වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හෝම් වර්ක් කරන නිවේදක නිවේදිකාවන්  අද අඩුයි

හෝම් වර්ක් කරන නිවේදක නිවේදිකාවන්  අද අඩුයි

සුදේව හෙට්ටිආරච්චි

 

හිරු නම් සුදේව.
සුදේව නම් හිරු.

කැමරාව පිටුපස කෙරෙන රාජකාරි වැඩියි. ඒ හේතුවෙන් ප්‍රවෘත්ති කියවීම නවත්වලා තියෙන්නේ. හිරු නාළිකා ආරම්භයේදී පළමු ප්‍රවෘත්තිය කිව්වේ මං.

සුදේව හෙට්ටිආරච්චි හිරු අයත් වන ඒ බී සී මාධ්‍ය ජාලයට බැඳෙන්නේ 1998 වසරේ. එහෙම බලන කොට ලබන අවුරුද්දට සුදේව හිරුට එකතු වී වසර විස්සක් වෙනවා. හිරු රූපවාහිනි නාළිකාව ඇරැඹීමත් සමඟ එහි වගකිවයුතු නිලධරියකු බවට පත්වන සුදේව අද දක්වාම එම තනතුර හොබවන්නේ ඉතා සැහැල්ලුවෙන්. සුදේවගේ තනතුර මොකක්ද කියලා කිව්වොත් ඔහු තමයි හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ.

ගුවන් විදුලියේ ළමා පිටියෙන් ඇරැඹි මාධ්‍ය චාරිකාව තුළදී ඔහු හඬ කැවීමේ ශිල්පියකු වශයෙන් පසුව කටයුතු කරනවා. ඒ ටයිටස් තොටවත්තයන් සහ අතුල රන්සිරිලාල් යන අය යටතේ. අනතුරුව සවන ගුවන් විදුලියට එක්වන සුදේව ඊළඟට පා තබන්නේ හිරු ගුවන් විදුලියට. එහි උදෑසන වැඩසටහන හා හා පුරා කියලා මෙහෙය වන්නේ ඔහු. හිරු එළිය තමයි සුදේව එහෙම නිවේදන කටයුතු කළ පළමු වැඩ සටහන. අද වන විට ඔහු තෘප්තිමත් මාධ්‍යවේදියෙක්. මෙතැන් පටන් අප සවන් දෙමු සුදේවගේ හඬට.

ආයුබෝවන් සුදේව?

ආයුබෝවන්.

වැඩිපුරම දැන් මෙහෙය වන්නේ දේශපාලන වැඩ සටහන් නේද?

ප්‍රවෘත්ති සමඟම කාලීන සිදුවීම් යන අංශයත් බලාගන්නේ මම. ඉතින් එමගින් නිෂ්පාදනය කරන වැඩ සටහන් මම මෙහෙයවනවා.

නාලිකාවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියලා කියන්නේ ලෙහෙසි පහසු පුද්ගලයෙක් නෙවෙයි?

ඔව්. මගේ වගකීම අතිශය බැරෑරුම් එකක්. ඒත් හරිම සැහැල්ලුවෙන් රාජකාරි කටයුතු කරනවා.

පැය විසි හතරෙම වැඩ කරන්න වෙනවා නේද තනතුරත් එක්ක?

ඒක නම් එහෙම තමයි. ගෙදර ඉන්න වෙලාවෙත් ෆෝන් එකෙන් රාජකාරි කරනවා.

සුදේවගේ මාධ්‍ය ජීවිතයට දැන් කොපමණ කල්ද?

අවුුරුදු 25 ක් විතර.

ඉස්සර වගේ දැන් ප්‍රවෘත්ති කියන්නේ නැත්තේ ඇයි?

කැමරාව පිටුපස කෙරෙන රාජකාරි වැඩියි. ඒ හේතුවෙන් ප්‍රවෘත්ති කියවීම නවත්වලා තියෙන්නේ. හිරු නාළිකා ආරම්භයේදී පළමු ප්‍රවෘත්තිය කිව්වේ මං.

නවක නිවේදක නිවේදිකාවන්ව සුදේව දකින්නේ කොහොමද?

අලුත් අය හොඳයි. නමුත් හෝම්වර්ක් කරන අය අඩුයි.

මොනවාද ඒ හෝම්වර්ක්?

සාමාන්‍යයෙන් නිවේදකයෙක් හෝ නිවේදිකාවක් තමන් කරන රාජකාරී කටයුත්තේ දිග පළල දැනගෙන ඉන්න ඕන. එහෙම දැනගන්න ඒ විෂයට අදාළ දැනුම හෙවිය යුතුයි. ඒවා තමයි හෝම්වර්ක්.

එෆ් එම් නිවේදක නිවේදිකාවන්ව එෆ් එම් ගිරව් ලෙස හඳුන්වන උපමාවට සුදේව මොකද කියන්නේ?

ඔය උපමාව මං බැහැර කරනවා. සෑම ගුවන් විදුලි නිවේදකයකුම ගිරව් නෙවෙයි. සීමිත කිහිප දෙනෙක් නිසයි ඔහොම උපමා පටබැඳෙන්නේ.

අද තිබෙන උදෑසන ගුවන් විදුලි වැඩ සටහන් සුදේව අහනවද?

ඔව්, ඇතැම් ඒවා.

ඒවා මෙහෙයවන නිවේදකයෝ කරන විහිළුවලට හිනා යන්නේ නැහැනේ?

ඒවට ඉතින් මට හිනාවෙන්න තමයි වෙන්නේ.

හිරු අතහැරල එන්න කියලා වැඩි පඩියකට වෙනත් නාළිකාවලින් ආරාධනා ලැබිලා නැද්ද?

අපෝ තියෙනවා. නමුත් ඒ සෑම එකකට වැඩියෙන් මං ළැදි හිරු නාළිකාවට.

ඒ ඇයි?

හිරු නාළිකාව තමයි මගේ මාධ්‍ය ජීවිතයේ සංධිස්ථානය.

දේශපාලන වැඩ සටහන් මෙහෙයවද්දී දේශපාලඥයින්ගෙන් යම් යම් බලපෑම් ඇවිල්ලා නැතිද?

ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.

වගේ වෙලාවන්වලදී මොකද කරන්නේ?

කතා දෙකක් නැහැ මං ඉන්නේ ජනතාවගේ පැත්තේ. ඒ පැත්තෙන් හිතලා ක්‍රියා කරනවා.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් ඔබ හෙළිදරව් කළ හොඳම ප්‍රවෘත්තිය මොකක්ද?

හිරු CIA හරහා විල්පත්තු වන විනාශය ගැන හා හා පුරා කියලා කතා කළා. ඒ ඔස්සේ තමයි අන් සියලු දෙනා ඒ ගැන හොයන්න පටන් ගත්තේ.

පවුලේ විස්තරත් කියමු?

මගේ බිරිය ගෘහණියක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොක්කිට වයස අටයි. පොඩ්ඩිට පහයි.