වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම ජීවිතේට මුලින්ම අප්පච්චි කිව්වේ බුද්ධි සර්ට

මම ජීවිතේට මුලින්ම අප්පච්චි කිව්වේ බුද්ධි සර්ට

මධුෂාණි සකුන්තලා

හෙළි කරන සංවේදි කතාවක්

ඇය තමයි ෂර්ලි පී දෙලංකාවලගේ හිතුවක්කාරයා නාට්‍යයේ හිමාෂා. ඇගේ සැබෑ නම මධුෂානි සකුන්තලා. හිතුවක්කාරයා නාට්‍යය මේ දිනවල ටී වී 1 නාළිකාවේ විකාශය වෙනවා. ඒ හින්දම හිමාෂාට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි.

* ඔබ මොන නමින් ද මං අමතන්න ඕන?

හිමාෂා කියලා තමයි වැඩි දෙනෙක් අමතන්නේ. සකු කියන මගේ සැබෑ ජීවිතයේ පෙට් නේම් එකෙන් අමතන අයත් ඉන්නවා. ඒ අතරින් ඇතැමෙක් චබී කියලත් කියනවා.

* චබී?

ඇයි දන්නෙ නැද්ද අනේ. චබී කියන්නේ හිමාෂාගේ සුරතල් නාමයනෙ.

* ඒත් ඔබ චබී නැහැනෙ?

ඒක හරි. චබී කියන්නේ හිමාෂාගේ සුරතල් නාමය පමණයි.

* හිතුවක්කාරයා ඔබේ පළමු ටෙලි සිතුවමද?

නැහැ අයියෙ. මගේ පළමු ටෙලි නාට්‍ය වුණේ නලීන් මාපිටිය සර් අධ්‍යක්ෂණය කරපු ඉස්සරහට යන්න ටෙලි නාට්‍යය. ඒකේ මං සුළු චරිතයක් කළේ. ප්‍රධාන චරිතයක් මවමින් විකාශය වු පළමු ටෙලි නාට්‍ය තමයි හිතුවක්කාරයා කියලා කියන්නේ.

* ෂර්ලි පී. දෙලංකාවල කියන්නේ තමන්ගේ නිර්මාණවලට නළු නිළියන් තෝරද්දී හුඟක් සැලකිලිමත් වෙන කෙනෙක්.

ඔව් ඒක ඇත්ත. ඔහුගේ නිර්මාණයකදී මට ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට වාසනාව උදාවීම මං කරපු පෙර පිනක් හින්දා වුණ දෙයක්.

* ඔබ වගේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙකුට ෂර්ලිගේ නාට්‍යයක ප්‍රධාන චරිතයක් මැවීමට අවස්ථාව උදා වුණේ කොහොමද?

ෂර්ලි සර් මාව මූණු පොත හරහා දැකලා තිබුණා. මගේ රුව ඔහුගේ අලුත් නාට්‍යයෙහි චරිතයකට ගැළපෙනවා කියලා හිතන්නට ඇති. ඒ ඔස්සේ මාව සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේ තිබුණු තිර පරික්ෂණයකට කැඳෙව්වා. මට ඩයලොග් දුන්නා කියන්න. මං ඉදිරිපත් කළ දේට සෑහීමකට පත් වුනු ෂර්ලි සර් මාව හිමාෂාගේ චරිතයට තෝර ගත්තා.

* හිමාෂා කියන්නේ ඔබට තරමක් අභියෝගාත්මක චරිතයක් නේද?

ඇත්තටම අභියෝගයක් වුණා. හේතුව මට අප්පච්චි කියන වචනය හුරු නොවීම.

* තවදුරටත් එය පැහිදිලි කළොත්?

පුංචි කාලේ පටන්ම මට පිය සෙනෙහස අහිමියි. මං අප්පච්චි කියන වචනය කියලා නැහැ. නමුත් හිමාෂා කියන චරිතයට අදාල ඩයලොග්වල තිබුණා අප්පච්චි කියන වචනය. හිමාෂාගේ අප්පච්චි තමයි බුද්ධදාස විතානාච්චි සර්. ඔහුටයි මට අප්පච්චි කියලා අමතන්න වුණේ. පළමු දවසේ මං අප්පච්චි කියන ඇමතුම කොහොම කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. ෂර්ලි සර් එවලේ බය වුණා මං චරිතයට සාධාරණයක් ඉටු නොකරාවි කියලා.

* නමුත් එහෙම වුණේ නැහැ?

ඒක තමයි. මගේ තත්ත්වය දැනගත් බුද්්ධි සර් මගෙත් එක්ක ගොඩක් කතා කළා. ඔහු මට දර්ශන තලයේදී ආදරණීය අප්පච්චි කෙනෙක් වුණා. ඔහුගෙන් ලද උදව් මත මං රඟපෑවා. ක්‍රම ක්‍රමයෙන් මට හිමාෂාගේ චරිතය අල්ල ගන්න පුළුවන් වුණා. දැන් ෂර්ලි මහත්මයත් සතුටු වෙනවා මං රඟපාන විදිහට. ඒ වගේම හිතුවක්කාරයා තිර රචක චාමර ප්‍රසන්න කොඩිතුවක්කු මහතාවත් මතක් කළ යුතුමයි.

* ඔබ ක්ෂේත්‍රයට එන්නේ මෝස්තර නිරූපිකාවක ලෙසට නේද?

ඔව්. ඒ වුණාට මොඩ්ලිං කරන එක ටිකක් අමාරු කර්තව්‍යයක්. ඒ හින්දා තෝරා බේරාගෙන රංගන කටයුතුවල නියැළෙනවා.

* හිතුවක්කාරයා ටෙලි නාට්‍යයෙන් පසුව ඔබට තවත් ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණද?

තවම නැහැ. මං දැනට මේකෙ රඟපානවා. මේ වගේ හොඳ නිර්මාණයකට පමණයි මං දායක වන්න හිතාගෙන ඉන්නේ.

* සකු රඟපාන්න කැමැති චරිතයක් තියෙනවාද?

මං හරිම ආසයි ගැමි චරිතයක් කරන්න. ඒ ගැමි චරිතය දැනෙන්න රඟපාන්න තියෙන්න ඕනෑ. නැත්නම් වැඩක් නැහැ.

* සකුගේ ගම කොහෙද?

පිළියන්දල.

* ඉගෙන ගත් පාසලත් මතක් කළොත්?

කැස්බෑව ධර්මසේන ආටිගල විදුහලෙනුයි මං ඉගෙන ගත්තේ.

* උපන් දිනයත් කියමු?

1997. 12. 10

* ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

මම හරිම සරල මගේ අම්මට පැලෙන්න ආදරය කරන කෙනෙක්.