වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




21 වසරකට පෙර සංගීතඥ සරත් බාලසුරිය අතුරුදන් විය!

21 වසරකට පෙර සංගීතඥ සරත් බාලසුරිය අතුරුදන් විය!

දියණිය සන්ධ්‍යා කරන හෙළිදරව්වක්

පෙර දිනක ඔහුගේ බාල දියණිය හමු වූ මෙහොතක කියා සිටියේ සිය පියා 1996 වර්ෂයේ අප්‍රේල් මස එක්තරා දිනයක අසනීපව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දින කිහිපයකට පසුව රෝහලින් අතුරුදන් වූ බවය.

කෙනකුට උපදින්නට වෙලාවක් නැතුවා වගේම මියැදෙන්නට ද වෙලාවක් නොමැත. අද ජීවත්වන අප හෙට මියයාවිදැයි කාට කෙසේ නම් කිව හැකිද? 'පන නම් තණ අග පිනි බිඳු වැන්නේ' යැයි කියන්නේ ඒ නිසාය. එහෙත් මියගිය බව නිශ්චිත වශයෙන්ම නොදැන කෙනෙක් හිටි අඩියේ අතුරුදන් වුවහොත් ඔවුන්ගේ ඥාතීන්ට දැනෙන සංවේදනා අතිශයින්ම වේදනාත්මක වේ. පුරා වසර ගණනාවක් එසේ වේදනාබර මතකයක ජීවත්වන පවුලක සාමාජිකයන් පිරිසක් පසුගිය දිනක අපට හමු වුණා. මේ පුද්ගලයා වත්මනෙහි ජීවත්වනවාද? නැත්ද? යන්න පිළබඳ ස්ථිර අදහසක් කිසිවෙකුට නොමැති මුත් ඔහුගේ නාමය සදා අමරණීය වන්නා වූ නිර්මාණ රැසක් ඉතිරිකර යන්නට තරම් ඔහු අපූර්ව සංගිත ඥානයකින් හෙබි පුද්ගලයෙකු වුයේය.

ඔහු සරත් බාලසූරියය. පෙර දිනක ඔහුගේ බාල දියණිය හමු වූ මෙහොතක කියා සිටියේ සිය පියා 1996 වර්ෂයේ අප්‍රේල් මස එක්තරා දිනයක අසනීපව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දින කිහිපයකට පසුව ඔහු රෝහලින් අතුරුදන් වූ බවය. එදා සිට මේ වනතුරු ගෙවුණු දශක දෙකකට අධික කාලය පුරා ඔවුන් ඔහු සොයමින් සහ ඔහු බලාපොරොත්තුවෙන් සිටිය ද කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වුණා.

'තාත්තව අපි රෝහල් ගත කලේ අධික ලෙස මත්පැනට ඇබ්බැහි වීම නිසා ඇති වුණ 'සිරෝසිස්' තත්ත්වයක් හේතුවෙන්. ඔහු කළුබෝවිල රෝහලේ දින දෙක තුනක්ම නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. දින 03 - 04 ට පස්සේ දවසක් අක්කා තාත්තව බලන්න ගියාම තාත්තා ඉස්පිරිතාලේ හිටියේ නැහැ. එදා ඉඳන් මේ වනතුරු තාත්තව හොයන්න පුළුවන් තැන්වල අපි හෙව්වා. කිසිම තොරතුරක් ලැබුණේ නෑ. අන්තිමේ අපි තාත්තාගේ කේන්දර කොපිය බැලෙව්වා. එතකොට නම් කීවේ ඒ කේන්දර කොපිය අයිති කෙනා ජීවතුන් අතර නෑ කියලයි. ඒ අනුව තමයි අපි හිත හදා ගත්තේ තාත්තා ජීවතුන් අතර නැතුව ඇති කියලා' සරත් බාලසූරියගේ බාල දියණිය නිශාන්ති ශ්‍යාමලී පැවසුවාය.

කෙසේ වෙතත් ඔහු ජීවතුන් අතර සිටියා නම් එළඹෙන දෙසැම්බර් 10 වැනිදාට යෙදෙනුයේ ඔහුගේ 75 වැනි ජන්ම දිනයයි. කෙටි ජීවිත කාලයකදී වුව විශාල නිර්මාණ ගොන්නකට හිමිකම් කීවෙකු ලෙසින් සරත් බාලසූරිය ඇගයීම සංගීතයට පෙම් බඳින අය කාගෙත් යුතුකමකි. සිරිසේන සරත් බාලසූරිය නම් වූ ඔහු උපත ලැබුවේ 1942 දෙසැම්බර් 10 වැනිදාවක කිරුළපන පූර්වාරාම පාරේ අංක 46 දරන ස්ථානයේදීය. ඔහුගේ පියා චාල්ස් බාලසූරිය වූ අතර මව හැරියට් එදිරිසිංහය. සරත්ගේ මව අකල්හි වියෝ වීම නිසාවෙන් පොලිස් පරීක්ෂකවරයෙකු වූ ඔහුගේ පියා පැවිදි දිවියට ඇතුළත් වූ බව සරත් පිළිබඳ ලියවුණු ලාල් ආනන්ද අබේධීරගේ 'මියැසි හරසර' ග්‍රන්ථයේ සඳහන් වේ. එතැන සිට සරත් ඇති දැඩි වී ඇත්තේ සිය මුත්තණුවන් සමීපයෙහිය.

සරත්ගේ මුත්තණුවන් එවකට කිරුළපන ප්‍රදේශයේ ජීවත් වූ ව්‍යාපාරිකයෙකු වූ බැවින් ඔහුට කිසිවකින් අඩුපාඩුවක් නොවීය. සරත් මූලික අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ නාලන්දා විද්‍යාලයෙනි. කුඩා කළ සිටම තැන්පත් අවිහිංසක දරුවෙකු වූ සරත් එකල කිරුළපන ප්‍රදේශය ප්‍රසිද්ධියට පත් වූ වෙසක් නාට්‍යය නරඹන්නට යාමෙන් පසු සංගීතයට කැමති දරුවෙක් බවට පත්විණි. වෙසක් නාට්‍යවල සංගීතය සැපයූ සර්පිනා වාදකයා දෙසත් මැන්ඩලීන් වාදකයා දෙසත් ඇසිපිය නොහෙලා බලා සිටින සිය මුණුපුරාගේ ආශාව හඳුනා ගත් සරත්ගේ මුත්තණුවන් ඔහුට මැන්ඩලිනයක් තිළිණ කළේය. තම කණට ඇසෙන ගීත බොහොමයක් ඉතා කෙටි කලකින්ම වාදනය කරන්නට සරත් පුරුදු විය. පාසල් අධ්‍යාපනය නතර කිරීමෙන් පසු සරත් සංගීතය වැඩිදුර ඉගෙන ගන්නට කැප වූයේය. ගාන්ධර්ව විභාගයේ ප්‍රාරම්භයට පෙනී සිටි ඔහු ඉන් උසස් ලෙස සමත් විය. එකල (හේවුඩ්) රජයේ සංගීත විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගන්නා දැන්වීමක් දැක එයටද අයදුම් කළේය. එහි ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගිව ඉන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා බවට පත් වී 1961 දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වූයේය. අමිතා වැදිසිංහ, නවරත්න අත්තනායක, වින්සන්ට් ප්‍රේමසිරි, සේන වීරසේකර වැන්නෝ එකල ඔහුගේ සමකාලීනයෝ විය. සරත් රජයේ සංගීත විද්‍යාලයෙන් පිට වනුයේ වයලීන වාදනය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ද ලබාගෙනය.

සරත් සංගීතයට පමණක් නොව චිත්‍ර ඇඳීමට ද උපන් හපන්කමක් දැක් වූවෙක් විය. ඔහුගේ දියණියන් දෙදෙනා කුඩා අවදියේදී ඔවුන්ට ද චිත්‍ර අඳින්නට කියා දී ඇත්තේ ඔහු විසිනි.

සරත් රැකියාවක් ලෙස මුලින්ම තෝරා ගනුයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ තුර්ය වාදක කණ්ඩායමට එක්වීමයි. එහිදී සිය ප්‍රධාන වාදන භාණ්ඩය ලෙස ඔහු තෝරා ගනුයේ 'ක්ලැරිනට්' නම් සුසිර ගණයේ වාද්‍ය භාණ්ඩයයි. තුර්ය වාදක කණ්ඩායම තුළ ඔහු වාදකයෙක් පමණක් නොවන බව සරත් වරක් ඔප්පු කර පෙන්වූයේය. ඒ ස්වභාව ධර්මයේ විවිධ සංසිද්ධීන් අළලා ඔහු විසින් නිර්මාණය කරන ලද 'ජීමයිනර්' සංගීත සංධ්වනිය නිසාය. තමන් තුළ පවතින්නා වූ නිර්මාණාත්මක හැකියාවේ තරම ඔහු ඒ තුළින් ප්‍රකට කළේය.

සරත් 1973 වසරේ අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වූයේය. සංගීතඥයෙකු වශයෙන් ඔහුගේ නිර්මාණශීලී දිවි පෙවත ඇරැඹෙනුයේ මෙතැන සිටය. එච්. එම්. ජයවර්ධන, නිමල්සිරි කුරේ, ඩී. බී. අබේරත්න වැන්නෝ එකල ගුවන් විදුලියේ ඔහුගේ සමකාලීනයෝ විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එකල නිර්මාණ ශිල්පී සංගීතඥයන්ට පමණක් නොව ගායක ගායිකාවන්ට, ගීත රචකයන්ට තෝතැන්නක්ය යන්න සරත් බාලසූරියට ද සත්‍යයක් කරමින් ස්වර වර්ණ, මියුරස වින්දන, ගී තරංගනී ආදී සංගීත වැඩ සටහන් සඳහා ඔහු මියුරු තනු නිර්මාණය කළේය.

'මාගේ මේ රට' (හේම ශ්‍රී ද අල්විස් / ලතා වල්පොල), මළවුන්ගේ නගරයේ (සුනිල් ආරියරත්න / අබේවර්ධන බාලසූරිය), හෙළ දෙරණේ (ඩෝල්ටන් අල්විස් / නන්දා මාලිනී), අනේ මස්සිනේ (සුනිල් ආරියරත්න / නන්දා මාලිනී), බඹර රැඟුම (සුනිල් ආරියරත්න / වික්ටර් රත්නායක), ඔබේ නීල දෑස (ඩෝල්ටන් අල්විස් / ෂෙල්ටන් පෙරේරා), ආදර සුභා (ප්‍රේමකීර්ති ද අල්විස් / ශ්‍රීමතී තිලකරත්න), රන්ගල් තලාවේ (සිරිල් ඒ. සීලවිමල / මොරිස් දහනායක / ශීලා පරණමාන්න), මගේ පුතා (සිරිල් ඒ. සීලවිල / ඇන්ජලින් ගුණතිලක), දර දිය ඇදලා (ඩෝල්ටන් අල්විස් / නාලිනී රණසිංහ), ආත්ම ගණනක (ප්‍රේමකීර්ති ද අල්විස් / ශ්‍රීමතී තිලකරත්න), අන්ධ දෑසට (අජන්තා රණසිංහ / ජේ. එන්. දයාපාල), ඈත දිනයක දී (ප්‍රේමකීර්ති ද අල්විස් / ප්‍රියා සූරියසේන), මේ කුලු සළුවේ (කේ. ඩී. කේ, ධර්මවර්ධන / ප්‍රියා සූරියසේන), සිහින විජිතයේ (කේ. ඩී. කේ. ධර්මවර්ධන / ප්‍රියා සූරියසේන) රන් හූයෙන් (මාලා වජිරා පෙරේරා / ශීලා පරණමාණ) ඇතුළු ගීත රැසක් සරත් බාලසුරිය විසින් සංගීතවත් කරන ලදී. මෙකී ගී තනු නිර්මාණ දෙස සුපරික්ෂාවෙන් බලන කළ එකී මියුරු සප්ත ස්වරයෙහි ඇති ඔහුටම වූ අනන්‍යතාවය මැනවින් අවබෝධ කරගත හැකිය. විශේෂයෙන් මළවුන්ගේ නගරයේ, ආත්ම ගණනක සිතුවිලි අතරේ, ආදර සුභා, අවසන් ලියුමයි ඔබට ලියන්නේ වැනි ගී තනු වෙනත් කවර තැනකදී හෝ කවර අවස්ථාවකදී හෝ කවර ගීතයකින් හෝ අප අසා නැත. ඇත්තේ එකම එකක් පමණි. ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද්ද පමණක්මය. ගීතයේ පද මාලාවෙන් කුළුගැන්වෙන්නා වූ අදහස වඩ වඩාත් තීව්‍ර කරලීමේ ස්වර භාවිතය මෙකී ගීතයන්ගේ මියුරු සර තවදුරටත් අපිට පැහැදිලි කරයි.

ගුවන් විදුලි ගීතයෙන් ද නොනැවතුණු ඔහු චිත්‍රපට පසුබිම් සංගීතයට ද ප්‍රවිශ්ට වූයේය. ඒ 1977 දී නිෂ්පාදනය වූ සිරි කුලරත්නගේ 'සිකුරු දසාව' චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරමිනි. එතැන් සිට චිත්‍රපට 08 ක් සඳහා ඔහු විසින් සංගීතය නිර්මාණය කළේය. ඒ අතර සෙලීනාගේ වලව්ව (1978 - පතිරාජ එල්. එස්. දයානන්ද), කුණ්ඩලකේශි (1978 - විමලරත්න දිසානායක), සුගන්ධි (දයානන්ද රොද්‍රිගු - 1979),හරි පුදුමයි (1977 - එස්. රාමනාදන්), ජෝඩු වළලු (1980 - පතිරාජ එල්. එස්. දයානන්ද), රක්තා (1980 - ගාමිණී හේවාවිතාරණ), සතර පෙර නිමිති (1981 - සුනිල් ආරියරත්න) වේ. මෙම චිත්‍රපට අතරින් ඔහු ගී තනු නිර්මාණය කරන ලද ජනප්‍රිය වූ චිත්‍රපට ගීත ද රාශියක් වේ. ආවේ කාගේ කවුදෝ (ලක්ෂ්මන් රුද්‍රිගෝ), සම්පත් පිරී ඉතිරි (ඩබ්ලිව්. ඩී. අමරදේව), කෝමල ප්‍රිය අම්බිගා (ලතා වල්පොල / හරූන්කුමාර් ලන්ත්‍රා), චංචල නුවන් ලතාවේ (එච්. ආර්. ජෝතිපාල), හෙට හිරු ඒවිද නැත දන්නේ (රූපා ඉන්දුමතී සහ මිල්ටන් පෙරේරා), රෑ සීතලේ (ඇන්ජලින් ගුණතිලක) ඒ අතර වේ. සිල්වලයින් ලේබලය යටතේ වීණා ජයකොඩිට, ජෙම්ටොන් ලේබලය යටතේ ගීතා කුමාරසිංහට හා විජය කුමාරතුංග, ශීලා පරනමාණගේට ද ගීත රැසක් ඔහු නිර්මාණය කර ඇත.

ඔහු විසින් සංගීතය සැපයූ 'ආත්මා' නැමැති චිත්‍රපටයේ සිය වැඩිමල් දියණිය සමඟ ගී ගයමින් රංගනයක ද නිරත වී ඇති අතර එම චිත්‍රපටය තිරගත වී නැත.

ගෙවුණු කෙටිකාලීන සංගීත දිවිය පුරා ඔහු විසින් කරනු ලැබූ නිර්මාණයන් සලකා බැලීමේදී සප්ත ස්වරයෙන් පෙළහර පාන සංගීතඥයකුගේ අපූර්ව ලක්ෂණ සිය නිර්මාණ ඔස්සේ ප්‍රකට කළ සරත් තවත් බොහෝ කලක් නව නිර්මාණකරණයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රය ආලෝකවත් කරන්නට තිබූ වරම අකාලයේ අහිමි කර ගත්තෙක් වූවේය.