකට සිරගෙට නියම විය.

මෙය වෙනදා මෙන් අප අසන ලස්සන කතාන්දරයකි. ප්‍රසන්න මේ කතාන්දරය අතට ගත්තේ ළමුන් වටකරගෙන "එකමත් එක රටක සිටියා"...කියමින් කියාදෙන්නට නොව. ඔහුට අවශ්‍ය වූයේ ලියෝ ටෝල්ස්ටෝයි මතු කෙරු චරිත තුළ ඇති ගැඹුරු බව ප්‍රසන්නගේ රීතිය තුළින් හුවා දැක්වීමටය.

ඔහු එයට හවුල් කරගත්තේ ඔහුට අලුත් වූ චරිත දෙකකි. ඒ ස්වර්ණා මල්ලවාරච්චි සහා රවින්ද්‍ර රන්දෙණියය. එකිනෙකට පරස්පර විරෝධී රංගනවල නිරත වූ මොවුන් දෙදෙනා අනන්ත රාත්‍රිය තුලද එවන් චරිත යුගලයකට පන පොවයි. "දඩයම"චිත්‍රපටයේ මොවුන් දෙදෙනා ආවේගකාරී වුවද, "අනන්ත රාත්‍රියේ" විරෝධය කිසියම් භාවනාත්මක ස්වරූපයක් ගෙන තිබුණි. රවීන්ද්‍රගේ රංගන පරාසය තුල තිබු ප්‍රමාණාත්මක බවට වඩා විශාලත්වයක් ස්වර්ණා ට ලැබී තිබුණි. ප්‍රසන්න ඇයව හැසිරවූ බවක් පෙනෙන්නට නොතිබුණි.

ඒ වෙනුවට ඔහු ඇයට චරිතය අවබෝධ කර තිබුණි. ස්වර්ණා තිරයේ මැව්වේ අනන්ත රාත්‍රියේ පියුමිවද, නොඑසේ නම් "රෙසෙරෙක්ෂන්"කෘතිය තුලින් බිහිවූ මස්ලෝවා ද යන්න තෝරා බේරා ගැන්මට නොහැකි සේ ඇය නිර්මාණය තුල විශිෂ්ට ලෙස ජීවත් වී තිබුණි. "සිසිල ගිනි ගනී " තුලින් ලාංකේය සිනමාවට අවතීර්ණ වූ ප්‍රසන්න විතානගේ, "අනන්ත රාත්‍රිය" තුළින් තම සිනමා මාවත තහවරු කර ගති.

තම ඉලක්කය සපුරා ගැන්මට තව බොහෝ දුර යායුතු බව වැටහුණද "අනන්ත රාත්‍රිය" තුළින් තමා එම මාවත තුළට ප්‍රවිෂ්ට වූ වග නම් ඔහුට වැටහෙන්නට ඇත. එය වඩාත් තහවරු කලේ "පුසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ ගෞරවනීය අගයකට ප්‍රසන්න විතානගේ "අනන්ත රාත්‍රිය " වෙනුවෙන් ලක් වීමය. සරසවිය සම්මාන 2 කකිනුත්, සිග්නිස් සම්මාන 2 කකිනුත් , ශ්‍රී ලංකා ෆිල්ම් ක්‍රිටික්ස් ෆොරියුම් සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂනයට හිමි සම්මානයෙනුත් ප්‍රසන්න විතානගේ සහ "අනන්ත රාත්‍රිය " චිත්‍රපටය අගයට පාත්‍ර විය.

(ලබන සතියේ තව කොටසක්)