වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තලාගේ ආදරේ

තාත්තලාගේ ආදරේ

බ්‍රැඩ් විටේකර් බෙහෙවින් කරුණාවන්ත ගති ගුණවලින් හෙබි ගුවන්විදුලි විධායක නිලධාරියෙක්. ඔහු දැඩි ආසාවෙන් පසු වන්නේ තම බිරියගේ පෙර විවාහයේ දරුවන්හට හොඳම සුළු පියා වීමටයි.

සාරා විටේකර් මීට පෙර විවාහ වී සිටියේ ඩස්ටි මේරොන් සමඟින්. ඩස්ටි සමාජශීලි මෙන්ම නිදහස් ගති පැවතුම් ඇති සම්ප්‍රදායට ගරු නොකරන පුද්ගලයෙක්.

තම දරුවන් සමඟින් නත්තල සැමරීමට ඩස්ටි විටෙකර් නිවෙසට පැමිණීමත් සමඟින් බ්‍රැඩ් දෙවැනි ස්ථානයට පත් වන්නේ ක්‍රියාශිලී ඩස්ටි සමඟින් දරුවන් බෙහෙවින් එකතුව කටයුතු කරන්න පටන් ගැනීමත් සමඟින්.

ඒ නිසා හොඳම සුළු පියා වීමට අදිටන් කරගෙන සිටින බ්‍රැඩ්හට සිදු වෙන්නේ, ඩස්ටි සමඟින් දිගින් දිගටම සටනක යෙදීමටයි. සීන් ඇන්ඩ්‍රේස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Daddy's Home චිත්‍රපටය 2015 වසරේ නත්තල සමඟින් රීදි තිරයේ දිග හැරුණේ මෙලෙසිනි.

මෙවර නත්තලටද තාත්තා ගෙදර ඇවිත්. සීන් ඇන්ඩ්‍රේස් විසින් අධ්‍යක්ෂණය කර Daddy's Home 2 මේ වසරේ නත්තල වෙනුවෙන් රීදි තිරයේ දිග හැරුණේ පසුගිය නොවැම්බර් 10 වැනිදා සිටයි. මෙවර නත්තලට නම් ඩස්ටි පමණක් නෙවෙයි ඩස්ටි වැනිම ගති ගුණ ඇති ඔහුගේ පියා වන කර්ට් මේරොන්ද පැමිණේ.

මේ අතරට මෙවර නත්තලට බ්‍රැඩ්ගේ පියා, ඉතාම මෘදු ගතිගුණ පිහිටියා වූ කරුණාවන්ත ඩොන් විටේකර් ද පැමිණේ. තාත්තලා පුතාලා සමඟින් පෙර සැලසුම් පවා වෙනස් කර විනෝද චාරිකාවක් යාමට සැරසේ. එහිදී ඔවුන් අමුතුම ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දෙන අයුරු Daddy's Home 2 ඔස්සේ දිග හැරේ.

Daddy's Home 2 හි බ්‍රැඩ් ලෙසින් විල් ෆ්‍රෙරල් සහ ඩස්ටි ලෙස මාර්ක් වොහ්බර්ග් සමඟින් මෙල් ගිබ්සන්, ජෝන් ලිත්ගොව්, ලින්ඩා කාර්ඩෙලිනි, ජෝන් සීනා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිනවා. අමෙරිකානු ඩොලර් මිලියන 69ක වියදමින් නිර්මාණය කර ඇති Daddy's Home 2 මිනිත්තු 100ක් පුරා රිදී තිරයේ දිග හැරෙනවා.

Daddy's Home 2 චිත්‍රපටයට විචාරකයන් ගෙන් නම් යහපත් ප්‍රතිචාර හිමි වී නැහැ. සාමාන්‍ය හාස්‍යය මිස අලුත් යමක් මෙයින් දැක බලා ගන්නට නොලැබී ඇති බව ඔවුන්ගේ අදහසයි.

ඇතැම් පිරිසකට එය විනෝදයක් ගෙන දුන්නද මෙහිදී අති දක්ෂ නළු නිළි පිරිසකගෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට විචාරකයන් චෝදනා නගනවා.

අසූව දශකයේ විහිළු කතන්දර ටිකක් එක් කොට නිර්මාණය කර ඇති සේ දැනෙන මෙහි ඇතුළත් කොටස් අතරේ ගැළපීමක් නොදැනෙන බවත් CNN විචාරක බ්‍රයන් ලොව්රි පවසනවා.

Daddy's Home 2 ධ්ර්ච්ඡ දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 6.2/10ක් සහ රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය සියයට 16ක් හිමි කරගෙන තිබෙනවා. Daddy's Home පළමු චිත්‍රපටය IMDb හි ලකුණු 6.1/10ක් සහ රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය සියයට 31ක් ලෙස හිමිකර ගන්න සමත් වුණා.

පළමු චිත්‍රපටය යම් ප්‍රමාණයක හාස්‍යය සමඟින් අරුතක් ගෙන දුන්නද දෙවැනි චිත්‍රපටය මේ තරම් අවුල් සහගත වූයේ කෙසේද යන්න අබිරහසක් බවත් මෙහිදී මෙල් ගිබ්සන් කර්ට් මේරොන් ලෙසින් ඉදිරිපත් කරන විහිළු නිර්මාණයට නොගැළපෙන බවත් විචාරක මතය යි. ඒ සමඟින් Daddy's Home 2 මේ වසරේ අසාර්ථකම චිත්‍රපටය වේවි දෝ කියා සැක පහළ වන බව විචාරකයන් පවසා සිටිනවා.