වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




චයිනා ටවුමේ රිංගා ඉන්නා මු වැඩකරු නින්ජා

චයිනා ටවුමේ රිංගා ඉන්නා මු වැඩකරු නින්ජා

දැන් මා ගයන්නේ අර්ථයක් ඇති ගීතයි

ළහිරු පෙරේරා

රම්බරි අතහැර මදහස දෑසින් පෑ ළබැඳියේ ළඟට පැමිණ මොට්ටු තැබූ ළහිරු පෙරේරා කැස්සට කොස් ඇට සහ රතු රට කජු ගිලිමින් අද වන විට නතර වී සිටින්නේ චයින ටවුම ගාව . . .

* ළහිරු මොකක්ද මේ චයිනා ටවුම?

චයින ටවුම කියන්නේ මගේ අලුත්ම ගීතය. මගේ සින්දු ඉතින් කොහොමත් වෙනස්ම ආරක් ගත්තනෙ. මේකත් ඒ වගේ වෙනසක් කරපු ගීයක්. උණු උණුවෙම මේ සතියේ අවුට් කරන්න හිතාගෙන ඉන්නවා.

* චයිනා ටවුමේ මුල් පද පෙළ අහන්න ආසයි?

මෙහෙමයි සිංදුව යන්නේ.

චයිනා ටවුමේ රිංගා ඉන්නා මු වැඩකරු නින්ජා

චංචුං ගාලා කංකුං කාලා ඔළුවෙන් හිට ගත්තා

* ළහිරුගේ පෙර ගීත වගේම මේ ගීයත් නොඅනුමානව ලියන්නට ඇත්තේ මනුරංග?

අනිවාර්යයෙන්ම.

* චයිනා ටවුමේ අන්තර්ගතය මොකක්ද කියලා මට වැටහුණා. ඒත් ඔබේ මුවින්ම ඒ ගැන පැවසුවහොත් හොඳයි?

ලංකාව චීනයේ යටත් විජිතයක් බවට පත්විමයි මා මෙයින් කියන්නේ.

* මේක කාට කරන චෝදනාවක්ද?

මෙන්න මෙයාට කියන්නේ කියලා මට ඇඟිල්ල දික් කරලා කියන්ට බැහැ. නමුත් රට ඒ තත්ත්වෙට පත් වෙමින් තිබෙන්නේ.

* ළහිරුගේ සින්දු හරිම අමුතුයි?

අමුතුයි මේ වගේ නිර්මාණ මට නම් අමුතු නැහැ.

* චයිනා ටවුමේ වීඩියෝ එක කළේ කවුද කියන කාරණය මතක් කළොත්?

මම බෝයිස් + චනඥය මටය පිරිවර තමයි මෙහි වීඩියෝව කළේ.

* ළහිරුගේ සින්දුවලට වෙනම ක්‍රවුඩ් එකක් ඉන්නවද?

ඒක මං දන්නේ නැහැ. ඒත් මගේ සින්දු බහුතරයක් අහනවනෙ. සින්දු කියලා ජීවත්වෙන කෙනෙක් හැටියට මට වෙනමම ක්‍රවුඩ් එකක් ඉන්නවද කියන කාරණය ප්‍රශ්නයක් තමයි.

* ළහිරුගේ සින්දුවල කිසිම අරුතක් නැහැ කියලා ඇතැම් අය කියනවා. එවායේ තියෙන්නේ හුදු වචන පමණක්ලු?

මම ඒ මතයට විරුද්ධයි.රම්බරි සින්දුවට නම් ඔය කියන දේ තරමක් දුරට අදාලයි. නමුත් ඉන් පසුව මං ගැයූ ගීතවලට අර්ථයක් තියෙනවා. ඔතන තියෙන්නෙ ඒවා තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්.

* ඇයි ඔබ මනුරංග ලියූ ගීත පමණක්ම ගයන්නේ?

මනුවයි මමයි වැඩ කරන්නේ ප්ලෑන් එකකට අනුව. ඔහු වෘත්තීය ගී පද රචකයෙක්. මං වෘත්තීය ගායකයෙක්. අපි දැන් අවුරුදු ගණනක් එකට නිර්මාණකරණයේ යෙදුණා. ඒ ප්ලෑන් එක තුළ හිඳගෙනයි අප වැඩ කරන්නේ. මේ වන විට එහෙම හදපු ගීත තිහක් විතර තියෙනවා. එකින් එක කාලයෙක් කාලයට ඒවා රිලීස් කරනවා.

* ඔබ ගැයූ දෑසින් පෑ සහ ළබැඳියේ යන ගීත සඳහා රූප රචනා සැකසූ අයේෂ් විජේරත්න හදිසියේ අභාවප්‍රාප්ත වුණා. ඔහු ගැන වචනයක් සඳහන් කළොත්?

ඔහුගේ වියෝව අප ක්ෂේත්‍රයට වුණු පට්ට පාඩුවක්. ලංකාවේ නිර්මාණ ජාත්‍යන්තරයට යන එක නැවතුණා කියලයි මට හිතෙන්නේ. අයේෂ්්ගේ චින්තනය තිබුණේ ලංකාවෙන් එහා තැනක. ඔහුට ඕන වුණේ අපේ නිර්මාණයන් ජාත්‍යන්තරයට ඔසවා තබන්න. අවාසනාවටම එහෙම වීම නැවතුණා.

* ළහිරුට මොන වගේ අදහසක් ද තියෙන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ කලාව ගැන?

කෙටියෙන්ම කිව්වොත් මේකයි කියන්න තියෙන්නේ. මගේ කලාවෙන් එහා තැනකයි ඔහුගේ කලාව තියෙන්නේ. මං ඒ ගැන කියලා දාපු වොයිස් රෙකෝඩින් එකක් තියෙනවා ර්භඵඪජ.තඬ වෙබ් පිටුවේ. ඕන නම් අහන්න.

* ළහිරුව ඇයි දැන් වැඩිය තරු රියැලිටි තරගවලදි පේන්න නැත්තේ. ඒවා ගැන අප්‍රසාදයකින්ද ඉන්නේ?

අප්‍රසාදයකට වඩා මං ඒවායින් තරමක් ඈත් වෙලා ඉන්නේ. මොකද ඒවට සහභාගිවීම තුළින් මට ඉන්න මගේ යාළුවො නැති වෙනවා.

* ළහිරු මෑතකාලීනව වඩාත් පෙනී සිටියේ ලා සිඤ්ඤෝ නමින්. ඉදිරියටත් එහෙමද?

ඔව්.

* ළහිරු ද ලා සිඤ්ඤො ද වඩාත් ජනප්‍රිය?

කතා දෙකක් නැහැ ලා සිඤ්ඤො ජනප්‍රියයි.

* ළහිරු ඉකුත් නොවැම්බර් 19 සිට දෙදරු පියෙක් බවට පත් වුණා?

ඒකනෙ. මුල්වරට තමයි මං ඒ ගැන මේ කියන්නේ. මේ පාරත් ලැබුණෙ පුතෙක්. ලොකු පුතාට දැන් අවුරුදු හතරාමාරයි. මේ අයත් එක්ක සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.