වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘බූටෑවේ රටේ රාළ’ සරසවියට ඇවිත්

 ‘බූටෑවේ රටේ රාළ’ සරසවියට ඇවිත්

දෙරණ නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යය අප රටේ එක්තරා කාල පරිච්ඡේදයක් අව්‍යාජව නිරූපණය කරන්නක්. අන්තර්ගතයට සමපාතව එහි එන චරිත ද කාලානුරූපව ගොඩ නඟා නිර්මාණය කර තිබීම ‘මුතුකුඩ’ ටෙලි වෘතාන්තය ප්‍රේක්ෂකයාට වඩාත් සමීපවීමට එක් හේතුවක් මෙන්ම එහි රඟන නාළුවත රූපකායෙන් ද ඊට උචිතව බද්ධ කොට තිබේ.

‘මුතුකුඩ’ ටෙලි සිතුවමේ ඔබට සමීප බොහෝ චරිත පිළිබඳ තොරතුරු මින් ඉහත අවස්ථා කීපයකදී සරසවිය පාඨක ඔබ වෙත රැගෙන ආ බව ඔබ මතකයේ ඇති බවට සැකයක් නොමැත. අද එහි ‘බූටෑවේ රාළ’ නම් චරිතයට පණ පොවන නව පරපුර නියෝජනය කර පුෂ්පික රාමනායක සරසවිය සමඟ එකතු වන්නේ ඔබ වෙනුවෙන් ඔහුගේ රංගන තොරතුරු අප සමඟ පවසන්නටය.

* ඔබ කවුද කියලා කෙටියෙන් හඳුන්වනවා නම්?

මම වෙස් බැඳි නර්තන ශිල්පියෙක්, වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම වෘත්තීයමය වශයෙන් කලාවේ නියැලෙන්නෙක්.

* ඔබගේ ආරම්භය පිළිබඳ සඳහන් කළොත්?

මම දකුණු පළාතේ මාතර ප්‍රදේශයෙන් බිහි වූ කලාකරුවෙක්. අධ්‍යාපනය ලැබුවේ මාතර මහා මන්තින්ද පිරිවෙනේ. එහි උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. ඒ වකවානුව තුළදීමයි මම රංගනයට යොමු වන්නේ. එහිදී පාසල් මට්ටමින් මම රංගනයේ ජයග්‍රහන ලබා තිබෙනවා.

* ඔබ රංගය හැදෑරූ අයෙක්?

ඔව්. සුමිත් අමරකෝන් මහත්මා යටතේ මම අදටත් රංගනය ප්‍රගුණ කරනවා සහ මේ දක්වා මම මාතර ‘ශක්ති’ සංවාද මණ්ඩප නාට්‍ය කණ්ඩායමේ රංගන ශිල්පියෙකු වශයෙන් කටයුතු කරනවා.

* ඔබ පළමුව ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙන්නේ?

මගේ පළමු ටෙලි නාට්‍ය රංගන අත්දැකීම සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත’ . එහි මම ‘කතළුවේ ඇක්මන් සිංඤෝ’ නම් චරිතය තමයි නිරූපණය කළේ.

* ඉන් අනතුරුව ඔබ දායක වූ නිර්මාණ පිළිබඳ සඳහන් කළොත්?

ෑපවාහිනියේ විකාශය වූ ‘මව්න යාගය’, ‘හිරු නාළිකාවේ විකාශය වූ ‘වස්සානයේ ප්‍රේමය’, ‘දේදුනු මායා’, ‘ගැමුණු මහ රජ’, දෙරණ නාළිකාවේ විකාශය වු ‘ගිනි අවි සහ ගිනි කෙළි‘, සිරස නාළිකාවේ විකාශය වූ ‘සුජාතා’ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘සී රජ’ සහ ‘සමනළයෝ පියාඹයි’ යන නිර්මාණයන් සඳහා මම රංගනයෙන් දායක වුණා.

* සිනමා නිර්මාණ සඳහා ඔබගේ රංගන දායකත්වය කෙබඳුද?

මම මේ දිනවල තිරගත වන ‘අප්පට සිරි’ චිත්‍රපටයේ රංගනයේ යෙදුණා. ඒත් එක්කම ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘ශ්‍රී වික්‍රම’ සහ ‘ඉත්තා’ යන සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් දායක වුණා.

* ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔබ රඟපෑ ටෙලි නාට්‍ය එහෙමත් ඇති?

ඔව්. ‘සිතැත්තී’, ‘මද්දුම බලකාය’ සහ ‘ආදර නිල් දෑසේ’ යන නිර්මාණයන් සඳහා මම රංගනයෙන් දායක වුණා. මගේ ප්‍රේක්ෂකයින්ට නුදුරු අනාගතයේදීම ඒවා නරඹන්නට හැකිවේවි.

* රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

ඔව් ‘ස්වයංජාත’ රූගත කිරීමේදී වරක් දරුණු පහරකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් එක්කම මෙරට දී රූ ගැන් වූ ඉන්දියානු නිර්මාණයක රංගනයේ නිරතවීමේදී භූමිතෙල් පෙවුණා. හුස්ම ගැනීමට පවා අපහසු වුණා. ඒවා ඉතාමත් අන්තරායකාරී සිදුවීම් වුණත්, ඒ අත්දැකීම් සියල්ල මාව ශක්තිමත් කළා කියලයි මට නම් හිතෙන්නේ.

* පිළිතුර පැහැදිලි මදි වගේ?

ක්ෂේත්‍රයේ නවකයන්ට තිබෙන තැන ඉතාම අල්පයි. සුදුසුකම්, පළපුරුද්ද සහ හැකියාව අතින් කොයි තරම් අනූන වුවත් නවකයෙක් වීම නිසා තැනක් හදාගන්න කෙතරම් උත්සාහ කළත් පලක් නැතිවීම බොහෝ විට මගෙත් පුද්ගලික අත්දැකීමක් වුණා. ගෙවීම් පිළිබඳ සැලකුව ද බොහෝ විට නවක රංගන ශිල්පියෙකුට ඔහුගේ රංගනයේ වටිනාකමවත් ගෙවන්නේ නැති අවස්ථාවන් කොතෙකුත් තිබෙනවා. මේක බොහෝ නවකයින් අද මුහුණ දෙන ගැටළුවක්. මම හිතන්නේ ඕනෑම ශිල්පියෙකු, ශිල්පිනියකට එහි පරිනතභාවයක් ලැබෙන්නේ ඔහු හෝ ඇය ක්ෂේත්‍රයේ ලබන අත්දැකීම් අනුවයි. ඒක කෂේත්‍රයේ ඉදිරි පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ නිසා ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න උත්සාහ දරන, හැකියාව තිබෙන ඕනෑම අයෙකුට අවස්ථාවක් දීමේ වරදක් මා දකින්නේ නෑ.

* ක්ෂේත්‍රයේ මේතාක් දුර ගෙවන්නට ඔබට අත දුන් ප්‍රවීණයින් පිළිබඳ මතක් කළොත්?

ටිකිරි රත්නායක, කුමාරි මුණසිංහ, වසන්ත කුමාරවිල, සාලිය සත්‍යජිත් යන ප්‍රවීණ ශිල්පින් ශිල්පිනියන් මෙන්ම නිශාන්ත රණසිංහ, තිස්ස කුමාර යන අය ද මේ ගමනට මට බොහෝ සෙයින් උදව් කළා.

* ඔබගේ පුද්ගලික තොරතරු කෙටියෙන් සඳහන් කරනවා නම්?

අපේ පවුලේ මගේ අම්මා, තාත්තා සහ මට එක සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා.

* ඔබ විවාහකයි?

ඔව්. මම විවාහකයි. බිරිඳ සෙව්වන්දි. ඇයත් නර්තන ශිල්පිනියක්. අපිට දරුවන් දෙනෙක් ඉන්නවා. දුව දිනූ මානෙතු. පුතා උවිඳු මානෙත්.

* කලා කටයුතු සඳහා ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

මගේ බිරිඳ තුළ කලා කටයුතු පිළිබඳ විශාල අවබෝධයක් තිබෙනවා. ඇය මට මහත් ශක්තියක් ලබා දෙනවා. ඒ වගේමයි මගේ දෙමව්පියන්, සහෝදරයා සහ සහෝදරිය. ඒ ශක්තිය මට වචනයෙන් කියන්න බැහැ.