වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

අභිඥාන ශාකුන්තලය

භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව සංස්කෘත නාට්‍යයක කථා වස්තුව

කතා වස්තුව සංස්කෘතයෙන් හඳුන්වන්නේ ප්‍රතිවෘත්තය යනුවෙනි.

ඉති+වෘත්ත

මෙසේ සිදුවිය

භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රයේදි කථා වස්තුව (ප්‍රතිවෘත්තය) නාට්‍යයේ ශරීරය ලෙස හඳුන්වනු ලබයි. භරත මුනිවරයා කථා වස්තු දෙවර්ගයක් ඇතැයි පවසයි.

1. අධිකාරික (ප්‍රධාන කථා වස්තුව)

2. ප්‍රාසංගික (අප්‍රධාන කථා වස්තුව)

අධිකාරක - කථා නායකයා (නේතෘ) ආශ්‍රයෙන් ක්‍රියාත්මක වෙමින් නේතෘගේ අපේක්ෂා හා කටයුතු විවරණය කරයි.

ප්‍රාසංගික - අනෙකුත් පාත්‍ර වර්ගයා හා සම්බන්ධ ක්‍රියා සිදුවීම් වේ. කථානායකයාගේ (නේතෘ) අපේක්ෂා සපුරාලයි.

අර්ථප්‍රකෘති - සංස්කෘත නාට්‍යයක කොටස් අංක පහක් වශයෙන් විසිරී පවතින බව භරතමුනි දක්වයි. මේවා අර්ථ ප්‍රකෘති නම් වේ.

* බිජ

* බිංදු

* පතාකා

* ප්‍රකුරී

* කාර්ය

* බීජ - ආරම්භයේ කුඩාවට ප්‍රදර්ශනය වී ක්‍රමයෙන් විහිදී විකාශනය වී ඵල දර කථා වස්තුවේ අංගය 'බීජ' නම් වේ. මෙය සමස්ත නාට්‍යයේ ක්‍රියාකාරිත්වය පුරාම බලපවත්වයි.

උදා - කාලිදාසගේ අභිඥාන ශාකුන්තලය නාට්‍යයේ දුෂ්‍යන්ත රජතුමා නාට්‍යය ආරම්භයේ මුවෙකුට විදීමට සැරසෙන විට තාපසවරු එය නවත්වති. එවිට රජතුමා එයට එකඟ වේ. එවිට වෛචානය විසින් රජුට ආශිර්වාද කරයි.

'මෙවන් උතුම් ගති ගුණ ඇති චක්‍රවර්ති රජකම හිමිවන පුත් රුවනක් ඔබට ලැබේවා'

මෙම ප්‍රාර්ථනය නාට්‍ය පුරාම බල පවත්වයි. අවසානයේ එය මල්ඵල දරයි.

* බිංදු - කථානායකයා (නේතෘ) සිය අරමුණ කරා ළඟාවීමේදී මතුවන බාධක මඟ හරින්නේ 'බිංදු' විසිනි. මෙම අංගය ද මුල් නාට්‍යය පුරාම ව්‍යාප්තව පවතී.

උදා - අභිඥාන ශාකුන්තලා නාට්‍යයේ ප්‍රථම වරට සකුන්තලා දැකිමෙන් පසුව නැවත ඇය හමුවීමේ අපේක්ෂාවෙන් සිටින දුෂ්‍යන්ත රජුට තාපසාරාමය රකුසන්ගෙන් රැක දෙන ලෙස තාපසයන් කරන ආයාචනය.

* පතාකා - නේතෘගේ ඉෂ්ටාර්ථ සිද්ධිය සඳහා අන් පාත්‍රයන් දක්වන ක්‍රියාකාරිත්ය පතාකා නම් වේ. අංක කිහිපයක් පුරා විහිදී පවත්නා සිදුවීම් මෙයට අයත් වේ.

උදා - ශාකුන්තලා නාට්‍යයේ විදුෂක, අනුසුයා ප්‍රියංවදාගේ කාර්යභාරය

ප්‍රකිරි - කථා නායක නායිකාදීන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම වක්‍රාකාරයෙන් උදව් වන අතර නාට්‍ය වස්තුවෙන් සුළු කොටසකට පමණක් සීමා වේ. ඇතැම් විට එක සිද්ධියකට පමණක් සීමා විය හැකිය.

උදා - ශාකුන්තලයේ ධීවරයා සම්බන්ධ සිදුවීම

කාර්ය - නායක නායිකාදීන්ගේ බලාපොරොත්තු මුදුන් පත්වීමයි. මෙම අංගය ද මුළු නාට්‍ය පුරාම විහිදී පවතී.

උදා - ශාකුන්තලයේ දුෂ්‍යන්ත සහ සකුන්තලා හේමකූට පර්වතයේදී නැවත එක්විම.

කථා වස්තුවේ අවස්ථා (අවස්ථා පංචකය) භරතමුනි දක්වන ආකාරයට කථා වස්තුව අවස්ථා පහකින් සමන්විත වේ.

1. ආරම්භ (ප්‍රාරම්භ)

2. යත්න (ප්‍රයත්න)

3. ප්‍රාප්ත්‍යාශා (ප්‍රාප්තිසම්භව)

4.නියතාප්ති (නියත ඵල ප්‍රාප්ති)

5. ඵලාගම (ඵලයෝග)

ආරම්භ - නේතෘගේ අරමුණ ප්‍රථම වරට ප්‍රේක්ෂකයා දැනගන්නා අවස්ථාව

උදා - අභිඥාන ශාකුන්තලයේ දුෂ්‍යන්ත රජතුමා තුළ ප්‍රථම වරට සකුන්තලා දැකීමෙන් ඇති වූ හැඟීමයි.

යත්න - නේතෘගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා දරන සියළුම උත්සාහයන් 'යත්න' නම් වේ.

උදා - ශාකුන්තලයේ ප්‍රථම වතාවට දැකීමෙන් පසු දුෂ්‍යන්ත රජතුමා සකුන්තලා නැවත හමුවීමට උත්සාහ දැරීම.

ප්‍රාප්ත්‍යාශා - නේතෘගේ අරමුණ ඉටුවේද නොවේ ද යනුවෙන් කුතුහලයක් ඇතිවන අවිනිශ්චිත අවස්ථාවයි. උදා - ශාකුන්තලයේ 5 වන අංකයේදී දුෂ්‍යන්තට හඳුනා ගැනීම පිණිස ගෞතමි විසින් සකුන්තලාගේ අවගුණඨනය ඔසවා ඇගේ රුව දුෂ්‍යන්තට දැකගන්නට සැලැස් වුවද ඔහුට ඇය හඳුනාගන්නට නොහැකි වෙයි.

නියතාප්ති - අරුමුණ ඉටුවන බවට ලකුණු පහළ විම

උදා - 06 වන අංකයේ ධීවරයකුට මත්ස්‍යයෙකුගේ බඩෙහි තිබී හමු වූ මුදුව රජුට පෙන් වූ විට රජුට කිසිවකු මතක් වී දෙනෙතට කඳුළක් නැඟුණු බව පුරපති පවසයි. එවිට දෙදෙනාගේ එක්වීම නියත බව අපට අවබෝධ වේ.

ඵලාගම - නේතෘගේ බලාපොරොත්තු ඉටුවීම හෙවත් ඉෂ්ඨර්ථ සිද්ධිය සිදුවීම

උදා - 07 වන අංකයේදී දුෂ්‍යන්ත රජු සර්වදමන නම් තම පුතු හඳුනා ගැනීම, සකුන්තලා සමඟ එක්වීම

නාට්‍ය විචාරය

නාට්‍ය නරඹා පළ කරනු ලබන ගුණ දොස් නාට්‍ය විචාරය ලෙස සලකනු ලබයි. බොහෝ විට මෙසේ අදහස් දක්වන්නේ නාට්‍ය විචාරකයෝය. නාට්‍යයේ සංවර්ධනය සඳහා නාට්‍ය විචාරය අත්‍යවශ්‍ය වේ. නාට්‍ය විචාරය මත නාට්‍යයේ වෙනස්වීම් පවා සිදුවේ.

නාට්‍ය විචාරයේදී සැලකිල්ලට ලක් කළ යුතු කරණු

(1) නාට්‍ය පෙළ - තේමාව, කතා වස්තුව, සන්දර්භය, ජීවන දෘෂ්ටිය පිළිබඳ විග්‍රහ කිරීම හෝ අදහස් පළකිරීමේ පර්වර්තනයක් හෝ අනුවර්තනයක් නම් එහි මුල් කෘතිය, රචකයා පිළිබඳ විමසීම

(2) අධ්‍යක්ෂණය - එම කාර්යයේ සාධනීය නිශේධනීය අංග විචාරයට ලක් කිරීම

(3) රූපණය - නළු නිළියන්ගේ රඟපෑම්වල සාර්ථක අසාර්ථක බව නිශ්චය කිරීම

(4) අනුෂාංගික අංග - ඒවායේ උචිත අනුචිත බව විමසීමට ලක් කිරීම

(5) සමකාලීන සමාජ, ආර්ථික, දේශපාලනික පසුබිම කෙතරම් දුරට නියෝජනය කරයි ද යන වග

(6) වර්තමාන ප්‍රේක්ෂකයා කිනම් රසාස්වාදයක් ලැබිය හැකි ද යන්න පෙන්වා දීම

(7) අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා නිවැරැදි කරගත හැකි මාර්ග යෝජනා කිරීම

(8) නිවැරැදි ඇගයීමක් කරමින් එම නාට්‍යයට හිමි තැන එහි අගය හා වටිනාකම තක්සේරු කිරීම

නාට්‍ය විචාරය නාට්‍ය කලාවේ උන්නතියට හේතුවන ආකාරය

* නාට්‍යයේ ගුණ දොස් පෙන්වා දීම මඟින් නාට්‍යයේ නැවත වෙනස්විම් සිදුකොට සංවර්ධනය කරගත හැකිවීම.

* නාට්‍යකරුවාගේ නළු නිළියන්ගේ, අනුෂාංගික ශිල්පීන්ගේ අනාගත නාට්‍ය නිර්මාණාත්මක කාර්යයන් වඩාත් සාධනය මට්ටමකින් සිදු කළ හැකි වීම

* ප්‍රේක්ෂකයාට උසස් නාට්‍ය නිර්මාණ තෝරා බේරා ගෙන රස විඳිය හැකිවීම, ඔවුන්ගේ රස වින්දන ශක්‍යතාව පුළුල් වීම

* දේශීය නාට්‍ය කලාවේ සංවර්ධනයක් සිදුවීම

වර්තමාන දේශීය නාට්‍ය විචාරය

* අතීතයට සාපේක්ෂව නාට්‍ය විචාරයන් මෙන්ම නාට්‍ය විචාරයන් මෙන්ම නාට්‍ය විචාරකයන් ද දුර්ලභ වීම

* නාට්‍ය පෙළ පමණක් විචාරයට ලක්වීම. රූපණ, අධ්‍යක්ෂණ, ආනුෂාංගික අංග සහ එහි භාවිතය විචාරයට ලක් නොවීම

* සතුරු මිතුරු ආකල්පයක සිට නාට්‍ය විචාරය කිරීම

* නාට්‍ය කෘතිය නොව නිර්මාණය කළ පුද්ගලයා විචාරය කිරීම