වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




FTT tribute to sri lankan ads යූ ටියුබ් ඔස්සේ රසවිඳින්න

FTT tribute to sri lankan ads යූ ටියුබ් ඔස්සේ රසවිඳින්න

වෙනස්ම ආරක ගීතයක්
විනාඩි 9 යි : තත්පර 30 ක් වෙළෙඳ දැන්වීම් 35 ක් ඇතුළත් ගීතයක්
තාල වාද්‍ය භාණ්ඩ භාවිත කරලා නැහැ
සමහරු අන්තිම දර්ශනයේදී වැඩේ වරද්දගෙන

දිනෙන් දින අන්තර් ජාලයට එකතු වන මියුසික් වීඩියෝ ගණන ඉතාම ඉහළයි. ඒවායින් බහුතරයක් ඒකකාරීයි. මතකයේ රැඳෙන්නෙත් නැති තරම්. ඒ අතරින් වෙනස්ම ආරක ගීතයක් අහම්බෙන් අහන්න ලැබුණා. ඒක නිර්මාණය වෙලා තිබුණේ ලංකාවේ මෙතෙක් බිහි වූ වෙළෙඳ දැන්වීම් කිහිපයක එකතුවෙන්.

එම දැන්වීම්වල භාවිතා කළ වචන, රිද්මය, ගී පද එහෙම්පිටින්ම මෙම ගීතය සඳහා ඇතුළත් වෙලා තිබුණා. මෙහි වීඩියෝව ද හරිම වෙනස්. එකම කැමරා පටිගත කිරීමක් එහෙමත් නැත්නම් එක දිගට සංස්කරණය නොකළ රාමුවකයි ගීතයේ රූප රචනාව නිම වෙලා තියෙන්නේ. ගීතයේ කාලය විනාඩි නවයයි තත්පර තිහක්.

ඒ කාලය තුළදී එක දිගට ගීතය ධාවනය වෙනවා. කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ගීතයේ රූප රාමුවට සැරින් සැරේ ඇවිත් නළු නිළියන් රඟපානනවා. මේ අපූරු ගීතයේ සංකල්පය එස්. ටී. ටී. ටීම් එකේ සාමාජිකයන් දස දෙනෙකු පමණ එයට ඇතුළත්. එස්. ටී. ටී. ටීම් එකට ලීඩර් කෙනෙක් නැති වුණත් අදීශ මෛත්‍රි සහ අනුරාධ සිගේරා එහි මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

ගීතය සඳහා වෙළෙඳ දැන්වීම 35 ක් අඩංගුයි. එස්. ටී. ටී. ටීම් එකේ පිරිස එක්කාසුවෙලා ඒවා එකතු කරලා ගීතය ලිව්වා. වීඩියෝ එක වන්ටේක් ගන්න ඕනෑ. ඒ හින්දම දවස් හතරක් පුරා ගීය රූගත කළ ලොකේෂන් එකේ රිහසල් කළා. දවස් හතරකට පසුව ෂූට් එක කරන්නට පටන් ගත් වෙලාවේ සිට ටේක් පහළොවක් පමණ යනකම් ඔවුනට අවශ්‍ය පරිදි වීඩියෝව රූපයට නගන්න බැරි වෙලා. සමහරු අන්තිම දර්ශනයේදී වැඩේ වරද්ද ගන්නවලු.

රූපගත කිරීම් තිබුණු දිනට පහුවෙනිදා හරියට පාන්දර පහට විතරලු නිවැරිදි වීඩියෝවේ ටේක් එක ගත්තේ. එතකොට රඟපාපු පිරිස හොඳටෝම හෙම්බත් වෙලාලු. මේ ගීතයේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තාල වාද්‍ය භාණ්ඩ කිසිත් මේ සඳහා භාවිත කරලා නැහැ.

ඒ හිදැස පුරවලා තියෙන්නේ මුවින් පමණක් ලබා දුන් ශබ්දවලින්. එස්. ටී. ටී. කණ්ඩායමේ හතරවැනි නිර්මාණය විදිහටයි මෙය එළිදැක් වුණේ. එහෙම නිර්මාණය වුණු මේ සඳහා නොසිතූ විරූ ප්‍රතිචාර ලැබෙන බව අදීශ අපිත් එක්ක කිව්වා.