වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න පහ සමත් වුණු කට්ටිය

මෙන්න පහ සමත් වුණු කට්ටිය

ඒ ගැන විස්තර සොයලා බලමු

ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘5 සමත්’ චිත්‍රපටය තිරගත වීම මේ දවස්වල රීගල් සිනමා ශාලාව ඇතුළු සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමාශාලාවල බොහොම සාර්ථක විදියට ඇරැඹුණා. දුෂ්කර ග්‍රාමයක ජීවත්වන සමත් පුතාගේ ජීවිතය අලළා ගෙතුණු ‘5 සමත්’ චිත්‍රපටයේ පොඩ්ඩෝ රැසක් ම රංගනයෙන් දායක වෙනවා. ඒ අතරින් සමත්, විනුර, තිසුල්, සයුනි කියන මේ පොඩ්ඩොන්ගේ චරිත හරහායි ‘5 සමත්’ චිත්‍රපටය ගලාගෙන යන්නේ. චිත්‍රපටයට සහභාගි වුණු ආකාරය වගේ ම ඔවුන්ගේ ජීවිතය පිළිබඳත්, චිත්‍රපටය රූගත කිරීම්වලදි සිදුවුණු දේත්, දැන ගැනීමට ඔබ කැමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ පෙළ ගැසෙන්නේ ඒ පොඩිත්තන් කළ කී දෑ ගැන පැවසූ තොරතුරු ඇසුරින් සැකසුණු ලිපියක්.

“හෙවිලිකන්දේ කැලෑ ගම්මානේ ලාබාලා සමත්. තාමත් වයස අවුරුදු දහයයි. එහෙත් මනසින් ඔහු තරුණයෙක්. තරුණයකු වීමට ලාබාල වැඩිවුවත් මොහු වගකීම් සහගත ලාබාල තරුණයෙක්.....”

මේ විදියේ හැඳීන්වීමත් එක්ක ‘5 සමත්’ චිත්‍රපටයේ සමත් ඔබ හමුවට එද්දි ඔහු ශිෂ්‍යත්වය ලියන වයසේ පසුවන පුංචි පුතෙක්. ඒත් සමත්ට වුවමනා වුණේ ශිෂ්‍යත්වය ලියනවාට වඩා වෙනස් විදියේ බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්න. එහි ප්‍රතිඵලයක් විදියට ඔහුගේ උත්සාහය නිසාමයි සමත් පාඩම් කරන්න විදුලි පහනක් නිපදවා ගන්නේ. එතැනින් නොනවතින සමත් කැරැකෙන කූඩුවක් හදන්නේ. ඒත් ඔහුට මිහිඳු හිමි ලංකාවට වැඩම කරන එකත්, තිස්ස රජු දඩයම් යන එකත් පෙන්වන්න නොහැකි වන්නේ වැඩිහිටියන්ගේ මැදිහත් වීම නිසා. ඒ අතර දුෂ්කරතා රාශියක් විඳී සමත් ශිෂ්‍යත්වය සමත් වී ලංකාවෙන්ම පළමු වැනියා වන්නේ හැමෝම පුදුමයට පත්කරමින්. චිත්‍රපටයේදි ඒතරම් සමත්කමක් කළ සමත් විදියට පණ පොවන්නේ අමිරු කෝරළගේ පුතා.

මෙහි ප්‍රධාන චරිතය වන සමත් සොයාගන්න අධ්‍යක්ෂවරයා සිවගුරුනාදන් දුන්නේ පුදුම ගේමක්. ලංකාවේ පාසල් රැසකට ගියත් සිවා අයියාගේ සිතේ සිටි සමත්ව හමුවුණේ නැහැ. රූගත කිරීම්වලට වැඩි කාලයක් නොතිබුණු එක් දවසක සමත්ව මුණ ගැසෙන්නේ බොහොම අහම්බයෙන්. ඒ ‘5 සමත්’ තිරරචනය ලිව්ව රසික සුරවීරආරච්චිට. රසික තමන්ගේ පෞද්ගලික කටයුත්තකට මොරටුවට ගිය වෙලාවක. එතැනදි ඔහුගේ වාහනයට වැදෙන බෝලේ අහුලන්න එන පුතාව දුටුවනම ඔහුගේ ඉහේ මලක් පිපෙන්නේ ඉබේමයි.

“අපි බෝල් ගහ ගහ ඉන්න කොට එකපාරටම බෝලය ගිහින් වාහනයක වීදුරුවක වැදුණා. ඒක ටිකක් සැර පාරක්. මම ඉක්මනට ගිහින් බැලුවේ ඒ පාරට වාහනේ වීදුරුව බිඳීලද කියලා. ඒත් එක්කම එතැන හිටියා මාමා දැක්කම මට හොඳටම බය හිතුණා. ඔහු එකපාරටම මගෙන් ඇහුවේ ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා. මට ඔයාගේ අම්මාත්, තාත්තාත් හම්බ වෙන්න ඕන කියලත් ඒ මාමා එකපාරටම කිව්වා.”

සමත් ලෙස රඟපාන අමිරු කෝරළගේ පුතාගේ සිතට නැඟුණ බය කොයිතරම්ද කිව්වොත් පපුව ගැහෙන්න ගත්තා.

“අද නම් ගුටි තමයි.”

පුංචි සිතින් මුමුණගෙන ඔහු ඉදිරියේ ඉන්න අමුත්තාට අමිරු තමන්ගේ නිවෙසට යන පාර පෙන්නුවේ බයේ ගැහිගැහි. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උගන්වන අමිරුගේ අම්මාත්, බැංකුවේ රැකියාව කරන තාත්තාත් හොඳ වෙලාවට නිවෙසෙට වෙලා හිටියේ එදා නිවාඩු දවසක් නිසා. එකපාරටම ගේ දොරකඩට එක්කගෙන ගිය අමුත්තාව දාලා අමිරු දිව්වේ ගේ පිටිපස්සට.

“ටික වෙලාවකින් ඒ මාමා අපේ අම්මාත්, තාත්තාත් එක්ක සතුටින් කතා කරන හඬ මට ඇසුණා. ඔහු බෝලය වීදුරුවේ වැදුණ එක ගැන කිව්වේ නැහැ. මාව ගෙන්නලා මගෙන් ඇහුවේ රඟපාන්න කැමැතිද කියලයි. මට පුදුමත් හිතුණා.”

අමිරු කෝරළගේ සමත් විදියට තෝරා ගත්තේ ඒ විදියට. ඒත් ඊට පස්සේ ඔහුට අවධි කිහිපයක් සමත් කිරීමට සිදුවුණා.

අමිරු කෝරළගේ

“රඟපාන්න කැමැති වුණාට පස්සේ අපට සතියක් වැඩමුළු කළා. ඒ වැඩමුළුවෙනුයි මාව සමත්ගේ චරිතයට තෝරා ගත්තේ.”

සමත්ගේ චරිතයට තෝරා ගත්ත අමිරු කියන්නේ සමත් වුණු විදිය ගැන. අමිරු ඉගෙන ගන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ 7 ශ්‍රේණියේ. ඔහුගේ ප්‍රියතම විෂයය නාට්‍ය හා රංග කලාවයි. අමිරු පුතා නාට්‍ය හා රංග කලාව තෝරා ගැනීමට හේතුවත් පුංචි කාලයේ පටන්ම රඟපෑමට තිබුණු කැමැත්තයි.

“අපේ පාසලේ නාට්‍ය හා රංග කලාව උගන්වන්නේ සනත් සර්. පාසලේ නාට්‍ය කටයුතුවලට නම් මම ඉදිරිපත් වෙලා තිබෙනවා. දිගටම ඉගෙන ගන්න ගමන් රඟපාන්න මම කැමැතියි. ‘5 සමත්’ චිත්‍රපටයේ සමත්ගේ නිවෙස තිබුණේ කිතුල්ගල වනාන්තරේ. කැමරාවට මුහුණ දුන්නේ පළමු වතාවට වුණත් මට බයක් දැනුණේ නැහැ. මගේ අම්මා, තාත්තා විදියට රඟපෑවේ දිල්හානි නැන්දත්, උද්දික මාමාත් නිසා මට වෙනසක් දැනුණේ නැහැ. සිවා මාමාගේ උපදෙස් මත මම රඟපෑවා. ගස් නැඟ්ගා. වතුරේ නැටුවා. කඳු නැඟ්ගා. පුංචි ලෝකාන්තයෙන් එබිලත් බැලුවා.”

සමත්ගේ රූගත කිරීම් කෙරෙන අතර කැලෑවේදි අමිරුව සොයාගෙන කට්ටියක් ආවා. ඒ කෝඳුරුවෝ. කෝඳුරුවෝ කොයිතරම් අමිරු පුතාට කරදර කළාද කිව්වොත් අන්තිමට රෝහල් ගත වෙන්නත් සිදුවුණේ උන් නිසා.

“ඒ ගත කළ කාලය සතුටිනුයි අප සිටියේ. ඒත් බස් එකේ යන දර්ශනයට නම් මට බය සිතුණා. ඒ ගිරිරාජ් මාමා බස් එක අරගෙන ගිය විදියට. චිත්‍රපටයේදි අපිට පාලමේ දුවන දර්ශනයක් තිබුණා. පාලම රත්වෙලා තිබුණ නිසා එකේ වේගෙන් දුවන කොට මගේ කුකුලේ දියපට්ට දැම්මා. එක වෙලාවකදි ඒ තුවාලයේ කෝට්ටක් ඇනුණා. ඒ ඇනුණම දැනුණ වේදනාව නිසා ම ඒ ගත්ත දර්ශනයේදි අප්පච්චි කියලා මම කෑගහලා ඇඬුණේ ඇත්තටමයි. ඒ වගේ ම මගේ තරහකාරයා විනුර. ඔහු මට සෙල්ලම් පිටියේදි හොඳටම ගහනවා. ඒ අතර ඒ අයට මාව පෑගුණා. ඒ වෙනකොට බෝල් කෝඩ්එක හොඳටම රත්වෙලා. මාව ඒ බිමට වැටුණ නිසා ඒ පැත්තම පිච්චුණා.”

ඇබැද්දි ගොඩකට මුහුණ පෑව අමිරු පුතාට ඉන්නේ අයියා කෙනෙක්. ඔහු අපූර්ව. ඒ දෙන්නාගෙන් වැඩිම දඟයා අමිරුගේ අයියා.

“කවදහරි මම වෙන්න කැමැතියි.”

අමිරු කියන්නේ අම්මාගේ පිටිපස්සේ ඉඳලා හැංගිලා ලැජ්ජාවෙන්. ඒ අතරට පැමිණියේ සමත්ට දුෂ්ටකම් කරන දුෂ්ටයා. විනුර. බෝලයක් වගේ පෙරළි පෙරළි ඉන්න විනුරට රඟපාන්නේ ශාරාද් චන්දුම සිවගුරුනාදන් පුතා. ඒ කියන්නේ අධ්‍යක්ෂ සිවා අයියාගේ පුතා. ශාරාද් පුතා හැබෑවටම දඟයෙක්ද? මගේ සිතේ පැනයක් නැඟුණා. ඒ පැනයට පිළිතුරු දෙන්න ඉදිරිපත් වුණේ ශාරාද්ගේ අම්මා. ධම්මිකා ඕවිස.

“චිත්‍රපටයේ පුතා බොහොම දඟ ළමයෙක් වුණාට පාසලේදි නම් එහෙම නැහැ. බොහොම අහිංසකයි.”

සේජාන් හංසන

ඒ කතාවට පුංචි ශාරාද් පුතාගේ මුහුණට නැඟුණේ අහිංසක හිනාවක්. පුංචි ශාරාද්ට කැමරාව නුහුරු නුපුරුදු දෙයක් නොවන බවයි මට සිතුණේ.

“මට කැමරාව නුහුරු නැහැ. මම මුලින්ම රඟපාන්නේ ‘මලී-2, අත්තම්මා’ ටෙලි නාට්‍යයේ. ඊළඟට ‘නිර්භීතයි අපි’ ටෙලි නාට්‍යයේ. ‘5 සමත්’ මගේ තුන්වැනි නිර්මාණයයි. විලන්ගේ චරිතය රඟපාන්න මට සිතුවාට වඩා ටිකක් අමාරු වුණා. ඒත් ඒ චරිතය රඟපාන්න රසික මාමා, තාත්තා, අමිරු, සේජාන්, කිවිඳී ඇතුළු මගේ යහළුවෝ උදවු කළා. මම අමිරුට ගහන දර්ශන කිහිපයක් ම චිත්‍රපටයේ තිබෙනවා. ඒවා අමිරුට නොවැදුණත් මට අමිරු ගහන ගුටි නම් වැදුණා.”

ශාරාද් පුතා පාසලේදි දඟ‍යකු නොවුණත් නිවෙසට පැමිණි වෙලාවේ ඉඳන් කරන දඟ වැඩනම් නිමක් නැහැ. එයාට ඉන්න එකම කරදරේ මල්ලි. තරුෂ දම්සිත්. තෙහැවිරිදි වියේ සිටින ඔහු ඇවිත් කරන්නේ ම අයියාට ගහන එකමයි. ඒත් ඉතිං අයියාත් ගෙදරදි නම් දඟයා. ඒ දඟ බව රූගත කිරීම් අතරදි කැපිලා පෙනුණා.

“චිත්‍රපටයේදි වැලක එල්ලිලා ගඟේ වතුරට උඩින් යන දර්ශනයක් තිබුණා. ඔවුන් මට කිව්වේ ඩ්‍රෝනර් එක සූදානම් කර ගන්නතුරු වැල අල්ලාගෙන ඉන්න කියලයි. ඒත් මට වැල අල්ලගෙන ඉන්න බැරි වුණා. එකපාරටම මාවත් ඇඳගෙන වැල වතුර උඩින් ගියා. ඒත් එක්කම ගඟ මැදදි මගේ අතින් වැල අත හැරුණා. මාව වැටුණේ වතුරට. හොඳ වෙලාවට ඒ වැටුණ තැන එච්චරම වතුර නැහැ. ගලක් තිබුණේ. ගල උඩටයි මාව වැටුණේ. ඒ නිසා මට ටිකක් රිදුණා. ඉබේම වගේ ඇඬුණා.”

දඟ වැඩ අතර ශාරාද් පුතා ඉගෙන ගන්නත් දක්ෂයෙක්. ඔහු පාසල් යන්නේ මහනුවර ශ්‍රී/චන්දානන්ද බෞද්ධ විදුහලට. 8 ශ්‍රේණියේ ඉගෙන ගන්න ශාරාද් පරිගණක විද්‍යාවටයි වැඩියෙන් කැමැති. පරිගණක විද්‍යාවත්, තාරාකා විද්‍යාවත් එකතු කරලා යම් පරීක්ෂණයක් කරන්නටයි ඔහු ලොකුවුණාට පස්සේ බලාපොරොත්තුව ඉන්නේ. ඒ වගේ ම තාත්තා වගේ අධ්‍යක්ෂණය කරන්නත්, රඟපාන්නත් ශාරාද්ගේ සිතේ තිබෙන්නේ බොහොම කැමැත්තක්.

“මේ දවස්වල ලක්ෂ්මන් මාමාගේ ‘රන් බැඳී මිනිස්සු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ නිසා පාසල් වැඩකටයුතු අතපසු වනවිට ඒ පාඩම් ටික වයිබර් කරලා මට උදව් කරන්නේ නිපුන් ඇතුළු මගේ යහළුවෝ.”

පුංචි ශාරාද් දුෂ්ටයාගේ චරිතයට රඟපාන අතරතුර සමත්ගේ ගමේ යහළුවෝ වන්නේ තිසුල් හා සයුනි. සයුනිගේ චරිතයට පණ පොවන්නේ පුංචි දියණියක්. ඈ කිවිඳී කසුන්දරා සුරවීරආරච්චි. ‘5 සමත්’ චිත්‍රපටයේ තිරරචනය ලියන්නේ කිවිඳීගේ තාත්තා. රසික සුරවීරආරච්චි. කිවිඳීගේ තාත්තා අතින් මේ වගේ කතාවක් ගෙතෙන්නේ කිවිඳී නිසා.

ශාරාද් චන්දුම

“5 සමත්’ කිවිඳීගේ ජීවිතයට සම්බන්ධයි”

“මම ඉගෙන ගන්නේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේයි. ඒ 5 ශ්‍රේණියේ. පසුගිය දවස්වල මමත්, සමත් වගේ ශිෂ්‍යත්වය ලිව්වා. ඒත් ලකුණු නම් වැඩිපුර ගන්න බැරිවුණා. එහෙම කියලා මගේ අම්මා, තාත්තා මට ගැහුවේ නැහැ. ඒ දෙන්නා මගේ ඉගෙනීම් කටයුතු කරන්න කියලා මට වද දුන්නේ නැහැ. ඒ නිසා මම හිටියේ නිදහසේ. පාසලේදී නාට්‍යවල රඟපෑවා. පාසලේ තිබුණ ප්‍රතිභා ප්‍රසංගයේදී ‘දැනුම් මල්ල’ නාට්‍යයේ රඟපෑවා. ළදරු පාසලේදි උකුස්සකුට රඟපෑවා. ඒත් මේ චිත්‍රපටයක රඟපෑව පළමු අවස්ථාවයි. රඟපාන්න වගේ ම සින්දු කියන්නත් මම බොහොම කැමැතියි. ඉදිරියේදි පෙරදිග සංගීතය හදාරන්නයි සිතාගෙන සිටින්නේ.”

කිවිඳීව, සයුනිගේ චරිතයට තෝරා ගත්තේ සිවගුරුනාදන්මයි. ඒත් ඈ අනෙක් ළමයි වගේ ම වැඩමුවවලට සහභාගි වුණා. වැඩමුළුවේදියි රඟපාන්න සිතක් පුංචි කිවිඳී දියණියගේ සිතේ උපදින්නේ. ඒත් කිවිඳී වතුරට බොහොම බය වග දැන ගත්තේ රූගත කිරීම්වලදි.

“මම වතුරට ඒතරම්ම කැමැති නැහැ. පුංචි කාලයේ වතුරේ ඉඳීද්දි මගේ කකුලේ තුවාලයකට මාලු කෙටුවා. ඒ නිසා මම හොඳටම උන්ට බය වුණා. ඒ බය මගේ හිතේ තවමත් තිබෙනවා. ඒ නිසා මම චිත්‍රපටයේදි අනෙක් අය වගේ වතුරට බැස්සේ නැහැ. ඒ වුණත් මම කවදහරි කැමැති රංගන ශිල්පිනියක් වෙන්නයි.”

කිවිඳී දුවගේ අම්මාත් රංගන ශිල්පිනියක්. ඈ වේදිකාවේ නමක් තියාගෙන ඉන්න රුවිනි මනම්පේරි.

සමත්ගේ අනෙක් යහළුවා. තිසුල්. තිසුල්ගේ චරිතය රඟපාන්නේ සේජාන් හංසන තන්ත්‍රිමුදලි පුතා. ඔහු ඉගෙන ගන්නේ කඳාන ද මැසිනඩ් විදුහලේ. 6 ශ්‍රේණියේ ඉගෙන ගන්න ඔහුට මේ අවස්ථාව ලැබෙන්නේ ඉස්කෝලේ ටීචර් චන්ද්‍රිකා නිසා. ඒ සිවගුරුනාදන් හා චන්ද්‍රිකා ටීචර් හොඳ යහළුවෝ. ‘5 සමත්’ චිත්‍රපටයට ළමයි සොයන කාලේ සිවගුරුනාදන් චන්ද්‍රිකා ටීචර්ලාගේ පාසලටත් ගොඩවුණා. ඒ වෙලාවෙදි ඔහු පැවසුවේ රඟපාන්න පුළුවන් හොඳ ළමයි ඉන්නවා නම් එවන්න කියලා.

“පාසලේදි ඒ ළමයාට තේරුණේ මමයි. ඊට පස්සේ වැඩමුළුවලට සහභාගි වුණා. ඒ වැඩමුළුවෙන් මාව තිසුල්ගේ චරිතයට තෝරා ගත්තා. සිවා මාමා කිව්ව විදියට රඟපෑවා. රූගත කිරීම් අතරතුරදි මමයි, අමිරුයි, කිවිඳීයි, ශාරාද් අපි සියලුදෙනාම හොඳට දඟ කළා. ගස් නඟින්න ටිකක් බයවුණා. ඒත් මම ගස් නැඟ්ගා. වතුරේ නැටුවා. එක පාරක් රිවස්ටන්වල ගඟක නාන දර්ශනයක් රූගත කිරීමට තිබුණා. එතැනදි මාව තව චුට්ටෙන් ගිලෙනවා. ගිලෙන්න නොදී මාව බේර ගත්තේ මනෝජ් මාමා.”

කිවිඳි කසුන්දරා

මේ ළමයි අතරින් දඟයා සේජාන්. සේජාන්ට ඉන්නේ අක්කයි. අයියයි. ඔහු කොයිතරම් දඟද කිව්වොත් අයියාගෙන් වගේ ම අම්මාගෙනුත් ගුටියක් නොකන දවසක් නැහැ.

“මට ටිකක් දඟයි. ඒ දඟ වැඩ නිසාම එක්කෝ අපේ ගෙදර විවිධ භාජන බිඳෙනවා. මං හැංගි මුත්තං කරන්න ගියාමත් එහෙමමයි. දවසක් බෝල ගහන්න ගිහින් ගෙදර ජනේලයේ වීදුරුවක් කුඩේකුඩු. එදා නම් මම හොඳටම ගුටිකෑවා. දඟවැඩ කළත් මම රඟපාන්න කැමැතියි. මම කවදාහරි ලොකු වුණාට පස්සේ ඩොක්ටර් කෙනෙක් වෙනවා. මම වැඩි ම කැමැති විෂයය ගණිතයයි. ඒ වගේ ම මට හොඳට නටන්නත්, බෙර ගහන්නත් පුළුවන්.”

දඟකාර සේජාන් පුතාගේ තාත්තා බ්‍රයන්. ඔහු නිවෙසේ ඉඳගෙන ව්‍යාපාරයක නිරතවන්නෙක්. ඔහුගේ අම්මා ගුරුවරියක්. පවුලේ බඩපිස්සා විදියට දඟ සේජාන්ට ‘5 සමත්’ චිත්‍රපටය නිසා ලැබෙන ප්‍රතිචාර ගොඩයි.

සේජාන්ට වගේ ම අමිරුටත්, ශාරාද්ටත්, කිවිඳීටත් මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර බොහොමයි. ඒ ‘5 සමත්’ චිත්‍රපටය නැරැඹුව සිනමා ප්‍රේක්ෂකයන්ගෙන්. ඔවුන්ගේ පාසලෙන්. ඒ අතර මේ සිව්දෙනාම එකට එකතුවුණේ ටික කාලයකට පස්සේ.

සිව්දෙනාත් එක්ක කතා කිරීමට දේ බොහෝ දේ තිබෙන වග අපට හැඟුණේ ඔවුන් දෙස බලා සිටිද්දියි. තරගයට එහාමෙහා දුවන ඔවුන්ගේ සුරතල් දඟකාරකම් අතර ශාන් ඔවුන් එකිනෙකාගේ රුව කැමරාවට හසුකර ගත්තා.

අනාගතයේදි රංගන ශිල්පීන් - ශිල්පිනියන් වීමට පෙරුම්පුරන, වෙනත් හීන රැසක් උරුමකර ගත් මේ දරුවන් සිව්දෙනාට සුබපැතුම් එක් කරමින් අප ඔවුන්ගෙන් සමුගත්තා. ඒ ඔබට ආරාධනයක් කරමින්.

“එන්න ‘5 සමත්’ නරඹන්න”