වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට

රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට

සුපිරි නළු රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ නවතම සිනමාපටය ඩොක්ටර් නවරියන් හෙට සිට තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙය රන්ජන් රාමනායක ෆිල්ම්ස් සහ ෆ්ලෑෂ් එන්ටර්ටෙන්මන්ට් ආයතනයේ ඉදිරිපත් කිරීමකි. රන්ජන් රාමනායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, රුවංගි රත්නායක, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාරද කොස්තා, සඳුන් විජේසිර, රොනී ලීච්, සරත් තොතලාවල, අකිල සඳකැළුම්, නිපුනි විල්සන්, මානෙල් චන්ද්‍රලතා, නිල්මිණි කොට්ටේගොඩ, නන්දන හෙට්ටිආරච්චි, චතුර පෙර්රා, රාජසිංහ ලෝලුවගොඩ, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, කීර්ති රත්නායක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති.

ඩොක්ටර් නවරියන් සිනමාපටයේ තිරරචනය ලාල් ප්‍රියදේව සමඟ ශෝභන්ගි පූර්ණිමාගෙනි. ගාමිණි මොරගොල්ලාගම, ජනිත් ගුණසේකර සහ ඉන්දික අත්තනායක කැමරා අධ්‍යක්ෂණය, එෂාන් මොටාගෙදරගේ සංස්කරණයකි. දිනේෂ් සුභසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. සම්පත් රත්නායක සහ කුමාරසිරි ද සිල්වා සහාය අධ්‍යක්ෂණයෙන් එක්විය. නිෂ්පාදන සම්බන්ධීකරණය ලකී වීරසිංහගෙනි. ටෙඩි විද්‍යාලංකාර, සටන් අධ්‍යක්ෂවරයාය. ගීපද රචනා චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සජිත් පී. චතුරංගගෙනි. රන්ජන් රාමනායක, උරේෂා රවිහාරි සමඟ හෙක්ටර් ඩයස් ගායනයෙන් එක්වූහ. රෝලන්ඩ් රොචිනි වැන්ට්‍රවෙස්ට්, තාරක අධිකාරි සමඟ ප්‍රියංක තිලකරත්නායක අංගරචනා ශිල්පියෝය. හේමන්ත බන්ධනගේගේ නිෂ්පාදන කළමනාකරණයකි.


කොළඹට අධි සුඛෝපභෝගි සිනමා ශාලා සංකීර්ණ රැසක්

මෙරට සිනමා ලෝලීන්ට නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු අති සුඛෝපභෝගී සිනමා ශාලා රාශියක් මේ වන විට කොළඹ නගරය පුරා ඉදිවෙමින් පවතියි. සිනමාපටයක් සිනමාපටයක් ලෙස රස විඳීමේ හැකියාව ඇති මෙම සිනමා ශාලා ලබන වසර වන විට ප්‍රේක්ෂක අයිතියට පත්වීමට නියමිතය. අභිනවයෙන් විවෘත වූ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ සිනමා ශාලා පහක් ද කොම්පඤ්ඤවීදියේ සාප්පු සංකීර්ණ දෙකක සිනමා ශාලා දහයක් ද, පුරහල අභියස ඔඩෙල් සංකීර්ණයේ සිනමා ශාලා රැසක් ද හැව්ලොක් ටවුන්හි සිනමා ශාලා දහයක්ද මේ වන විට ඉදිවෙමින් පවතියි.

මෙම සිනමා ශාලා මෙතෙක් මෙරට ප්‍රේක්ෂකයන් නොදුටු අතිශය නවීන සිනමා ශාලා වන අතර ලෝකයේ අති නවීන චිත්‍රපට අත්දැකීම් සිනමා රසිකයනට එමඟින් ළඟා වනු ඇත.


 දේදුණු ආකාසේ වාර්තාගත ආදායමක්

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ සිනමාපටය තිරගතවීම ආරම්භ කොට මේ වන විට දින 50 ඉක්මවා තිබේ. එහි සමස්ත ආදායම නවකෝටි හතළිස් අට ලක්ෂයක් බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය.

සුන්දර ආදර කතාවක් වන දේදුනු ආකාසේ ප්‍රියන්තගේ පස්වැනි සිනමා නිර්මාණය වේ. හේමාල්, චුලක්ෂි සහ ටීනා දේදුනු ආකාසේ ප්‍රධාන චරිත මවති. මෙම සිනමාපටය ඊ. ඒ. පී. මණ්ඩලයේ නිෂ්පාදනයකි.


හිතපු නැති ප්‍රතිචාරයක්

සීමා නෑ ආකාසේ සිනමාපටයේ අධ්‍යක්ෂ තිස්ස බාලසූරිය අපට දුරකතන ඇමතුමක් දුන්නා.

සීමා නෑ ආකාසෙ සිනමාපටය නරඹපු වැඩිහිටියන් බොහොමයක් මට කතා කළා. ඉතිං වැඩි දෙනෙකු චිත්‍රපටයේ ඉන්න මවුපියන් වගේ දරවන් ගැන වැඩිය සංවේදි නොවුණු අය. ඒ අය මට ප්‍රශංසා කළා චිත්‍රපටය තුළින් කිසිවකුත් නොදකින මානයක් පෙන්වා දුන් එකට. මටත් බෙහෙවින් සතුටුයි. ඒ එය මං කවදාවත් හිතපු නැති ප්‍රතිචාරයක් හින්දා.


මියැසි දැහැන සුභාවිත ගීත කලාලය 09දා

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල්වලට අවශ්‍ය ද්‍රව්‍යමය භාණ්ඩ හා උපකරණ ලබාදීමේ අරමුණින් කැලණිය විශ්වවවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ ගම්පහ ශාඛාව ක්‍රියාත්මක කරන පාසල් සිසු සත්කාරක වැඩසටහනට ආධාර පිණිස 'මියැසි දැහැන සුභාවිත ගීත කලාලය' සංගීත රාත්‍රිය දෙසැම්බර් 09 වන දින රාත්‍රී 7.00 ට යක්කල රමාධි හෝල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ගායක සහ සංගීත අධ්‍යක්ෂ ජයන්ත රත්නායක ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගීත කලාලයට එක්විමට නියමිතයි.


හුළඟ සැර වැඩියි රූ ගැන්වීම් නිමයි

නිහාල් ප්‍රනාන්දුගේ නවතම සිනමා සිතුවමේ රූපගත කිරීම් පසුගියදා නිම විය. පාසලක් කේන්ද්‍ර කර ගනිමින් ලියැවුණු කතා පුවතකින් සමන්විත එය නම් කොට ඇත්තේ හුළඟ සැර වැඩියි යනුවෙනි.

රවීන්ද්‍ර රන්දෙණිය, රෝහණ බැද්දගේ, නාමෙල් වීරමුණි, මානෙල් විරමුණි, නිහාල් ප්‍රනාන්දු, නිමන්ති පෝරගේ, රනිල් කුලසිංහ, සඳලි ප්‍රනාන්දු, අවිශ්ක අධිකාරි, දිලි දිසානායාක ඇතුළු පිරිස මෙහි චරිත රංගනයේ යෙදෙති.

නිරංග සංජීව කැමරා අධ්‍යක්ෂවරයාය. බුවනෙක රණවකගේ අංග රචනයකි. හිමාල් ධර්මරත්න සංස්කරණයෙන් එක් වෙයි. තාරි ප්‍රනාන්දුගේ කලා අධ්‍යක්ෂණයකි. සුළඟ සැර වැඩියි සිනමාපටය වෛද්‍ය ප්‍රසාද් පතිරණ සහ ගෝල් සිනෙ ක්‍රියේෂන් හි නිෂ්පාදනයකි.