වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හිටි ගමන් මහලුවූවෝ මෙන්න

හිටි ගමන් මහලුවූවෝ මෙන්න

ජේම්ස් කැමරන් Titanic චිත්‍රපටයේදී රෝස්ගේ මහලු විය නිරූපණයට වයස්ගත නිළියක යොදා ගත්තේද ස්ටීවන් ස්පිල්බර්ග් Saving Private Ryan චිත්‍රපටයේ මැට් ඩෙමොන් නිරූපණය කළ චරිතයේ මහලු වියට වෙනත් නළුවකු ගත්තේද ෆ්‍රෑන්ක් ඩරා බොන්ට් අධ්‍යක්ෂණය කළ The Green Mile  චිත්‍රපටයේ ටොම් හෑන්ක් නිරුපණය කළ පෝල්ගේ චරිතයේ 108 වියැති අවධිය නිරූපණයට වයස් ගත නළුවකු යොදා ගත්තේද ඒ අපහසුතාව නිසාමයි.

වර්තමානය වන විට රූපලාවන්‍ය පිළිබඳ බොහෝ දෙනෙක් ලොකු උනන්දුවක් දක්වනවා. රංගන ක්ෂේත්‍රයේදීත් මේ රූපලාවන්‍ය කටයුතු බොහොම විශේෂ ස්ථානයක් උසුලන්නේ වේශ නිරූපණය සමඟින්. ඒ අනුව වේශ නිරූපනය හෙවත් වෙස් ගැන්වීමෙන් පුද්ගලයෙක් රූපයෙන් වෙනස්ම අයෙකු බවට පත් කරන්න හැකි බව කවුරුත් දන්නා රහසක්.

මේ අනුව වයස්ගත පුද්ගලයෙක් වයස් ගත ලෙසින්ම චරිතයක් නිරූපණය කරන විටදී අඩුම වෙස් ගැන්වීමකින් එය ඉටුකර ගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් එකම පුද්ගලයෙකුට සිනමා නිර්මාණයක් තුළ තම ජීවිතයේ තරුණ අවධිය සේම මහලු අවධියත් නිරූපණය කරන්න සිදු වන අවස්ථාවලදී යම් තරමක ගැටලුවක් ඇති වෙනවා. මන්ද යත් වයස්ගත කෙනෙකු මහලු චරිතයක පෙනුමක් ගන්නවාට වඩා තරුණ කෙනෙකු වෙතින් මහලු පෙනුමක් ගැනීම අසීරු කාර්යයක් බවයි පැවසෙන්නේ. ජේම්ස් කැමරන් Titanic චිත්‍රපටයේදී රෝස්ගේ මහලු විය නිරූපණයට වයස්ගත නිළියක යොදා ගත්තේද ස්ටීවන් ස්පිල්බර්ග් Saving Private Ryan චිත්‍රපටයේ මැට් ඩෙමොන් නිරූපණය කළ චරිතයේ මහලු වියට වෙනත් නළුවකු ගත්තේද ෆ්‍රෑන්ක් ඩරා බොන්ට් අධ්‍යක්ෂණය කළ The Green Mile  චිත්‍රපටයේ ටොම් හෑන්ක් නිරුපණය කළ පෝල්ගේ චරිතයේ 108 වියැති අවධිය නිරූපණයට වයස් ගත නළුවකු යොදා ගත්තේද ඒ අපහසුතාව නිසාමයි.

වර්තමානය වන විට දෘශ්‍ය ප්‍රයෝගයන්හි පිහිට පැතුවත් මීට පෙර වසර 30 - 40ට පමණ පෙර එවැනි පහසුකම් නොතිබුණු කාලයක පවා මේ අභියෝගය වේශ නිරූපණයෙන් ජය ගන්න සිනමාකරුවන් සමත් වුණා. එලෙසින් හොලිවුඩයේ සිදු කර ඇති හොඳම වයස්ගත වෙස්ගැන්වීම් වෙනුවෙන් අද මේ පිටුව වෙන් වෙනවා.

The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටයේ බ්‍රැඩ් පීට් බෙන්ජමින් බට්න් ලෙසින් චරිත නිරූපණයට වෙස් ගැන්වීම් 50ට අධික සංඛ්‍යාවක් සිදු කළා. එය මේ වන තෙක් හොලිවුඩයේ සිදු කළ හොඳම වයස්ගත වෙස්ගැන්වීම බව හොලිවුඩ් වාර්තා ගෙන එනවා. The Curious Case of Benjamin Button චිත්‍රපටයේ බ්‍රැඩ් පීට්ගේ වෙස් ගැන්වීම සඳහා වේශ නිරූපණ ශිල්පීන් 56 දෙනෙකු සහභාගි වූ බව පැවසෙනවා. කෙසේ නමුත් ඒ වෙස් ගැන්වීම් සාමාන්‍ය ලෙසින් නොපෙනෙන බවට බොහෝ දෙනා ගෙන් පැමිණි චෝදනා වෙනුවෙන් චිත්‍රපට කණ්ඩායමේ පිළිතුර වූයේ, කුඩා වියේදී මහලු පෙනුමක් තිබී ක්‍රමයෙන් වයස් ගත වන විට තරුණ පෙනුමක් ලැබෙන පුද්ගලයකුගේ ජීවිතයක් කෙසේවත් ස්වභාවික නොවන බවයි.

ඩේවිඩ් බෝවේ The Hunger (1983) චිත්‍රපටයේ ජෝන් බේලොක්ගේ චරිතය නිරූපණයක් මෙහිදී විශේෂයි. එවකට 36 හැවිරිදි වූ ඩේවිඩ් ක්‍රම ක්‍රමයෙන් වයස අවුරුදු 80ක් දක්වා වයස් ගත කිරීමට සිදු වුණේ ඉක්මනින් වයස්ගත වන එහෙත් මිය නොයන වැම්පයර් චරිතය වෙනුවෙන්. ඩික් ස්මිත් විසින් The Godfather චිත්‍රපටයට 48 හැවිරිදි මාලන් බ්‍රැන්ඩෝහට කළ වේශ නිරූපණයද මේ අතර විශේෂ වෙනවා.

1988 වසරේ Coming to America චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකාගාරය එහි යුදෙව් ජාතික මිනිසෙකු ලෙසින් සිටියේ කළු අමෙරිකානු නළුවකු වන එඩී මර්ෆි බව කිසිසේත්ම විශ්වාස නොකළේ රික් බේකර්ගේ අති දක්ෂ වෙස් ගැන්වීම නිසා. Dracula (1992) චිත්‍රපටයේ ගැරී ඕල්ඩ්මන්ගේ වෙස් ගැන්වීමත් මේ අතර විශේෂ වෙන්නේ ඒ වෙනුවෙන් ග්‍රෙග් කැනොම්, මයිකල් බෘක් සහ මැතිව් ඩබ්ලිව්. මුන්ග්ල් ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම වේෂ නිරූපණයට සම්මානනීය වීමත් සමඟින්. Amadeus (1984) චිත්‍රපටයේ මුරේ ඒබ්‍රහම් ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින් පිදුම් ලැබූයේ ඩික් ස්මිත් විසින් කළ වයස්ගත වේශ නිරූපණයද සමඟින්.

Hemingway & Gellhorn (2012) චිත්‍රපටයේ නිකොලේ කිඩ්මෑන් මාර්තා ගෙල්හෝර්න් ලෙසින් රංගනයේදී කළ වෙස් ගැන්වීම සේම Little Big Man  (1970) චිත්‍රපටයේ ඩස්ටින් හොෆ්මන්ගේ වෙස් ගැන්වීමත් මේ අතරට ඇතුළත්. Mr. Nobody (2009) චිත්‍රපටයේ ජෙරාඩ් ලෙටෝ 120 වියැති මහලු පුද්ගල චරිත නිරූපණයත් ඒ අතර විශේෂයි.