වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ලිංගික දර්ශන මට බෑ

ලිංගික දර්ශන මට බෑ

නවක නිළි රයනි ආකර්ෂා

මත් ද්‍රව්‍ය, සමාජ රෝග හා ඒ ආශ්‍රිතව සමාජයට සෘජුව බලපෑම් කළ හැකි අනෙකුත් තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක් වූයේ මීට බොහෝ කලකට ඉහත සිටය. වර්තමානය වන විට ඊට දායකවීම උදෙසා මෑතකදී සමාජය තුළ කතිකාවක් ගොඩනැඟූ එක් වැඩ සටහනක් ලෙස හිරු නාළිකාවේ විකාශය වන ‘මං නැති දා’ හඳුන්වා දිය හැකිය. එහි පෙම්වතිය වන ‘චම්පි‘ යන චරිතය ප්‍රේක්ෂක ඔබට සමීප කළ නව පරපුරේ නිළියක වන රයනි ආකර්ෂා පසුගියදා සරසවියට පැමිණියා. මේ අප ඇය සමඟ කළ කතාබහයි.

* ඉතින් කෙහොමද රයනි?

මම හොඳින් ඉන්නවා.

* රංගනය ආරම්භ කළේ?

මම අධ්‍යාපනය ලැබුවේ මදුරන්කුලිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඒ කාලයේ ඉඳන්ම නර්තනයට, රංගනයට, ගායනයට මෙන්ම කවි ගීත රචනයට ගොඩක් ඇලුම් කළා. ඒ අනුවයි පසුකාලීනව මා ක්ෂේත්‍රයට යොමු වන්නේ.

* අනතුරුව කැමරාවක් ඉදිරියේ මුලින්ම රංගනයට පිවිසෙන්නේ?

මුලින්ම කැමරාව ඉදිරියේ රංගනයට එක් වන්නේ චාමර ප්‍රභාත්ගේ ‘චණ්ඩි මල්ලි‘ යන DVD චිත්‍රපටයෙන්. ඉන් පසුවයි මම සුරේෂ් අල්විස්ගේ ‘මං නැතිදා’ සමග සම්බන්ධ වෙන්නේ.

* රංගනයට අමතරව ඔබ වෙනත් කලා ක්ෂේත්‍රවල නියැළෙනවා?

ඔව්. මම නර්තනය හා ගායනය යන ක්ෂේත්‍රවල නියැලෙනවා. නුවන් නදීක ප්‍රමුඛ ‘Loverage’ සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනිය වශයෙන් ද මම මේ වන විට කටයුතු කරනවා.

* නව නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවත් ඇති?

ලැබෙනවා නම් තමයි. ඒත් තෝරා බේරාගෙන තමයි දායක වෙන්නේ. ලිංගික දර්ශන ඇතුළත් නිර්මාණ ගණනාවකට රංගනය සඳහා ආරාධනා ලැබුණත් ඉතාම සුහදව මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඉදිරියටත් එවැනි නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් නම් නෑ.

* ක්ෂේත්‍රය පිළිබඳ ඔබගේ අදහස?

රංගනය මහා විෂය සමුදාය අධ්‍යයනය කළ යුතු වන ක්ෂේත්‍රයක්. මම තවමත් රංගනයට ආධුනිකයි. තවත් ඉගෙන ගත යුතු කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ ගුරුහරුකම්, ආශිර්වාදය මැද, ලැබෙන චරිත හා පිටපත් පිළිබඳ අවබෝධයෙන් යුතුව ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

* ඒ කියන්නේ ඔබට තවම ප්‍රේක්ෂක ආදරයට පත් විය හැකි මට්ටමේ චරිතයක් ලැබුණේ නෑ?

ඇත්තෙන්ම. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ එවැනි නිර්මාණයකට ඉදිරියේදී දායක වීම මගේ එක් සිහිනයක්.

* එවැනි නිර්මාණයකට අවශ්‍ය සුදුසුකම් ඔබ ළඟ තිබෙනවා?

ඔව්. ඒ සඳහා අවශ්‍ය හැකියාව සහ ශක්තිය මා තුළ නොඅඩුව තිබෙන බව මම තදින් විශ්වාස කරනවා සහ ඒ සඳහා කැප වෙන්නට මට පුළුවන්.

* ගෙදරින් ලැබෙන සහයෝගය ගැන සඳහන් කළොත්?

ගෙදර අම්මා, තාත්තා, මල්ලී ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ. ඒ වුණත් ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයෙන් යුතුව මට අවශ්‍ය සහය උපරිමයෙන් ලබා දෙනවා. ඒ සහයෝගය මට වචනයෙන් කියා නිමා කරන්න අමාරුයි.

* රයනිට මෙතෙක් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට අත දුන් අය පිළිබඳ පැවසුවොත්?

නම් වශයෙන් කියන්න අපහසුයි. පළමුව ගෙදර අය. ඒ හැරුණු විට මගේ ගුරුවරුන් සියලු දෙනාට, ඒ වගේම මගේ හැකියාවන් හඳුනාගෙන නිර්මාණ සඳහා මාව දායක කරගත් සියලුම නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට, මෙතක් ක්ෂේත්‍රය තුළ ගුරුහරුකම් දුන් සියලුම ප්‍රවීණයන් මෙන්ම වචනෙකින් හරි මාව දිරිමත් කළ සියලුම දෙනාට මම හද පතුලෙන්ම ස්තුතිවන්ත වෙනවා.

* අනාගත බලාපොරොත්තු එහෙමත් ඇති?

රංගනය පිළිබඳ හදාරමින්, විශේෂයෙන් එහි ප්‍රායෝගික අත්දැකීම් ලබමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි මට්ටමේ නිර්මාණ සඳහා දායක වෙමින් ඉවසීමෙන් යුතුව හෙමින් ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව.

කිසියම් ක්ෂේත්‍රයක දිගු ගමනක් යෑමට එහි මහා සම්ප්‍රදායයන් අධ්‍යයනය කළ යුතුම වේ. එවන් මහා විෂය සමුදායක ඇරඹුමේ පියවර තබන රයනි තවමත් හිරිමල් වයසේ යෞවනියකි. ඇය දැනුමෙන් හා හැකියාවෙන් පරිණතව රංගනයේ දිගු ගමනක් යෑමට පෙරුම් පුරන්නීය. ඒ සඳහා ඇයට අවකාශ සැලසේවා යන්න අපගේ පැතුමයි.