වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

දේදුණු ආකාසේ හේමාල්

දේදුණු ආකාසේ චිත්‍රපටයේ හේමාල් රණසිංහගේ රංගනය විශිෂ්ටයි. ඔබේ රංගන හැකියාව තව තවත් දියුණු කර ගනිමින් සිනමා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


අගය ඇති ටෙලි

80 දශකයේ විකාශය කළ ගංගා සහ නිශ්ශංක, ඉරට අඬන මල් ටෙලි නාට්‍ය නැවත විකාශය කරන මෙන් ඉල්ලා සිටිමි. වර්තමානයේ නිර්මාණය කරන හරසුන් ටෙලි නාට්‍යවලට වඩා එම ටෙලි නිර්මාවල ඇති අගය කියා නිම කළ නොහැකිය.

දිනේෂ් ගුණසේකර
නූපේ මාතර


නාමල් ජයසිංහ වෙත

සිත් බැඳගත් ටෙලි නාට්‍ය වන ජීවිතයට ඉඩ දෙන්න, බොහිමියානුවා වැනි පිටපත් රචක නාමල් ජයසිංහගේ කුළුඳුල් අධ්‍යක්ෂණය සහෝදරයා ඉතා රසවත්ව දිග හැරෙනු ඇත. රොෂාන් රවීන්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, චාන්දනි, චමිලා, ධර්මප්‍රිය ඩයස් වැනි නළු නිළියන්ගේ රංගනයෙන් ඔපවත් වන සහෝදරයා අපට ටෙලි නිර්මාණ නරඹන්නට උනන්දු කරවන්නකි. එහි ගීත ගායනයෙන් මෙන්ම සංගීත අධ්‍යක්ෂණයෙන් කළ කසුන් කල්හාරගේ දායකත්වය ද අගයමි.

ක්ලෝඩ් ද ලිවේරා
නාලිනී ද ලිවේරා
මීගමුව


කම්මැලි නැති ටෙලිය

ජාතික රූපවාහිනියෙන් විකාශය වන චුට්ටේ ටෙලි නාට්‍යය කම්මැලිකමක් නොමැතිව නැරඹිය හැකි හොඳ ටෙලි නිර්මාණයකි. ත්‍රාසය, ආදරය සේම ප්‍රහසනය ද සපිරි මෙම ටෙලියේ සුරාජ් මාපාගේ රංගනය ද වෙනස්ම අයුරකින් ඉදිරිපත් වීම සතුටකි. නමුත් එහි චුට්ටේ චරිතය තුළ සුරාජ්ගේ අහිංසක මුහුණ ඉස්මතු වී පෙනෙන බව කිව යුතුය.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


ආදරණීය සිබිල් නැන්දාට

ළමා පරපුරට ගෝචර වන පරිදි සුවිශේෂි සිතුවම් කලාවක් උපයෝගි කර ගනිමින් සිතුවම්කරණයේ දිගුකාලිනව ලද අත්දැකීම් සමුදායක් ඔස්සේ කළ නිර්මාණවල අගය කියා නිම කළ නොහැකිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය ප්‍රවීණ චිත්‍ර ශිල්පිණියකි. ඇයටම ආවේනික සිතුවම්කරණයකින් ජය දද නැංවූ කාගේත් ආදරණීය සිබිල් නැන්දාට දීර්ඝායුෂ පතමි.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


අගය ඇති ගීත එකතුව

ජාතික ගුවන්විදුලියේ හද බැඳී වෙළෙඳ සේවයෙන් සෙනසුරාදා ගුවනට මුසුවන හිස්මාස්ටර්ස් චොයිස් චාර්ට් ෂෝ රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වැඩසටහනකි. අතීතයේ ඇසුණු නිතර නෑසෙන ගීත මෙම වැඩසටහනෙන් ප්‍රචාරය කිරීම අගය කළ යුතුය. හිස්මාස්ටර්ස් චොයිස් චාර්ට් ෂෝ සුමියුරු හඬින් ගෙන එන සම්පත් සල්පිටිකෝරාල, නලීන් පෙරේරා ඇතුළුව වෙළෙඳ සේවයට අපේ සුබාසිරි.

කිත්සිරි ගුණසේන
බදුල්ල කන්දෙගෙදර
කොලොන්නාවේ විජේසිරි


සොඳුරු කලාකරුවා

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ ගීත රචක සිරි කුලරත්න සදහටම අපෙන් සමුගෙන වසරක් ගත වී ගියත් එතුමන් කළ නිර්මාණ අප මතකයේ තවමත් රැඳී ඇත. මෙවන් සොඳුරු මිනිසුන් අහිමි වීම කලා ලොවටද ඉතාමත් පාඩුවකි. අපේ පිනට පහළ වූ මේ නිර්මාණශීලි සොඳුරු කලාකරුවාට නිවන් සුව.

නීලා ඉන්ද්‍රානි වීරපුර
දළුපත
මීගමුව


දෙස් විදෙස් රසික හද දිනූ මරියසෙල‍්

භාෂා කිහිපයකින් ගීත ගායනා කරන අති දක්ෂ ගායිකාවක ලෙසින් මරියසෙල් ගුණතිලක දෙස් විදෙස් රසික රසිකාවන්ගේ ආදරයට පත් වූ කලාකාරිණියකි. ඇයගේ ගීත ප්‍රසංගයක් පවත්වන්නේ නම් කෙතරම් අගනේද?

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


සුනිල් ශාන්ත සැමරුම

වෙනදාට සුනිල් ශාන්ත සැමරුම් වෙනුවෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කරනුයේ අයිවෝ ඩෙනිස් සූරින් විසිනි. එතුමා දැන් ගිලන්ව සිටින බැවින් මෙවර සැමරුමේදී සුනිල් ශාන්තියන්ගේ ගී ගැයුවේ සංගීතඥ නදීක ගුරුගේ විසිනි. ඔහු ඉතාමත් ප්‍රසංශනීය අයුරින් ගායනයේ යෙදීම පිළිබඳ අපගේ ප්‍රණාමය.

රෝෂිණි ගෝමස්
කටුබැද්ද
මොරටුව


අයිරින් සිල්වාට නිරෝගී සුවය

ජීවනයේ මල් පිපුණා, දෑස පා සිනා, සඳ වගේ ලස්සන, මගේ පිටිසර පොල් අතු පැල, සඳේ එන්නම් වැනි ජනප්‍රිය ගී ගැයූ අයිරින් සිල්වාට නිදුක් නිරෝගී සුවය පතමු.

රත්නසිරි අමරසේකර
ගඟුල
පාණදුර


ඔබයි අපේ විකට රජා

කලා ලොවේ විකට රජා
අප අතහැර යන්න ගියා
වසර ගණන් ගෙවී ගියත්
ඔබයි අපේ විකට රජා

ෆ්‍රෙඩී කියන ඔය නාමය
මුළු දෙරණම පැතිරී ගිය
දැක්කත් ඇති ඔබ
සිනහ ගෙනේ අප සැම වෙත

ඔබ වැනි වූ විකට රජෙක්
නැත දෙරණේ යළි එන්නට
ඔබ නැතද අද
ආදරෙයි සැමදා අප ඔබහට

සරත් සේනාධීර
කලඑළිය
ජා-ඇල


සෝනියා ඔබ තනි නැත

සෝනියා දිසා අප සිනමා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකි. ඇය සිනමාවට පය තැබූ සැණින් සිය දස්කම් එළි දැක්වූවා. පසුගිය දිනෙක ආලකමන්දාව තුළින් ඇය සිය අතිතයට පියනැගූ අයුරු නම් විශිෂ්ටයි. අද ඇය කොතැනක සිටියත් අතීතයේ සතුට පිරුණු කාලය ගැන සතුටින් සිටින වග නම් දැනුණා. එදා මෙන් අද පෙම්වතිය වීමට නොහැකි වුවත් රංගනයේ දක්ෂතාව ඔබ හැර ගොස් නැති බව කිය යුතුය. සෝනියා ඔබ තනි වී නැත. ඔබට නිරෝගි සුවය පතමි.

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව


රසික මතකයේ රැඳී සේනක ටයිටස්

වේදිකාවෙන් ලද පන්නරයෙන් ටෙලි වෘත්තාන්තයට පිවිසුණු සේනක ටයිටස් නිර්මාණ අතළොස්සක රඟපෑවද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් චරිතයක් බව මේ වසන්න කාලය යි සහ කූඹියෝ තුළින් මනාව පැහැදිලි වේ. ජීවිත රඟමඬලින් සමුගත් මෙම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා රසික අප මතකය අතරින් කිසිදා ගිලිහෙන්නේ නැත.

චන්ද්‍රකාන්ති පියතුංග
දළුගම
කැළණිය


එදා මෙදාතුර රජකතාව

එදා මෙදාතුර රජකතා කොතෙකුත් නිපදවා තිබුණත් මාතලන් චිත්‍රපටය අදටත් ඒ අතර පෙරමුණේ සිටියි. රසවත් කතාවක් මනහර නැටුම් ගීත ආකර්ශනීය රැඟුම් ආදියෙන් ඉතා අලංකාර වී ඇති මාතලන් අදටත් ඇගයීමකට ලක් නොවීම පුදුමයකි.

ගාමිණි මහවෙලගේ
පිලියන්දල


ධම්මික පී රත්නායකට නිවන් සුව

ගුවන්විදුලි ශ්‍රාවකයන්ගේ හද බැඳ ගත් ධම්මික පී රත්නායක වෙළෙඳ සේවය ඔස්සේ අසන්නන්ගේ ආදරය දිනාගත් දක්ෂ නිවේදකයෙකි. නිවේදකයකු ලෙසින් ඔහු තරම් ජන හද බැඳගත් කෙනෙකු නොමැති තරම්. රෝගාතුරව සිට පසුගියදා අපෙන් සමුගත් ධම්මික පී. රත්නායක නාමය රසික හදවත් තුළ නොමැකී පවති.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


ජනප්‍රිය නිවේදක ධම්මික පී. රත්නායකට නිවන් සුව

60 - 70 දශකයේ සිට වෙළෙඳ සේවයෙන් ජනප්‍රිය දක්ෂ නිවේදකයකු ලෙසින් ධම්මික පී. රත්නායක හදිසියේ අභාවප්‍රාප්ත වූ හෙයින් එතුමාට නිවන් සුව අත්වේවා යි පතමු.

තිලකරත්න විල්වල
මැණිකේ විල්වල
තටාකය පාර
කෑගල්ල




විචිත්‍රවත් හරවත් වැඩසටහන

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කළ සොබාදහම වැඩසටහන ඉතා විචිත්‍රවත් හරවත් කාලෝචිත වැඩසටහනකි. එහිදී ශ්‍රී පාදස්ථානයේ අප නොදැන සිටි තොරුතුරු ගණනාවක් දැන ගැනීමට හැකි වූව සේම සොබා සෞන්දර්යයෙන් පිරි දසුන් පෙළක් නැරඹීමට ද අවස්ථාව ලැබිණි. එවන් වැඩසටහනක් ගෙන ඒම පිළිබඳව ජාතික රූපවාහිනියට තුති.

දිනේෂ් ගුණසේකර
නූ‍ෙප්
මාතර


ණිකාට පණ දුන් මාධනි

කාල සිනමා නිර්මාණයේ මැණිකාගේ චරිතයට පණ දෙමින් මාධනි මල්වත්තගේ කරන රංගනය අතිවිශිෂ්ට රංගනයකි. ඔබට සුබ පැතුම්.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


වර්තමානයේ සුනිල් ශන්ත හඬ

සුනිල් ශාන්තයන්ගේ හඬට සමාන හඩක් ඇති ලංකාවේ එකම ගායකයා ලෙසින් සැලකෙන අයිවෝ ඩෙනිස් ගායන ලොවට පිවිස දශක ගණනාවක් ගී ලොව එළි පෙහෙලි කර දුන් දායකත්වය ඉහතාම ඉහළ වේ. මේ වන විට රෝගාතුරව සිටින ඔබට ඉක්මනින්ම සුවය ලැබේවායි පතමි.

ප්‍රේමසිරි නාරසිංහ
වල්පල
මාතර


මායා දමයන්තිට

ඔබටම ආවේණික මියුරු ගීතයෙන් අප පිනවූ ඔබ ගැයූ පුරසඳ ලෙස වැනි ගීත අප හදවත් තුළ සනිටුහන් වී ඇත. එදා ඒ හඬ තවමත් රැකගෙන සිටින ඔබ සේම ඔබ දියණිය කුෂාණි සඳරේඛාටත් දිගු ගමනකට සුබ පැතුම් එක්කරන අතර තව තවත් අප වෙනුවෙන් මියුරු ගීත ගැයීමට ලැබේවායි පතමු.

සුනිල් බී. වේහැල්ල
මොහාන් සංජය මාලින්ද
තරුෂි අනුත්තරා නිර්මාණි
ශාන් සංගීත් දිදුලන්ත
නීතා නන්දනි සමරසිංහ


ෂෙල්ටන් පෙරේරා අමතක කළ හැකිද

මිහිරැති වසන්තය අමතක වීලා ද
ගිම්හානය ගිලන් වී වේදනා වේ ද
ෂෙල්ටන් පෙරේරා සංගීත විශාරද
අමතක කරන්නට අපහට පුළුවනිද

සසර චේතනාවේ බුදුණේ බුදුණේ
කෙතරම් උස් හඬින් ගැයුව ද ස්වාමිණේ
දස්කම් පෙන්වන්න තිබුණත් ලක් දෙරණේ
අවස්ථාව නොලැබුණිදෝ මට සිතුණේ

ඔහු ගැයු මිහිරි ගී අපහට ඇසේවා
ලක් දරුවනට ඔබේ හැකියා පේනේවා
ලාලිත ගැඹුරු හඬ රැව් පිළි රැව් දේවා
ඔබගේ හඬින් ඔබ ගැයූ ගී ඇසේවා

ආර්. ඒ සෝමා රණසිංහ