වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ධනංජය, ශෂිනි එක්ක අලුත් නිවහනකට ගොඩවැඳිලා

ධනංජය, ශෂිනි එක්ක අලුත් නිවහනකට ගොඩවැඳිලා

ධනංජය සිරිවර්ධන. කාලයකට පස්සේ ධනංජය ගැන කිසිම කතාබහක් ඇහුණේ නැති නිසා ඔහු මොකද කරන්නේ කියලා විමසලා බැලීමට ‘සරසවිය’ අපි අමතක නොකළෙමු. එහිදි අපට දැන ගැනීමට ලැබුණේ ඔහු පිළිබඳ අලුත් ආරංචි කිහිපයකි. ඒ එකක් නම් ඔවුන් ටික කලක පටන් අලුත් නිවහනක පදිංචිය සඳහා ගිය බවයි. අනෙක් කාරණය නම් ධනංජයගේ ප්‍රිය බිරින්දෑ ශෂිනි සිරිවර්ධන සිය රැකියාවෙන් සමුගෙන ධනංජයගේ දුක සැප බලමින් නිවෙසේම රැඳී සිටින බවයි. ඒ සියලු තොරතුරු පිළිබඳ දැන ගැනීමේ අදහසින් හා ඔවුන්ගේ සුන්දර කැදැල්ලේ සුවදුක් සොයන අටියෙන් පසුගිය දිනෙක අපි හෝකන්දර ප්‍රදේශයේ පිහිටලා තිබෙන ධනංජය - ශෂිනිගේ නිවහනට පිවිසුණෙමු. නිවහනට ඇතුල්වනවාත් සමඟම අපගේ නෙත ගැටුණේ කිසිදු ආටෝපයක් නොමැති සරල සැහැල්ලු ගෙමිදුලකි. ඒ ගෙමිදුල පසුකර නිවෙසට පිවිසෙනවාත් සමඟම එහි සාලයේ තිබෙන සරල බව අපගේ වඩාත් සිත් ගත් බව නම් කිව යුතුමය. වැඩිපුර ලී බඩු ගොඩනොගැසූ ඒ මුළු නිවෙසේ බිත්ති සරසා තිබුණේ සුදුපැහැති වර්ණයෙනි. ඒ සුදුපැහැති වර්ණය නිසා මුළු නිවෙසෙම අමුතු දීප්තියකින් බබළන්නේ යැයි මට සිතුණි. එහි පැහැය වැදී දිලෙන ශෂිනිගේ උවන අද වඩාත් සුන්දර වී ඇත. අපව පිළිගත්තේ ඇයයි.

“කාලයකට පස්සේ”

බොහොම සුන්දර අයුරින් සිනහ වී හදවතින්ම කතා කරන ශෂිනි පවසන්නේ සැබෑවකි. ඒ මා ඔවුන් දෙදෙනා පිළිබඳ ලිපියක් ලිව්වේ මීට වසර දෙකකට පමණ ඉහතදී බව මගේ මතකයට නැඟුණේ එවිට ය. මඳ වේලාවකින් අප හමුවට පැමිණියේ ධනංජය සිරිවර්ධනයි.

“ඉතිං කොහොමද ජීවිතේ?”

“සුපුරුදු විදියට හොඳීන් ඉන්නවා. ඒ දවස්වල කළ දේවල් වෙනස් විදියට නිවේදන කටයුතු, නර්තන කටයුතු හරහා කරගෙන සතුටින් ඉන්නවා.”

දවස තිස්සේ පුංචි තිරයෙන් ධනංජය දකින්නට නොහැකි වුණත් නිර්මාණ එකක, දෙකක ඔහුගේ රුව දකින්නට අපට හැකියි.

“මෙහෙම වෙන්නේ ධනංජය රඟපෑමෙන් සමුගෙනද?”

“එහෙම දෙයක් නැහැ. කොහොමත් මම තෝරාගෙනයි රඟපාන්නේ. මේ දවස්වල ‘කොන්කළ දෝණි’ ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපානවා. පසුගිය දිනෙක අවසන් වුණු ‘මිල්ලෑව වලව්ව’ ටෙලි නාට්‍යයේ චරිත තුනක් සඳහා රංගනයෙන් සහභාගි වුණා. එය මේ කාලයේ විකාශය වුණු හොඳ ටෙලි නාට්‍යයක්. හොරර් ශානරයට යටත්ව පෙළ ගැසෙන ටෙලි නාට්‍යයක්. ඒ වනවිට ‘මිල්ලෑව වලව්ව’ ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයක් බවට මිනිස්සු වැලඳ ගත්තා. ඒක හොඳ ප්‍රවණතාවක්.”

එහි ධනංජය පණ පෙව්වේ අශෝක අප්පු නම් සුජාත පුත්‍රයා හා අවජාත පුත්‍රයා, ඔහුගේ පියා යන චරිත ත්‍රිත්වයටයි.

“කිසිම දවසක සිනහ නොවුණු චරිත තුනක්. කතා කරන විලාසයන් තුනක්. ඔවුන්ගේ වේශ නිරූපණයන් තුනක්. අනෙක් අයගේ සහයෝගයත් ඇතුව මා ඒ චරිත රඟපෑවා. කාලයකට පසුව මට කරන්නට ලැබුණු හොඳ රඟපෑමක්.”

ඒ චරිත පිළිබඳ ධනංජය කියෑපෑවේ සිය සිතේ නැඟි සතුට ගැන ය. ඒ වගේ ම පසුගිය කාලයේ දිගටම බොහොම සතුටින් කළ තවත් යමක් ධනංජයගේ ජීවිතයේ පෙළ ගැසී තිබිණි.

“ඒ නර්තනයද?”

“නර්තනය ඉගෙන ගන්න මට ලොකු ආසාවක් තිබුණා. ගිය වසරම මා කැප කළේ ඒ වෙනුවෙන්. එහි කොහොමත් භාවාත්මක ප්‍රකාශයක් තිබෙනවා. වේදිකාව මත අඳීන චිත්‍රය බොහොම ලස්සනයි. නර්තනයක් අවසන් කරලා එය රූපවාහිනියෙන් දකින විට ඒක නියම වැඩක් කියලා මට සිතෙනවා. හැම තිස්සේ ම නොවෙයි ඉඳලා හිටලා ඒ විදියට නර්තනයේ යෙදෙන්න මම ආසයි.”

මේ සියලු කටයුතු නිසා ධනංජය ගත කරන්නේ කාර්යබහුල ජීවිතයකි. එය නිවෙසේ ඉන්න වෙලාවක් සොයා ගැනීමට බැරි තරම් යැයි පැවසුවොත් සත්‍යයකි.

“සද්ද බද්දයකින් තොරවම ඔබ දෙපළ අලුත් නිවහනකට පැමිණියා?”

“අලුත් නිවහයට ඇවිත් ටික කාලයක් වෙනවා. ඒක මම කිසිම කෙනෙකුට කිව්වේ නැත්තේ අතිශය මගේ පෞද්ගලික කාරණාවක් නිසයි. අනෙක් කාරණය නම් ඒක ගොසිප් එකක් විතරයි. ඒක අනෙක් අයට වැඩක් නැතිවේවි කියලයි සිතුණේ. ඒ වගේ ම අප ජීවිතයේ කොයිතරම් කාලයක් කොතැනක ඉඳීද කියලා කාටද කියන්න පුළුවන්.”

ධනංජය සිය ජීවිතය ගෙවීමට වඩාත් කැමැත්තක් දක්වන්නේ සරලව බවයි අපට හැඟී ගියේ.

“ඔබ වඩාත් ජීවත්වන්නට කැමැත්තක් දක්වන්නේ සරලවයි”

“මේ නිවෙස අපි ඉන්න හදපු ගෙයක්. එහෙම නැතුව මේ නිවෙසෙ ප්‍රදර්ශනය කරන්න හදපු ගෙයක් නොවෙයි. ඒ නිසා අපි දෙන්නා අපට කැමැති විදියට, පහසු විදියට ඒ නිවෙස නිර්මාණය කර ගත්තා. මට අවශ්‍ය වුණේ මගේ කියලා තැනක් නිර්මාණය කර ගන්නයි. ඒ කිව්ව කාරණය සංකීර්ණ කර ගන්නේ නැතිව සරලව අපි අපේ නිවෙස නිර්මාණය කළා. ඒත් මේ නිවෙසත් සංකීර්ණ වැඩියි කියලයි මට නම් සිතෙන්නේ. ඊටත් වඩා සරල වෙනවා නම් තවත් හොඳයි. පේනවා නේ මේ නිවෙසේ කිසිම දෙයක් නැහැ.”

ධනංජය අසලම ඉඳීමින් ඔහු කියන අදහස්වලට සිනහවකින් පිළිතුරු දෙන්නී ශෂිනි ය.

“රැකියාවෙන් නිවාඩු අරගෙන ටික කාලයක් වගෙයි”

“ටික කාලයක් වෙනවා. ඒ කාලයේ මම බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කළත් දැන් නම් මා නිවෙසෙට වී ගත කරන්නේ විවේකීවයි. නිවෙසේ සියලු කටයුතු සිදුවන්නේ මගේ අත්දෙකෙන්ම තමයි. සමහර වෙලාවට ධනංජය නිවෙසේ සිටියොත් ඒ වැඩවලට මට උදවු වෙනවා.”

ඒ නිවෙසේ සිටින කාලයේ ඈ සිය විවේකය යොදවන්නේ ගෙමිදුලේ එක් පැත්තක එළවළු පැළ සිටුවීමටයි. මේ වනවිට බණ්ඩක්කා, ගස්ලබු පැළ, මිරිස් පැළ ඇගේ අතේ පහස ලැබ සැදී වැඩී ඇති අයුරු අපි දුටුවෙමු.

“දේශීය කෑමට දෙදෙනාම කැමැතියි”

“වස විෂ නැති කෑම කන්න තිබෙනවා නම් වඩාත් හොඳයි. ඒ නිසා මම මේ වෙහෙසෙන්නේ අපේ වත්තෙන්ම කඩාගත් එළවළුවලින් කෑම හදන්නයි. ඒකට තව ටික කාලයක් යාවි. තවත් මෑකරල්, දඹල, වම්බටු, බටු, ඇතුළු එළවළු පැළ රැසක් සිටුවන්නයි මම සිතාගෙන ඉන්නේ. ධනංජයත් ඒ කෑම කන්න කැමැතියි. ඒත් ඔහු වඩාත් ම කැමැති කිරිබත් කන්නයි.”

කාර්යබහුලත්වයෙන් මිඳී නිවාඩුවක් ලැබුණු විට ඔවුන් කරන්නේ එක්කෝ වෙනසකටත් එක්ක පිටතකට යෑමයි. නැතිනම් වඩාත් කැමැත්තක් දක්වන්නේ නිවෙසේ සිටිමටයි.

“නිවෙසේ සිටින විට පහසුයි”

“නිවෙසේ ඉන්න විට නම් මම කරන්නේ වැඩිපුර නිදා ගන්න එකයි. අනිවාර්යයෙන්ම චිත්‍රපටයක් නම් නරඹනවා. ඒ වගේ ම දවස් තුනකට වරක් චිත්‍රපටයක් නරඹන එකත් මගේ පුරුද්දක්. ඒ චිත්‍රපට මට තෝරාලා දෙන්නේ ශෂිනියි. ඒ වගේ ම ශෂිනි නිවෙසේ ඉන්න විට පොත් කියවන එක එයාගේ විනෝදාංශයක්. ටින් ටින්ගේ ඉඳන් ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතා කියවන්න ඈ බොහොම කැමැතියි. ඒ විතරක් නොවෙයි හොල්මන් කතා තිබෙන පොත් කියවලා ඈ බය වෙන්න දක්ෂයි. මම ඇගෙන් තමයි අද්භූත කතා කියවලා බය වන හැටි ඉගෙන ගත්තේ.”

ධනංජය එසේ කියන විට ශෂිනි ඔහුගේ අත කොණිත්තන්නේ එවැනි කතා නොකියන්නැයි කියමිනි.

“ධනංජයට තරහා යන්නේ නැද්ද?”

“තරහා යනවා. එළියට ගියාට පස්සේ අප වැඩ කරන්නේ විවිධාකාර මිනිස්සු සමඟයි. ඒ සිතුම් පැතුම් එක්ක නිවෙසෙට ආවාට පස්සේ ඉන් මිදෙන්න ටික වෙලාවක් යනවා. ඊට කලින් ශෂිනි මට මොනවා හරි වැඩක් කිව්වොත් තරහ යනවා.”

ධනංජයගේ තරහා ගැනීම ගැන වරද පටවා ගන්නේ ශෂිනි ය.

“ධනංජය ආව ගමන් හෙට තිබෙන වැඩ, එපා දේවල් ඕන දේවල් ඔක්කොම කියවන එක මගේ පුරුද්දක්. ඔහු ඉන්න මූඩ් එක බලන්නේත් නැතුව ඒ වගේ වෙලාවලදි මම කියවගෙන ගියොත් ධනංජයට තරහා යනවා. එහෙම නැතුව එයා කිසිම දවසක මා කිව්ව දෙයක් කරන්නට අමතක කරන්නේ නැහැ.”

ධනංජය රඟපාන නිර්මාණවල හොඳම රසිකාව වන්නේ ඔහුගේ බිරියයි. ඒ වගේම පසුගිය දිනවල තිබුණු සුළඟෙන් ධනංජයගේ නිවෙසෙටද අලාභහානි සිදුවිය. ඔහු රටේ අනෙක් මිනිස්සුන්ට සිදුවූ විපත් ගැනද සිහිපත් කළේ ශෝකයෙනි.

“ඉදිරියේදි මොනවගේ නිර්මාණවලින්ද ඔබගේ රසිකයන් හමුවට පිවිසෙන්නේ?”

“කිඩ්නැප් හා ඇලඩින් කියන චිත්‍රපට දෙක ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. ඉදිරියේදි දැවැන්ත චිත්‍රපටයක කටයුත්තක් සඳහා සූදානමක් තිබෙනවා. මම චිත්‍රපට තිරරචනයක් ලිව්වා. ඒ සඳහා මේ දවස්වල මා නිෂ්පාදකවරයකු සොයනවා. එය මෙතෙක් අපේ රටේ දශක හතක සිනමා ඉතිහාසයේ නොලියවුණු කතාවක්. මේක කර්මෂල් චිත්‍රපටයක්. ඒ නිර්මාණය ඉක්මනටම කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.”

ඒ බලාපොරොත්තු අතර ඉන්න ධනංජයගේ පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනය කරන ගමන්ම අපේ නෙත ගැටුණේ සාලයේ තිබෙන ගිටාරයයි. ඒ ගිටාරය ශෂිනිගේ ය. ගිටාරය වැයීමට මෙන්ම ගැයීමටද ශෂිනි දක්ෂ බිරියකි. නිවෙසේ සිටින වෙලාවට ඇගේ සුරතින් වැයෙන ගිටාරයේ ස්වරය මුළු නිවෙසෙටම විහිද යන්නේ මිහිරියාවක් ගෙනඑමිනි. එහෙත් අප ඔවුන්ගෙන් සමුගන්නට මොහොතකට පෙර නම් ගිටාරය තිබුණේ ධනංජයගේ සුරතේ ය.