වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




‘රසිකයෝ මාව බිත්තියට හේත්තු කරලා ඉවරයි...’

‘රසිකයෝ මාව බිත්තියට හේත්තු කරලා ඉවරයි...’

අපේ සිනමාවේ සුපිරි තරුව රන්ජන් රාමනායක

‘ඒ කාලේ මට වුණේ අතින් කාලා හරක් බලන්න වෙච්ච එක...’

ඔව්. තවමත් මගේ අවයව ටික හොඳට වැඩ. ඒ වගේම මම ඔය කියන රසායනික දේවල් ඇඟට දාගන්නේ නැහැ ඇඟ හදාගන්න කියලා. දැන් වුණත් බොහෝ සමාගම් මං ලඟට එනවා ඒගොල්ලොන්ගේ බොඩි බිල්ඩින් රසායන ද්‍රව්‍ය සන්නාම ප්‍රවර්ධනය කරලා දෙන්න කියලා. ඒවාට ඒගොල්ලෝ මට ලක්ෂ ගණන් දෙන්නත් පොරොන්දු වුණා. ඒගොල්ලොන්ගේ සමහර වැඩවලට මට ආරාධනා කරනවා ඇවිත් යන්න කියලා.

රන්ජන් රාමනායක කී වතාවක් ජනප්‍රියම නළුවා සම්මානය ගත්තාදැයි මා හට හරියටම කිව නොහැක. ඒ මා හට ඒ ගැන පැහැදිලි මතකයක් නැති නිසාය. සිනමාව තුලත් අළෙවිකරණ වටපිටාව තුළත් ඔහුගේ ජනප්‍රියත්වය සමපාත වීම ඔහු ගැන තක්සේරු කරන මිනුම්දඬු වල අව්‍යාජ භාවය පසක් කරන්නකි. ලාංකේය සිනමාව තුළ අද දවසේ සිටින එකම සුපිරි තරුව ලෙස ඔහු අභිෂේක වන්නේ මෙතෙක් ඔහුගේ රඟපෑම් සමඟ ඊට යම් අනුහසක් එක් කළ බැවිනි. ඊට රන්ජන් රාමනායකගේ පෞරුෂය බෙහෙවින් බලපාන්නට ඇත. අද දවසේ සිනමාවටත් ඔහුගේ දායකත්වය නොඅඩුව ලැබෙන හෙයින්ද හෙට දවසේ ඔහුට සිදු වන්නේ මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ ඔහුගේ නිවසේ සම්මාන තැන්පත් කිරීමට රාක්ක පුළුල් කර ගැනීම පමණයි.

රන්ජන්ගේ විශේෂත්වය වන්නේද ඔහුගේ අනුහස පවත්වාගැනීමට අවශ්‍ය කාරක ඔහු සතු වීමයි. එමෙන්ම රන්ජන් ඒවා භාවිත කිරීමට පැකිළෙන්නේ නැති නළුවෙකි. කොටින්ම රටේ ජනප්‍රියම දේශපාලඥයෙක් වන රන්ජන් නිර්මාණකරණයත් දේශපාලනයත් සමපාත කරගෙන සිටින නිසාවෙන් ඔහුගේ රසික ප්‍රජාව දේශපාලනයෙන් නිර්මාණයත් නිර්මාණයෙන් දේශපාලනයත් ගලවා වෙන් කිරීමට එතරම් උනන්දුවක් ඇතැයි සිතිය නොහැක. මන්ද රන්ජන් රාමනායක සිනමාව දේශපාලනය වෙනුවෙන් කාරකයක් ලෙසත් විටෙක දේශපාලනය සිනමාව වෙනුවෙන් කාරකයක් ලෙස අන්තර් සබැඳීයක් ලෙස යොදා ගනිමින් සිටින නිසාවෙනි.

ඒ කෙසේවෙතත් රඟපෑම් සමඟ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කාර්ය රන්ජන් බාර ගත්තේ මීට බොහෝ කලකට පෙරය. ‘පාර්ලිමන්ට් ජෝක්ස්’, ‘වන් ෂොට් වන්’ , ‘ලීඩර්’ වැනි චිත්‍රපට හරහා අධ්‍යක්ෂණයත් රංගනයත් සමාන්තර කර ගැනීමෙන් ඔහු එක්තරා දක්ෂකමක් ප්‍රකට කළේය. එමෙන්ම මේ දෙසැම්බරයේ ඔහුගේ තවත් සමාන්තර කාර්යයක් කළ චිත්‍රපටයක් තිරයට පැමිණීමට නියමිතයි. එය නමින් ‘ඩොක්ටර් නවරියන්’.

පෙර චිත්‍රපට සේම මෙයට යම් දේශපාලන පසුබිමක් ඇතැයි යන්න පමණක් අපට කිව හැක. ඉතිරිය ඔබ නිශ්චය කර ගත යුත්තේ සිනමාහලට යෑමෙනි.

ඩොක්ටර් නවරියන් බිහිවන්නේ බොලිවුඩයේ මීට වසර 14 කට පෙර රාජ් කුමාර් හිරානි අතින් බිහිවුණු අතිශය ජනප්‍රිය හාස්‍ය උත්පාදක චිත්‍රපටයක් වන ‘මුන්නා භායි එම්.බී.බී.එස් ‘ චිත්‍රපටය ඇසුරෙනි. එදා රාජ් කුමාර් හිරානි සහ එහි නිෂ්පාදක විදූ විනෝද් චොප්රා සුසංයෝගය මුන්නා භායි තුලින් ඉමහත් පන්නරයක් ලැබූ අතර ‘ත්‍රී ඉඩියට්ස්’ හා ඉන්දියාවම ආන්දෝලනයකට ඇද දැමූ ‘පී.කේ’ වැනි චිත්‍රපට ඔවුන්ගේ සුසංයෝගය නිසා බිහි වූ ඒවාය. ඒ අනුව රන්ජන් බාර ගන්නේ ප්‍රතිනිර්මාණය කිරීමේ අභියෝගයක්ය.

ඒ අනුව රියන් 4කට වඩා උස දේහදාරී රන්ජන් දොස්තර කෙනෙක්ගේ චරිතය කෙසේ කර ඇත්දැයි බැලීමට ඔබට සිනමාහලකට යෑමට සිදුවේ. එමෙන්ම ඔහුගේ දේශපාලනය මෙවර චිත්‍රපටයට යොමු වන්නේ කෙසේදැයි කීමට මෙයින් ඉඩක් වෙන් නොකෙරේ. එයට මේ ප්‍රතිනිර්මාණය බැලීමට අනිවාර්ය වේ. රන්ජන් රාමනායක නම් ජනතාවගේ නළුවා අප හමුවූයේත් තිරයෙන් ඔබ්බට කතා කළ යුතු බොහෝ දේ ඇති නිසාය. දේශපාලනයෙන්, සිනමාවෙන්, අනුහසෙන් ඔහු අන්‍යයන්ට දනවන කුතුහලය ගැන අපි ඔහු සමඟ කතා බහ කළෙමු. එහි නිමිත්ත වනුයේ ‘ඩොක්ටර් නවරියන්’.

සෞඛ්‍ය සම්පන්න වෙන්න සෑහෙන්න අරගලයක් කරනවා ඇති නේද?

ඒක එච්චර විශාල දෙයක් නෙවෙයි. මම බොහෝ වෙලාවට කරන්නේ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගන්න එක. ඒක කෑම බීම වලින් වගේම දෛනික ව්‍යායාම් වලින් මම උපරිම පවත්වාගෙන යනවා. මෑතක ඉඳන් මම මගේ ආහාර රටාව මදක් වෙනස් කළා. වෙනදට මම උදේට කනකොටත් උදේ 11යි. ඒත් දැන් එහෙම නෑ. මම දැන් උදෙන්ම කනවා. ඉස්සර උදේට කාපු කෑම වේල නෙවෙයි දැන් කන්නේ. දැන් කන්නේ දියබත්. කලින්දා රෑට රතු බත් වලට වතුර දාලා තියල පහුවෙනිදට රතු ළුණු, අමු මිරිස්, මී කිරි, කජු දාලා දියබත හදාගන්නවා. ඒක සෑහෙන්න ගුණ කෑමක්. ලොකුම දේ තමයි මොළේට, මනසට තියෙන නිදහස. ඒ නිදහස නැත්නම් කොච්චර ශරීර යෝග්‍යතාවක් තිබුණට වැඩක් නැහැ. ඒ සඳහා භාවනා කරන එක පොත් කියවන එක මම පුරුද්දක් හැටියට කරනවා. මම වැඩි අවධානයක් දෙන්නේ මනස වෙනුවෙන්.

ඔබට අභියෝගයක් ආවොත් ඔබේ මාංශ පේශි සියුම්ව පෙනෙන ලෙස හදාගන්න කියලා, ඔබ ඒ අභියෝගය බාර ගන්නවද?

මටත් ඉස්සර ඔය බොඩි බිල්ඩින් පිස්සුව තිබුණා. නමුත් මෙහෙම දෙයක් තිබෙනවා. ඔබ කියන විදිහට ව්‍යායාම් මාලාවක් අනුව ව්‍යායාම් කරලා ඒ විදිහට මාංශ පේශි හදාගන්න පුළුවන්. නමුත් මගේ අවධානය තියෙන්නේ එතන නෙවෙයි. මගේ අවධානය තියෙන්නේ ශාරීරික යෝග්‍යතාවයට. එහෙම මාංශ පේශි හදන්නේ එළියට පෙන්න මිසක් යෝග්‍යතාවයට නෙවෙයි. මම සමහර බොඩි බිල්ඩින් කරපු අය දැකල තියෙනවා ඒගොල්ලොන්ට දුරක් දුවාගන්න බෑ හති වැටෙනවා. ඔය ක්‍රියාවලිය හරියට මෙහෙම එකක්නේ. ගෙදර ලයිට් ගිය වෙලාවක අපි දාගන්නවා ජෙනරේටරය. පොඩි ජෙනරේටරයකින් ගෙදර ඔක්කොම උපකරණ දුවන්න බෑ. ඒ.සී ෆ්‍රිජ් වගේ ඒවා අපි වහලා දාන්න ඕනෑ. ඒ මොකද ජෙනරේටරයට බෑ මේ සියල්ලටම හරියන්න බලයක් දෙන්න. අන්න ඒ වගේම තමයි අපේ ඇඟත්. අපේ මාංශ පේශි අපි කොච්චර ලොකු කළත් හදවත තමයි මේ පේශි වලට බලය දෙන්නේ. ඇඟ ලොකු වුනාට හදවත ලොකු වෙන්නේ නැහැනේ. ඒ නිසා හදවත දුර්වල වෙන්න පුළුවන්.

ඒ කියන්නේ දෙයියන්ගේ පිහිටෙන් කරදරයක් නැහැ කියන එකද?

ඔව්. තවමත් මගේ අවයව ටික හොඳට වැඩ. ඒ වගේම මම ඔය කියන රසායනික දේවල් ඇඟට දාගන්නේ නැහැ ඇඟ හදාගන්න කියලා. දැන් වුණත් බොහෝ සමාගම් මං ලඟට එනවා ඒගොල්ලොන්ගේ බොඩි බිල්ඩින් රසායන ද්‍රව්‍ය සන්නාම ප්‍රවර්ධනය කරලා දෙන්න කියලා. ඒවාට ඒගොල්ලෝ මට ලක්ෂ ගණන් දෙන්නත් පොරොන්දු වුණා. ඒගොල්ලොන්ගේ සමහර වැඩ වලට මට ආරාධනා කරනවා ඇවිත් යන්න කියලා. ඒ ඇවිත් යන්න කියන ඒවටත් මට ඒගොල්ලෝ ගෙවන්න පොරොන්දු වුණා. ඒත් මම ඒ දේවල් බාර ගත්තේ නැහැ. මොකද ඒවා ඇඟට අහිතකර රසායන. මම ඒවා කවදාවත් ප්‍රවර්ධනය කරන්න යන්නේ නැහැ සල්ලි වලට. අනික ඉස්සර නං ගොඩක් අය කිව්වා රන්ජා ඒ දවස්වල කළුයි දැන් නං සුදුයි කියලා. එහෙම වුණේ මං හුඟක් වතුර බොන නිසා. මගේ විජලනය ඉතා අඩුයි.

හොඳයි. ඔබට ‘මායා’ චිත්‍රපටයේ ලැබුණ චරිතය ඔබට නැවත ජනතාව අතරට යන්න තරම් විශාල පදනමක් ලැබුණා නේද?

ඒ චරිතය මට ලොකු අභියෝගයක් දීපු චරිතයක්. විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ලංකාවේ දක්වන ආකල්පයත් එක්ක තමයි මේ චරිතය අමාරු වෙන්නේ. මේ චරිතය කළාට පස්සෙත් පාර්ලිමේන්තුවේ පවා මට උසුළු විසුළු ආවා. නමුත් ඒ චරිතය ප්‍රේක්ෂක ජනතාව බාර ගත්තා. මට වුණත් යම් යම් තැන් වල මේ චරිතයේ සංවේදී තැන් හොඳට දැනුණා. අපි පවා මේ අයට ඉස්සර උසුළු විසුළු කළා. ඒක හරිම වැරදි වැඩක්. මට හිතෙනවා ඒ අය වෙනුවෙන් යමක් කරලා මම කරගත්තේ පිනක් කියලා.

ඔබ නැවතත් ඩොක්ටර් නවරියන් හැටියට එන්නේ ඒ වාගේම හොඳ බජට් එකක් තියෙන චිත්‍රපටයකින්. ඔබ බජට් එක ගැන ලොකුවට තකනවද?

ඇත්තටම කිව්වොත් මම නම් චිත්‍රපටයේ බජට් එක ගැන හොඳටම බලනවා. බජට් එක හොඳට නැත්නම් එතැන වැඩ කරන්න පුළුවන් හොඳ වාතාවරණයක් නැහැ. මොකද මේවා සුන්දරව කරන්න ඕන වැඩ. තේ හදන කෙනාගේ ඉඳන් නළුවා අධ්‍යක්ෂක දක්වා මේ පිරිවැය නැත්නම් බජට් කියන එක බලපානවා. තියෙන්නේ පොඩි බජට් එකක්නම් කඩිමුඩියේ විශාල වෙහෙසක් එක්ක හැමෝටම වැඩ කරන්න වෙනවා. එතන ඊට පස්සේ ඇතිවෙන්නේ අතෘප්තියක්. තේ හදන කෙනා සාප කර කර තේ හදනවා සීනි වැඩි කරලා.ඒක ඊට පස්සේ නළුවා බොනවා. ඊට පස්සේ නළුවට මල පැනල තූ කියලා විසි කරනවා. ඊට පස්සේ ඒ කේන්තිය එයාගේ ඇඟේ තියෙනවා. කැමරාවෙන් බලද්දී අර කේන්තිය නළුවාගේ මූනෙ මාංශ පේශි වල රෙජිස්ටර් වෙලා. එහෙම වැඩ කරන්න බැහැ. ඒක නිසා මම අධ්‍යක්ෂණය කරන කොටත් රඟපාන කොටත් බජට් එක ගැන ඉතා සැලකිලිමත්.

ඔබ මෙතෙක් කල් ඉල්ලපු බජට් ඒ විදිහටම ඔබට ලැබුණාද? ඒ ගැන තෘප්තිමත්ද?

මම ආපු මුල් කාලේදී නම් එහෙම හොඳ බජට් තියෙන නිර්මාණ ලැබුණේ නැහැ. ඒ දවස්වල ඉතින් ලැබුණානම් ලැබුණේ නළුවා ඇබ්සන්ට් වෙච්ච අතරමග දාල ගිය ඔක්කොම අප්සට් ජල්තර වෙච්ච වැඩනේ. ඉතින් මං අතින් කාලා හරක් බැලුවා. හැබැයි පස්සේ කාලෙක ඒ තත්වය වෙනස් වුණා. මට හොඳ බජට් තියෙන නිර්මාණ හම්බවුණා. අධ්‍යක්ෂණයට එනකොටත් මම බැලුවේ හොඳම විදිහට බජට් එක යොදවගන්න. පාර්ලිමන්ට් ජෝක්ස් කරලා වන් ෂොට් වන් එකට එද්දී මම ගොඩක් වෙනස්කම් කරන්න බැලුවා. මට ඕනෑ වුණා ආයෙත් පුළුල් තිර සිනමාස්කෝප් චිත්‍රපටයක් කරන්න. බෝම්බ පුපුරවන්න විශේෂ ප්‍රයෝග යොදන්න. සිනමාස්කෝප් ගෙනෙද්දී සමහරු කිව්වා හෝල් වල බිත්ති කඩන්න වෙයි කියලා. මම කිව්වා ඉස්සරහට හැමෝම බිත්ති කඩලා හොඳ හෝල් හදයි කියලා. ඒ අස්සේ සමහර අය කේලම් කිව්වා නිෂ්පාදකයන්ට. රන්ජට ඕව කරන්න බෑ කියලා කිව්වා. නමුත් මම කළා. ඒවාට හරියන බජට් මට ලැබුණා. ඒ බජට් වැඩ ලංකාවම වෙනස් කළා. නමුත් එහෙම තෘප්තියක් ලැබුණා කියලා එකක් නැහැ. තව වැඩ මම කරනවා.

ඩොක්ටර් නවරියන් වගේ තේමාවක් මේ වෙලාවේ ඔබට අවශ්‍යයි කියලා හිතුණේ ඇයි?

පහුගිය ටිකේම මම රඟපාපු චිත්‍රපට වල චරිත වීරයාගේ ඒවා. ඒවගේම ඒවාට පොඩි චණ්ඩි හැඩයකුත් තිබුණා. ඉතින් මට හිතුනා මේ වතාවේ මේ චණ්ඩියාගේ චරිතය පොඩි වෙනස් කිරීමකට භාජනය කරන්න ඕනෑ කියලා. ඒ නිසා තමයි මම මුන්නා භායි චිත්‍රපටයේ මේ කතා තේමාව තෝරාගත්තේ. මේකේ චණ්ඩියට ඉතාම මානුෂික හැඩයක් තියෙනවා වගේම ඉතාම කරුණාබර හදවතක් තියෙනවා. ඒ හදවත උණුවෙන චරිතය තමයි මට ගේන්න ඕනෑ වුණේ. මම යම් කාලයක් ගත්තා වගේම ලොකු වියදමකුත් කළා චිත්‍රපටය වෙනුවෙන්. මම ඉතින් වැඩිපුර මුකුත් කියන්නේ නැහැ චිත්‍රපටය ගැන. ඒක ප්‍රේක්ෂකයාට බාරයි.

චිත්‍රපටයේ අපි දැක්ක දෙයක් තමයි ඔබ කාලීනව මතු වුණු යම් සිදුවීම් මාලාවක් චිත්‍රපටයේ යම් තැන් වල සූක්ෂමව ඔසවා තබනවා. ඒ කාරණයට දේශපාලනයත් විශාල ලෙස සම්බන්ධයි.

ඔව් ඒක වෛද්‍යවරුන් සම්බන්ධ ප්‍රශ්නයක්. මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ මොහොතේ වෛද්‍යවරු හා වෛද්‍ය සංගම් යෙදිලා ඉන්නේ එතරම් සදාචාර සම්පන්න ක්‍රියාවලියක නෙවෙයි. ඒවා ජනතාවාදී නැහැ. ඒ අයගේ ප්‍රකාශ වලින්ම පැහැදිලි වෙනවා ලෙඩ්ඩුන්ට වඩා තමන්ගේ ඉල්ලීම් ලොකුයි කියලා. ඒ දේට මම එකඟ නැහැ. මට හිතුණා මේ ප්‍රශ්නය මතු කරන්න. මේ දේ හරියට හෙවණක් බලාපොරොත්තුවෙන් ගහක් හිටවල හෙවනට ගියාම අත්තක් කැඩිලා ඔළුවට පාත් වුණා වගේ වැඩක්. මොකද වෛද්‍යවරුන්ව හදන්න මහන්සි වුණේ මේ රටේ ජනතාව. ඔවුන්ට වැය වුණේ ජනතාවගේ බදු සල්ලි.

දැනුත් මින් මතුවටත් ඔබට සිද්ධ වෙනවා ජනතාවගේ ගැටලු අරගෙන ඒ වෙනුවෙන් රඟපාන්න. ඔබට යන්න වෙන මාවතක් නැහැයි කියලයි මට පේන්නේ?

ඔයා ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මට වෙලා තියෙන්නේ ඒ දේ තමයි. මම හැමවෙලේම ජනතාව නියෝජනය කරනවා. දැන් ඔවුන් මාව බිත්තියට හේත්තු කරලා ඉවරයි. දැන් මට සිද්ධ වෙනවා ඔවුන්ගේ ප්‍රශ්න ගැන වැඩිපුර කතා කරන්න.