වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 2

ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 2

පරිසමාප්ත රූප රාමු හා විවාදසම්පන්න තේමා

ධර්මශ්‍රි මුණසිංහ විසින් සති අන්ත පුවත් පතකට ලියු නව කතාවක් පාදක කරගනිමින් ගාමිණී ෆොන්සේකා එම අවුරුද්දෙම තවත් චිත්‍රපටයකට අත ගැසීය . ඒ ‘මයුරිගේ කතාවක්’ය. . වැඩි සිදුවීම් නැති,ඉතාමත් සරල කතාවක්, වූ මෙය ඔහු විසින් චිත්‍රපටයකට නැංවූයේ ඇයිද කියා අදත් මා සිත පෙලඹන ප්‍රශ්නයකි. කුඩා ළමුන් තිදෙනෙකු සමග තනිවූ මයුරිගේ, සැමියා පාල, හදිසි අනතුරකින් මිය ගොස් තිබුණි. රූමත් මයුරිට තිබු විශාල ප්‍රශ්නය තම දරු තිදෙනා ලොකු මහත් කිරීමත්, තම රැකියාව රැක ගැනීමත්, එලෙසම තනිවූ රූමත් ගැහැණියක් පසු පස එන සල්ලලයන්ගෙන් බේරීමත් ය. මයුරිට මර්වින්ව මුණගැහීමත්, මර්වින් මයුරිගේ දරු තිදෙනා සමඟ කුලුපග වීමත්, ඉන් පසු මර්වීන් මයුරිව විවාහ කරගන්නට යාමත් මයුරි විසින් එයට අකමැති වීමත් අවසානයේ මයුරිගේ දරු තිදෙනා විසින් එයට නිසි පිළිතුර ලබා දීමත් ‘මයුරිගේ කතාවක්’ හී තේමාව විය. ආරියරත්න පෙරේරා නිෂ්පාදනයෙන්ද , වී වාමදේවන් කැමරා අධ්‍යක්ෂනයෙන්ද , ලාල් දිසානායක හා බර්නාඩ් රෙජිනෝල්ඩ් සංස්කරනයෙන්ද, ලයනල් අල්ගම සංගීතයෙන්ද, සුජාතා අත්තනායක හා ඩබ්ලියු.ඩී අමරදේවගේ ගායනයෙන්ද , ශිරාණි නුගේරා, සොමී රත්නායක, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, ධර්ම ශ්‍රී මුණසිංහ, අයිරාංගනී සේරසිංහ, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, සේනක පෙරේරා, නෙල්සන් පීරිස්, ජී. ගුණවර්ධන, දමිත් ෆොන්සේකා, රුක්සලා අල්මේදා, ඉනක්‍ෂි ඇලෙක්ස් මෙම සිනමා ව්‍යාපෘතිය ට දායක විය. මයුරි ලෙස වීණා ජයකොඩි , මර්වින් ලෙස ගාමිණි ෆොන්සේකාද පාල ලෙස ටෝනි රණසිංහ ද ප්‍රධාන චරිත වලට පන පෙවූ අතර . ‘මයුරිගේ කතාව’ හී කථා තේමාව,ගීත රචනය හා අධ්‍යක්ෂණය ගාමිණි ෆොන්සේකාගේ විය. මෙය 1980 දෙසැම්බර් මාසයේ තිරගතවිය. ‘පරසතු මල්’ හා ‘උතුමාණනි’ට වඩා වෙනස් මගක් ගිය ‘මයුරිගේ කථාව’ තුළින් ගාමිණි ෆොන්සේකා පවුල් සංස්ථානුතික කථා ගෙත්තමක් ඉදිරිපත් කලේ එයින් විල්ෆ්‍රඩ් සිල්වල,යසපාලිත නානායක්කරලා, ජෝ දෙව් අනන්දලාගේ පවුල් සිනමාව අබිබවා යෑමට විය හැකිය. කනවැන්දුම් ගැහැනියක් හා අයගේ දරුවන් සමගින් සංවේදීත්වය මවා පා, ගැහැනුන් හඩවා චිත්‍රපට සාර්ථක කරගැන්මට ගාමිණි ෆොන්සේකා ‘මයුරිගේ කතාවක්’ තුලින් උත්සහා ගත් බවකි මට හැගුනේ. මර්වින් ගේ චරිතය රගපෑ ගාමිණි ෆොන්සේකා පවා උවමනාවටත් වඩා සංවේදී බවක් පෙන්වීමත් තරමක අවර බවක් දැනුනි.

‘මයුරිගේ කතාව’ මැදිවියට එලබෙන චරිත කීපයක ආත්මීය ගැටුමක් හෙයින් එය ප්‍රේක්ෂකයා එතරම් දයාබරව වැලද ගත්තේ නැත. ‘මයුරිගේ කථාව’ ගාමිණි ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනයන් හී අසාර්ථක සිනමා පටයක් විය. එයට හේතු තිබුණි. ගාමිණි -වීණා යුවළ ගාමිණීට උවමනා නිසා ඇතිකර ගත් අතර එය ගාමිණි- මාලනී මෙන් තදින්ම ප්‍රේක්ෂකයාට කා වැදුනේ නැත. අන් අතකට මෙහි ආදරණීය ජවනිකා වල තරමක් වයස් ගත බවක් දැනුනි. මුලින්ම ටෝනි - වීණා අතර ද පසුව ගාමිණි -වීණා අතරද එය හොද හැටි දැනුනි . ටෝනි හා ගාමිණී හැටේ දශකයේ සිහින කුමරුන් විය . ඉන්පසු අවුරුදු 20ක් ගතවූ පසුව නැවතත් ඔවුන් ප්‍රේමවන්තයන් වන්නට යාම තුල තිබුයේ එකල ගමේ මුදලාලිගේ කඩේ විශාල බෝතලයට අත දමා ගත් ලැතර, විස්කිරිඤ්ඤා කෑමෙන් පසු දැනෙන රසයක් මෙනි. රගපෑම් තුල වුවද හදවතට කීරි ගැහෙන සුළු රගපෑමක් තිබුනේ නැත. එහෙත් මයුරිගේ කුඩා කොලු පැංචා ලෙස රගපෑ දමිත් ෆොන්සේකා නම් හරි ‘ඇට්ටර’ රගපෑමක යෙදුනි. මයුරිගේ කතාව ටිකක් හරි පන ගැසුනේ මේ දමිත් ෆොන්සේකාගේ රගපෑම් නිසාය. නැත්නම් මෙය මූ.අරුක්ගොඩගේ චිත්‍රපට ගොන්නට වැටෙන්නට ඉඩ තිබුණි.

ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කල 4 වෙනි සිනමා පටය "බාදුරා මල්" ය. මා දන්නා පරිදි මෙම චිත්‍රපටය ගාමිණී නිර්මාණය කලේ, ආරියරත්න පෙරේරා ගේ උවමනාවටය. දයා රාජපක්ෂ ගේ චිත්‍ර කථාවක් පාදක කරගත් මෙයද, ගාමිණී ෆොන්සේකා, විසින් තම අධ්‍යක්ෂණ ප්‍රතිරූපය පහතට හෙලු අවස්ථාවක් ලෙස සැලකිය හැක.

බාදුරා මල් චිත්‍ර කථාවක් වශයෙන් අතීශයෙන්ම ජනප්‍රිය විය. දයා රාජපක්ෂ මැවූ එකී චරිත වල තිබුනේ, හරිම ප්‍රාණවත් බවකි. තෙලි තුඩින් මැවුණු එම චරිත පාඨකයන්ගේ හදවත් තුලට කිදා බැස තිබුණි. ඇතැම් විට ගාමිණීගේ හදවත තුලටද මෙම චරිත කිදා බැස තිබෙන්නට ඇත. ඔහු දයාගේ චිත්‍රකථා වලට "ඇඩික්ට්" වන්නට ඇත්තේ ඒ නිසා විය හැක. නමුත් එය තිරයට එන විට නම් බොහෝ විට දියාරු වන්නේය. "හුලවාලි" හැරෙන්නට, වෙන කිසිදු චිත්‍රකථාවක් සිනමාවට නැගුනු විට සාර්ථක නොවීය."බාදුරා මල්" වලට සිද්ධ වූයේද එයමය. එය චිත්‍ර කථාවක් ලෙස මිනිසුන්ට දැඩිව දැනුනද ,චිත්‍රපටයක් ලෙස නම් දැනුනෙත් නැත, රැදුනෙත් නැත. මෙය ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කෙරු චිත්‍රපටයක් ලෙස පිළිගැනීමට නොහැකි වන පරිදීය, එම නිර්මාණය කර තිබුයේ. නමුත් නාමාවලියේ අධ්‍යක්ෂණය යටතේ ගාමිණි ෆොන්සේකා ලෙස සදහන් වන්නේ නම්, එය ඔහුගේ අධ්‍යක්ෂණයක් ලෙස අපට පිළිගන්නටම සිදුවුනි.. ගාමිණි ෆොන්සේකා සමග වීණා ජයකොඩි,ටෝනි රණසිංහ ,සොමි රත්නායක,ජයසේකර අපොන්සු, විමල් කුමාර ද කොස්තා, ජී .ගුණවර්ධන,ශාන්ති ලේඛා,ධර්මශ්‍රි මුණසිංහ ,බී.එස්.පෙරේරා,අකුෂල්යා සෙල්ලයියා ,සමග විජේරත්න වරකාගොඩ " බාදුරා මල්" හී රංගනයට එකතු විය. එහෙත් ඒ කිසිදු රගපෑමක්,සිත තුල ධාරණය වුයේ නැත. "බාදුරා මල්"ගාමිණී ෆොන්සේකාගේ, තවත් අසාර්ථක අධ්‍යක්ෂණයක් විය.

"බාදුරා මල්" තුලින් දියාරු වී ගිය ගාමිණි ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය, යලි දැවැන්ත වුයේ එම වසරේම(1981) තිරගත කල "සාගරයක් මැද " චිත්‍රපටය තුලිනි. ගාමිණී ගේම තේමාවක් තුල ධර්මශ්‍රී මුණසිංහ ලියු තිර රචනය මුලින් හැදින්වූයේ "සිතම්බ්බර පට" කියාය. වී.වාමදේවන් කැමරා කරනයටද, ඩී.බී.නිහාල්සිංහ සංස්කරනයටද ,එරල් කෙලි කලා අධ්‍යක්ෂනයටද, ශේෂා පලිහක්කාර, අංග රචනයටද,සෝමපාල රත්නායක සංගීතයටද, තෝරා ගත් ගාමිණි , එහි තිබු විවිධ වූ චරිත සමුහයට දක්ෂ නළු නිලි පිරිසකට ඉව ඇල්ලුවේය.

සාධාරණව තම වෘත්තියේ නිරත වූ දොස්තර මොලදන්ඩ, ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු බෙහෙත් ගැන්මට ආ පසු ඔහුට විශේෂත්වයක් නොකර ඔහුවද පෝලිමේ තැබීමේ සිදුවීමකට, පෙරලා එම පොලිස් නිලධාරියා රෝහලේ සෙනවිරත්න හෙදිය සමග එක්වී දොස්තර ගෙන් පළිගත්තේ ඔහුව අල්ලස් ගැනීමකට සම්බන්ධ කර සිරගත කිරීමෙනි. මේ අතර දොස්තර ගේ රැඩිකල් පුත්‍රයා වූ, රණභා මොලදන්ඩ ශිෂ්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ වී අවසානයේදී පොලිස් වෙඩිපහරකින් මිය යන්නට විය. තම සැමියාව බේරා ගැන්මට, දොස්තර ගේ බිරිදට ඇමති පස්සේ යාමටද සිදුවිය. එහෙත් බලය ඇති තැන ඔවුන් බලය තමනට වාසි අන්දමට හසුරන, ජඩ දේශපාලනයද, බලය නැතිවූ පසු තමන් වැටෙන අන්තීම පහත් තත්වයද, ඇති නැති බලය එකිනෙකා හරහා සංකලනය වන අයුරු මනා ලෙස තිර රචනයට හසුකරගත් ධර්මශ්‍රි මුණසිංහ, "සීතාම්බර පට"ලෙස තිර රචනය කර එය නිර්මාණය සදහා ගාමිණි ෆොන්සේකාට භාර කලේය. ගාමිණි, ආනන්ද අබේනායක ගේ බර පැනින් "සීතාම්බර පට" "සාගරයක් මැද" ට හරවා සිනමා පටය නිර්මාණය කරන්නට විය.

මෙහි ප්‍රබලම චරිත යුගල වූ දොස්තර සෙනරත් බණ්ඩාර මොලදන්ඩ හා ඇමති ෆෙඩ්රික් රාමණායක ගාමිණී ෆොන්සේකා විසින් රගපෑමට තීරණය කලේ, එයට තමා තරම් සුදුසු කෙනෙක් තමාට සිතා ගැන්මට නොහැකි නිසා වන්නට ඇත. ඇතැම් විට ටෝනි රණසිංහ වැනි නළුවෙකුට දොස්තර මොලදන්ඩගේ චරිතය භාර දී ඇමති ෆෙඩ්රික් රාමනායකගේ චරිතය පමණක් ගාමිණි විසින් රගපෑවා නම් මෙයටත් වඩා සාර්ථක වන්නට පිළිවන් යනු මගේ සිත කීවද., ගාමිණි විසින් එම චරිත යුගල නම් අතී විශිෂ්ට ලෙස රගපෑ තිබුණි.

වීණා ජයකොඩි, දීපා මොලදන්ඩ විය. කමල් අද්දරආරච්චි ,රණභා මොලදන්ඩ වූ අතර සෙසු චරිත ටෝනි රණසිංහ, අනුෂ්කා මැදිවක,අයිරාංගනී සේරසිංහ, ඉයන් වික්‍රමනායක, සෝමසිරි දෙහිපිටිය, අමරසිරි කලංසූරිය, මර්වින් ජයතුංග,ශාන්ති ලේඛා, කරුණාරත්න හගවත්ත, ෂෙල්ටන් කැකුනාවෙල ,ධර්මශ්‍රි මුණසිංහ,ශ්‍රියන්ත මෙන්ඩිස්,සෝමසිරි දෙහිපිටිය,සොමි රත්නායක, මහේන්ද්‍ර පෙරේරා , ඇතුළු නළුනිළි පිරිසක් ගාමිණී විසින් ඒ ඒ චරිත සදහා යොදවා තිබුණි.

"සාගරයක් මැද" ගාමිණී ෆොන්සේකා ද්විත්ව චරිතයක් රගපාමින්, එලෙසම අධ්‍යක්ෂණය කරමින් කළ නිර්මාණයක්ය. එක් අතකට එය දැවැන්ත නිර්මාණයකි. නමුත් ගාමිණි එම අභියෝගය සාර්ථකව ජය ගෙන තිබුණි. දේශපාලනය අඩු වැඩි නැතිව රිංගා තිබු එහි කතාව තුල තිබුයේ, විශාල වූ ආකෘතියකි. ඇමති ෆෙඩ්රික් රාමනායකගේ චරිතය වෙස්ගැන්වීමේදී එවකට සිටි ප්‍රබල ඇමතිකෙනෙකුගේ ස්වරූපයට සමාන බවක් අංග රචනය තුළදී සිදුවී තිබුණි.එහෙයින් එම ඇමති තුමෝ චිත්‍රපටය නොපෙන්වීමට වාරණ නියෝගයක් ගැනීමේදී ගාමිණීට සිදුවූ විශාල වූ වාසිය චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇතිවීමය. චිත්‍රපටය ශාලාවලට නිකුත් කරන විට, අමුතු ප්‍රසිද්ධයක් දීමට අවශ්‍ය වූයේ නැත. මුළු ලංකාවම "සාගරයක් මැද" ගැන දැනගෙන සිටියෝය.

(ලබන සතියේ තව කොටසක්)

ශෝන් මැක්ස්මස් දිසානායක